Local news

ඉරාන – UAE වෙළෙඳ කටයුතු වහාම අත්හිටුවයි

ඉරාන – UAE වෙළෙඳ කටයුතු වහාම අත්හිටුවයි

ඉරානය සමග පවතින සියලුම වෙළෙඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යය තීරණය කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගත් මෙම තීරණයත් සමග ඉරානය ජාත්‍යන්තරය තුළ තවදුරටත් හුදකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඊයේ (18) දින රාත්‍රියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානය දෙසින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවමින්, ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට හදිසි නිවේදන නිකුත් කර ඇත.

ඓතිහාසික උරුමය සුරකිමින් කොළඹ කොටුව අලුත් කරයි

ඓතිහාසික උරුමය සුරකිමින් කොළඹ කොටුව අලුත් කරයි

කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලෝක බැංකු ණය සහ ආධාර යටතේ, බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව එක්ව කොළඹ කොටුව ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන සහ ගොඩනැගිලි ආරක්ෂා කරමින් සංවර්ධනය කිරීමටත්, විධිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මෙන්ම, මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය නගරය සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමග සම්බන්ධ වෙමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව සිදු කෙරෙන මූලික අධ්‍යයනයන් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ප්‍රදේශයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා විධිමත් අධ්‍යයනයක් (Traffic Study) සිදු කරමින් තිබෙන බවද සඳහන් කෙරිණි.

ව්‍යාපෘතියට අදාළ සමස්ත සැලැස්ම සකස් කර, නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාව එක්ව නැවත ඒ පිළිබඳ සාකච්ඡා කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ඇළමාර්ග සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම Online පමණයි

සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම Online පමණයි

රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්ම කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (19) දින ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා ඉහළ නංවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන විසින් මේ වනවිට ක්‍රියාවට නංවනු ලැබ තිබෙන ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය, දත්ත ආරක්ෂණ අධිකාරිය, GovTec ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් ආයතනය, කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ සමාගම ඇතුළු ආයතන යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සහ රූපවාහිනි වැඩසටහන් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් විමසා බැලිණි.

ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අගදී නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය ජනාධිපතිවරයා විමසා බැලූ අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කෙරෙන බවත්, පළමු ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අගදී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ.

ජනතාව රජය සමග සිදු කරන සියලු ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වාදී ඇති govPay වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර මෙම සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බව සඳහන් කෙරිණි.

රජය විසින් ජනතාවගේ පහසුව වෙනුවෙන් හඳුන්වා දී ඇති ජාතික ඩිජිටල් සුපර් ඇප් (National Super App) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව තුළ මුදල් භාවිතය අවම කර ඩිජිටල් ගනුදෙනු ප්‍රචලිත කිරීම සඳහා හඳුන්වාදී ඇති “National QR Drive ව්‍යාපෘතිය, රජයේ ආයතන අතර ආරක්ෂිතව හා විනිවිදභාවයෙන් යුතුව තොරතුරු හුවමාරු කර ගැනීමට සහ සේවා සැපයුම් ක්‍රියාවලි විධිමත් කිරීමේ ජාතික දත්ත හුවමාරුව (National Data Exchange – NDX), රට තුළ දුරකථන අංක වෙනස් නොකර වෙනත් ජාලයකට මාරුවීමට ඉඩ සලසන Number Portability ව්‍යාපෘතිය, රාජ්‍ය ඩිජිටල් ප්‍රසම්පාදන සහ සේවා වේදිකාව ඇතුළු වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය පිළිබඳවද සාකච්ඡා විය.

එමෙන්ම රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම යටතේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර මහජන සේවා සැපයීම් කාර්යක්ෂම කිරීමට හඳුන්වා දී තිබෙන PIC-Net (Public Impact Champions Network) වැඩසටහනේ ප්‍රගතිය සහ Data Transmission Unit (DTU) හෙවත් දත්ත සම්ප්‍රේෂණ ඒකකය, AI දත්ත මධ්‍යස්ථානය, රජයේ සහ මහජන සේවා අංශය සඳහා ඩිජිටල් තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් GovTech Academy පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහනේ ක්‍රියාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරිණි.

Govtec ආයතනය ආරම්භ කිරීම, තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය සහ කාර්යමණ්ඩල බඳවා ගැනීමේ කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු විය.

දෙහිවල එකම ජිරාෆ් මියයයි

දෙහිවල එකම ජිරාෆ් මියයයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි එකම වයස්ගත ජිරාෆ් සත්ත්වයා මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී රාජපක්ෂ සඳහන් කරයි.

