Local news

ශිරාන් බාසික්ගේ නඩුවට දුන් නියෝගය

ශිරාන් බාසික්ගේ නඩුවට දුන් නියෝගය

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවක් අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර ඉදිරියේ කැඳවයි.

නඩුව අද (08) කොළඹ මහාධිකරණ හමුවේ කැඳවූ අතර එහිදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටින ශිරාන් බාසික් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනාට අදාළ නඩුව යළිත් ඔක්තෝබර් (02) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කර තිබූ ශිරාන් බාසික් පසුගිය මැයි (26) වනදා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර අනතුරුව පසුගිය (14) වනදා ඔහු මෙරටට රැගෙන එනු ලැබුවෙිය.

ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට එද්දි යුද නැවක් කොළඹට

ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට එද්දි යුද නැවක් කොළඹට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල සංචාරයක් සඳහා අද (08) දහවල් 1.25ට ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇත.

මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (08) දින දිවයිනට පැමිණ ඇත.

කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

මීටර් 149.02ක දිගින් යුත් Frigate වර්ගයේ මෙම යුද නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් Vikas Sood සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා අතර නිල හමුවක් විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

කපිතාන් Vikas Sood 2020 වසරේ ජූලි මාසයේ සිට 2023 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කර ඇත.

අනුරාධපුරයටත් අධිවේගී මාර්ගයක්

අනුරාධපුරයටත් අධිවේගී මාර්ගයක්

මෙම 2026 වසර තුළ අධිවේග මර්ග කිහිපයක වැඩ කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුළ කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවල කොටස් ආරම්භ කිරීමට නියමිත බවත් කහතුඩුව සිට ඉංගිරි අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු වසර අග ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අනුරාධපුරය කේන්ද්‍රගත් අධිවේගී මාර්ග පද්ධතියක් සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවත් කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සැලැසුම් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවද සඳහන් කරයි.

කඩවත සිට මීරිගම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ලබන 2028 වසරේ මැයි මාසය වනවිට අවසන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

JLR සමාගමෙන් දැඩි තීරණයක්.. සේවකයින් 10%ක් ඉවත් කරයි

JLR සමාගමෙන් දැඩි තීරණයක්.. සේවකයින් 10%ක් ඉවත් කරයි

බ්‍රිතාන්‍යයේ විශාලතම සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයා වන ජගුවර් ලෑන්ඩ් රෝවර් (Jaguar Land Rover) සමාගම ඉදිරි වසර දෙක තුළ සේවකයින් 4,000කට ආසන්න සංඛ්‍යාවක් රැකියාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත.

මෙම සේවක කප්පාදුව එම සමාගමේ සමස්ත ගෝලීය සේවක බලකායෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් වන අතර පවුම් බිලියන 1.7ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3ක) පිරිවැයක් ඉතිරි කර ගැනීම මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා අපේක්ෂා කරයි.

චීන වෙළඳපොළෙන් එල්ල වන දැඩි තරඟකාරීත්වය, විද්‍යුත් වාහන (EV) සංක්‍රමණය සඳහා වන අධික පිරිවැය සහ අමෙරිකානු බදු ප්‍රතිපත්ති මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මෙම රැකියා කප්පාදුව ප්‍රධාන වශයෙන් බලපාන්නේ කළමනාකරණ, අලෙවිකරණ සහ පර්යේෂණ අංශවල සේවය කරන කාර්යාලීය නිලධාරීන්ට (Salaried Staff) පමණි.

කෙසේ වෙතත්, කර්මාන්තශාලාවල සෘජුවම මෝටර් රථ එකලස් කිරීමේ නිරත වන පැයට වැටුප් ලබන සේවකයින්ට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවන බව එම සමාගම සඳහන් කරයි.

අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

218 වන අධිකාරිය වූ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත.

මෙම පනත් කෙටුම්පතෙහි දෙවන වර කියවීම හෙට (09) දිනට නියමිතව ඇත.

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු (24) වනදායි.

යෝජිත කෙටුම්පත මගින් විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනතට සංශෝධන කිහිපයක් සිදුකර ඇති අතර නව යෝජනා කිහිපයක් ද හදුන්වා දී ඇත.

එයාර් බස් ගනුදෙනුව.. චමල් අල්ලස් කොමිසමට කැඳවයි

එයාර් බස් ගනුදෙනුව.. චමල් අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද (08) දින අල්ලස් කොමිසමට පැමිණ ඇත.

එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා චමල් රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.

රට පුරාම සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

රට පුරාම සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

රටේ මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයන් කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර ඇත.

40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන්, එහි දෙවනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කර ඇත.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් මේ බව අද (08) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

විශ්‍රාමික යුද සෙබළා පැහැරගෙන ගොස් ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

විශ්‍රාමික යුද සෙබළා පැහැරගෙන ගොස් ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධය පසුගිය 2018.09.09 දින සිදුව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබුණේය.

එම අපරාධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ වරදට අවශ්‍ය කර සිටි සැකකාරිය වන ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳව ඊයේ (07) දින කිරිඳිවැල, නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 49ක් වන නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

වසර 38කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙක් දිවයිනට

වසර 38කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙක් දිවයිනට

අද (08) දින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිත අතර ඔහු අද සිට ලබන (10) වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ වන අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ වසර 38කට පසුව වීම විශේෂත්වයකි.

මෙම සංචාරය තුළදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය.

පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු –  ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබද මෙම සංචාරයේදී සමාලෝචනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව කොළඹ රථවාහන කොට්ඨාසය සඳහන් කරයි.

මුදල් වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථ 14ක් අරන්.. ඩිලන්ත ජාවාරමක.?

මුදල් වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථ 14ක් අරන්.. ඩිලන්ත ජාවාරමක.?

ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සකස් කර අඩු මිලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බව කියමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනෙකුට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී, අදාළ පුද්ගලයින් මුලින්ම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත.

ව්‍යාජ ඔප්පු සකස් කරමින් කොළඹ ඇතුළු ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් එම විමර්ශන අතරතුර අදාළ පුද්ගලයින් විදෙස්ගත වුවහොත් පරීක්ෂණ කටයුතු වලට බාධා ඇතිවිය හැකි බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදෙස් ගමන් තහනම ඉල්ලා ඇත.

එම ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන පුද්ගලයින්ට විදෙස් ගමන් තහනම් කරන්නැයි ඉල්ලා සිටියේය.

කොළඹ 07, බාන්ස් පෙදෙසේ අංක 18 දරන පර්චස් 43ක විශාලත්වයෙන් යුතු, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩම රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට අලෙවි කළ බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පන්නිපිටියේ පදිංචි ආරියපාල දිසානායක නමැති පුද්ගලයක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී, රුපියල් කෝටි 250කට අධික වටිනාකමකින් යුත් එම ඉඩම ව්‍යාජ ඔප්පු මගින් රුපියල් බිලියනයකට අලෙවි කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

බන්ධනාගාරගත කර සිටින ආරියපාල දිසානායක මේ වනවිට රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඉඩම අලෙවි කිරීමෙන් ලැබුණු මුදල් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු අතර බෙදී ගොස් ඇති බවත් මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව නමැත්තා මුදල් වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථ 14ක් ලබාගෙන ඇති බවටද මූලික විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇතැයි රහස් පොලිස් නිලධාරීන් පවසා ඇති අතර මුදල් බෙදාගත් බව කියන පුද්ගලයින් මෙන්ම මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන ලබාගත් බව කියන පුද්ගලයා සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායකගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ අතර විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා ඇති පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Follow WhatsApp Channel