මෙම ජිරාෆ් සත්ත්වයා මියයාමට පෙර විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ අතර සත්ත්වයා වයස්ගත වීමත් සමඟ ඇති වූ ස්වභාවික තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇත.

සාමාන්‍යයෙන් ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වනයේදී වසර 20–25ක් පමණ වන අතර සත්වෝද්‍යාන පරිසරයකදී ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී රාජපක්ෂ සඳහන් කරයි.

මෙම ගැහැණු ජිරාෆ් සත්ත්වයාගේ වසය අවුරුදු තිහක් පමණ වන අතර සත්ත්වයාගේ මරණ පරීක්ෂණ කටයුතු අද (19) දින සිදු කිරීමට නියමිතව ඇත.

ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත ප්‍රකාශන

ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත ප්‍රකාශන

ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) විසින් සංවිධානය කරන ලද “ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” පිළිබඳව ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් (18) දින ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

රේගු කටයුතු කඩදාසි රහිත කිරීමේ (Paperless Document Processing at Customs) වැඩසටහන කඩිනම් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර ඇත.

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ව්‍යාපෘතිය තුළින් වෙළෙඳ කේෂ්ත්‍රයට අත්වන ප්‍රතිලාභ සම්බන්ධව මෙහිදී පුළුල් ලෙස මෙහිදී සාකච්ඡා විය.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය සහ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ කාර්යභාරය පිළිබඳව විශේෂ දේශනයක් සිදු කළ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ ප්‍රධානි ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ, ඔක්තෝබර් මස (01) වනදා සිට ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු තාක්ෂණ අංශය ලබා දෙන දායකත්වය අගය කරන බවද සඳහන් කරයි.

අනතුරුව LankaPay ආයතනයේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් තාක්ෂණික සැසියක් සංවිධානය කරනු ලැබ තිබූ අතර එහිදී ඩිජිටල් අත්සන යනු කුමක්ද.? එය ලබා ගන්නා නිවැරදි ආකාරය සහ රේගු ප්‍රකාශන (Customs Declarations) ඉදිරිපත් කිරීමේදී එය ප්‍රායෝගිකව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳවද සහභාගී වූවන් පුළුල්ව දැනුවත් කෙරිණි.

පාස්කු මහමොළකරු බව කී නවුෆර් මවුලවි සහරාන් ගැන කීවේ මොනවාද.?

පාස්කු මහමොළකරු බව කී නවුෆර් මවුලවි සහරාන් ගැන කීවේ මොනවාද.?

පාස්කු ප්‍රහාර මාලාව සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවෝ පසුගිය (17) වැනිදා විත්ති කූඩුවේ සිටිමින් තම විත්ති වාචක ඉදිරිපත් කළේය.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙයි.

අදාළ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන මොහොම්මදු ඊබ්‍රහීම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිටිමින් පැය දෙකකට ආසන්න කාලයක් සිය විත්ති වාචක ඉදිරිපත් කළේය.

“ස්වාමීනී.. මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා, පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්සාබ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳ හෙළමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට.

ඒ වගේම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා, අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳ හෙළමින් කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහි මේ නඩුව තුළින් චෝදනා 940ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා.”

“පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දින සවස කැකුණගොල්ලේ සිට කාත්තන්කුඩියේ පිහිටි තම බිරිඳගේ නිවසට පිටව යමින් සිටි අවස්ථාවේදී දඹුල්ලේදී පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා. ඉන්පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මාව භාර දුන්නා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ මාව වසර එක හමාරක් පමණ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ ගණනාවක් සටහන් කර ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගන්නේ අමුතු ආකාරයකට. මුලින්ම ප්‍රකාශ සටහන් කර ගන්නවා. පසුව මුද්‍රණය කළ ප්‍රකාශ අඩංගු ලේඛනවලට අත්සන් ලබා ගන්නවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී මට පහරදීම් සිදු වුණා. ඒ පිළිබඳව මුලින් අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මම ඒ පිළිබඳව පැමිණිලි කළා. මගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කර ගත් පාපොච්චාරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනියි.

එය මා ස්වේච්ඡාවෙන් කළ පාපොච්චාරණයක් නෙවෙයි. එම පාපොච්චාරණය සඳහන් මුහම්මදු නවුෆර් යන මගේ නම හැර අන් සියල්ලම අසත්‍ය කරුණු. එම පාපොච්චාරණය සටහන් කර ගත් බව කියන විජිත පෙරේරා නමැති නිලධාරියා මා දන්නේවත් නැහැ. ISIS ත්‍රස්ත සංවිධානයට සහය පළ කරමින් මා මුහුණු පොතේ පළකිරීම් සිදු කර තිබූ බවට කර තිබූ චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මා කිසිදු අවස්ථාවක එම සංවිධානයට සහය පළ කරමින් කටයුතු කළේ නැහැ.”

“ස්වාමීනී.. 2005 සහ 2006 වසරවල ‘දූරුල් අදර්’ නමැති සංවිධානයේ සහරාන් හෂිම් කටයුතු කළා. පසුව සහරාන් හෂීම් එම සංවිධානයෙන් ඉවත් වී ජාතික තව්හීද් ජමාත් සංවිධානය නිර්මාණය කළා. මම එම සංවිධානයට විරුද්ධව යි හිටියේ. පසුව මා කටාර් රාජ්‍යයට පිටත්ව ගියා.

කටාර්හි සිටින කාලයේ මම එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය ගැන නිරීක්ෂණය කරමින් සිටියා. සහරාන්ගේ NTJ සංවිධානය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණා. ලේ දන්දීම වැනි ප්‍රජා සේවාවන් ඉටු කිරීමේ අරමුණින් තමයි එය ක්‍රියාත්මක වුණේ. 2015 සහ 2016 කාලසීමාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී ක්‍රියාකාරකම් මුදා හැර තිබුණා.

මුස්ලිම් ජනතාවගේ දේපළවලට ප්‍රහාර එල්ල වුණා. ඉස්ලාමීය දේවස්ථානවලට අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හානි සිදුවුණා. ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීම සිදුවුණා. මුස්ලිම් ජාතිකයින්ගේ පරිශ්‍රවලට ඌරු මස් විසි කිරීම සිදුවුණා. කුලියාපිටිය ප්‍රදේශයේ ඌරෙකුගේ රුව රැගත් පෙළපාළියක් ගමන් කළා. මේ සියල්ල සිදුවුණේ මහ දවල් පොලිසිය සහ ආරක්ෂක අංශවල ඇස් ඉදිරිපිට යි. නමුත් ඒවා වැළැක්වීමට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ කිසිම පියවරක් ගත්තේ නෑ.”

“මේ පිළිබඳව මා ගැඹුරු සොයා බැලීමක් සිදු කළා. එහිදී මා තේරුම් ගත්තා මෙය සාමාන්‍ය සිංහල ජනයාගේ ක්‍රියාවක් නෙවෙයි. රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බෞද්ධ අන්තවාදී පිරිසකගේ ක්‍රියාවන් බවට පෙනී ගියා. එම ක්‍රියා පිටුපස රාජ්‍ය අනුග්‍රහය සහිත දේශපාලන හස්තයක් තිබෙන බව මට තේරුම් ගියා. මේ පිළිබඳව ඉස්ලාමීය මවුලවිවරයකු වශයෙන් මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතු යැයි මා කල්පනා කළා.”

“2007 වසරේ සිට 2017 වසර දක්වා කාල සීමාව තුළ සහරාන් හෂීම් සමග මගේ කිසි ම සම්බන්ධතාවක් තිබුණෙ නෑ. නමුත් සහරාන් විවාහ වී සිටියේ මගේ ඥාති කාන්තාවක සමග යි. ඒ අනුව සහරන් මා දැනගත්තා. ඔහුගේ සහෝදරයා රිල්වාන්වත් මා දැන සිටියා. නමුත් පාස්කු ප්‍රහාරයට මගේ කිසිම සම්බන්ධයක් නෑ.”

දැඩි උණුසුම නිසා ජීවිතය අනතුරේ.. මරණය.?

දැඩි උණුසුම නිසා ජීවිතය අනතුරේ.. මරණය.?

උණුසුම් කාලගුණය හමුවේ හිරු රශ්මියට නිරාවරණය වීම තුළින් බොහෝ රෝග වැලඳිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

සමේ ඇතිවන කුෂ්ඨ සහිත තත්ත්වයන්, මස්පිඩු පෙරළීම මෙන්ම අධික උෂ්ණත්වයට නිරාවරණය වීම තුළින් ජීවිත පවා අහිමි වීමේ හැකියාව පවතින බවද විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

එළිමහන් ස්ථානවල කාර්යයන් සිදුකරනු ලබන පුද්ගලයින්ද, කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසට ද මෙම තත්ත්වය හේතුවෙන් දැඩි අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

එම තත්ත්වයට මුහුණදීමේ වැඩිම අවදානමක් ඇති කාණ්ඩ ලෙස කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන් මෙන්ම බෝ නොවන රෝග, නිදන්ගත රෝග පවතින පුද්ගලයින් හඳුනාගත හැකි බවද විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

එනිසා ජලය පානය කිරීම, ලා පැහැති ඇඳුම් ඇදීම, හිස ආවරණය කිරීම සහ විශේෂයෙන්ම නිදන් ගත රෝග ඇති පුද්ගලයින් ඖෂධ නිසි මාත්‍රාවට භාවිත කිරීම ඉතා වැදගත් සාධකයක් බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

පාසල් ළමුන් සුරක්ෂිත කර ගැනීම සඳහා දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු සිදුකර ඇති බවත් දරුවන්ට පාසල් අවසන්වන වේලාවට හිස් ආවරණයක්, කුඩයක් භාවිත කළ යුතු බවත් අනවශ්‍ය ලෙස එළිමහනේ සෙල්ලම් කිරීම අවම කිරීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළේ,

“සම වියළීමක් වෙන්න පුළුවන් මේකට වතුර පුළුවන් තරම් බොන්න ඕනි. වතුර බීම තුළින් ඒ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. ප්‍රමිතිගත ආලේපන වර්ග භාවිතා කරන්න පුළුවන්. එතුළින් මේ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. උණු කරපු සිසිල් පැන් භාවිතා කරන්න. සිසිල් කියන්නේ ශීත කරපු වතුර කියන එකම නෙවෙයි.”

අද (19) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.

අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම නඩුව මෙටා සමාගමට එරෙහිව අරඹයි

අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම නඩුව මෙටා සමාගමට එරෙහිව අරඹයි

ෆේස්බුක් (Facebook), වට්ස්ඇප් (Whatsapp), ඉන්ස්ට්‍රග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මෙටා (Meta) සමාගමට එරෙහිව අමෙරිකාවේ ජනපද 30ක් එකතු වී ගොනු කළ දැවැන්ත නඩුව කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණයේදී විභාග වීම ආරම්භ කර ඇත.

මෙටා (Meta) සමාගම කුඩා දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් හිතාමතාම ඔවුන්ගේ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරගනිමින්, ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බරපතල හානි සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට (ඩොලර් බිලියන 1,000 කට) අධික වන්දියක් ඉල්ලා මෙම නඩුව ගොනු කර ඇති අතර අමෙරිකානු ඉතිහාසයේ පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් ගොනු කළ විශාලතම නඩුව මෙය ලෙස සැලකෙයි.

දරුවන් වැඩි වේලාවක් ඇප් තුළ රඳවා තබාගැනීම සඳහා සීමාවකින් තොරව ‘පෝස්ට්’ එම දරුවන්ට දකින්න සැලැස්වීම, පෝස්ට්වලට ලැබෙන ‘ලයික්’ ප්‍රදර්ශනය කිරීම සහ නිතර නිතර ‘නෝටිෆිකේෂන්’ දකින්න සැලැස්වීම වැනි මනෝවිද්‍යාත්මක උපක්‍රම ‘මෙටා’ සමාගම විසින් භාවිත කරන බව මෙම නඩුව මඟින් පෙන්වා දෙයි.

සමාගමේ ලාභය වැඩි කරගැනීමේ අරමුණින් ‘මෙටා’ සමාගම දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් මෙලෙස කටයුතු කර ඇති බවට නීතිඥයන් චෝදනා කර ඇත.

ඒ අනුව කැලිෆෝනියා සහ නිව්යෝර්ක් ඇතුළු අමෙරිකාවේ ජනපද 30ක් එක්ව මෙම නඩුව ගොනුකර ඇත.

මින් ඉදිරියට හුරතල් නෑ.. සියලුම දෙනාට අනිවාර්යයි

මින් ඉදිරියට හුරතල් නෑ.. සියලුම දෙනාට අනිවාර්යයි

අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා සැප්තැම්බර් (19) වැනිදා සිට ආසනපටි පැලඳීම අනිවාර්ය බවත් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

අධිවේගයේ රියදුරන්ට සහ මගීන්ට ආසන පටි පැලඳීම ගැන විශේෂ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මේ බව සඳහන් කරයි.

ඒ අනුව ආසන පටි නොමැතිව ගමන් කරන පුද්ගලයෙකුට රු 1,000ක දඩ මුදලක් පැනවිය හැකි බවත් අධිවේගී බස් රථවල ආසන පටි නොපැලඳ සිටින මගීන්ගෙන් එම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාවක් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

සියලුම දෙනාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර ආසන පටි පැලඳීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික ජනතාව දැඩිව තේරුම් ගත යුතු බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

ආසන පටි නොමැති වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් මස (19) වන දිනෙන් අවසන් වන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

කථානායකවරයාගේ නිවේදනය

කථානායකවරයාගේ නිවේදනය

කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (19) දින පාර්ලිමේන්තුවට නිවේදනයක් නිකුත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව “22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් හා “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පටන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද දින (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.