Local news

මාව හිරේ දාලා අපේ සටන නවත්තන්න බෑ

මාව හිරේ දාලා අපේ සටන නවත්තන්න බෑ

තමන්ව සිරගත කර පොදුජන පෙරමුණේ සටන නැවැත්වීමට කිසිවිටක හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

රටේ ගොවි ජනතාවගේ ගැටලුව වෙනුවට ජනාධිපතිවරයා ඇතුළු රජයට විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය වැඩි කිරීම බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අසත්‍ය ප්‍රකාශ මත බලපෑම් සිදුකර අසත්‍ය සාක්ෂි නිර්මාණය කළද මෙරට අධිකරණ පද්ධතිය විනාශ කිරීමට විනිශ්චයකාරවරුන් කිසිවිටක ඉඩ නොතබන බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

වත්මන් රජයේ වංචා, දූෂණ සම්බන්ධයෙන් විපක්ෂය විසින් විවේචනය කරන විට ආණ්ඩුව කලබල වී තිබෙන බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම් මාලාවේ අනුරාධපුර, නාච්චාදූව නගරයේ පැවැති ජනහමුවට එක්වෙමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

මාස 07ට වාර්තාගත ඉහළ යාමක්

මාස 07ට වාර්තාගත ඉහළ යාමක්

වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,000 ඉක්මවා ඇත.

පසුගිය 2025 වසරේ අදාළ කාලසීමාව තුළ මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 4,435කි.

මෙම වසරේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 10ක් ඉපැයීමට අපේක්ෂා කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කරයි.

කොලොම්බියා භූකම්පනයෙන් මියගිය ගණන 130 පනී

කොලොම්බියා භූකම්පනයෙන් මියගිය ගණන 130 පනී

කොලොම්බියාවේ සිදුවූ භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇති බවත් 570කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රිච්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයකින් සටහන් වූ මෙම භූකම්පනයේ කේන්ද්‍රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව කොලොම්බියානු භූ විද්‍යා සේවය සඳහන් කරයි.

මෙම භූකම්පනය වසර ගණනාවකට පසු එරටට බලපෑ විශාලතම භූකම්පනය වන අතර මෙම තත්ත්වය හේතුවෙන් කොලොම්බියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

අවසන් මොහොතේ නීතීඥ සංගමය ජනපති හමුවෙයි

අවසන් මොහොතේ නීතීඥ සංගමය ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අතර හෙට (12) ප.ව. 1.00ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන තීරණය සම්බන්ධව මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර ඇත.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙස සංශෝධනය කර ඇත.

තෙල් මිල යළිත් ඉහළ⁣ට

තෙල් මිල යළිත් ඉහළ⁣ට

අද (11) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 87.57ක් දක්වා ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 82.04ක් දක්වා ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.90 දක්වා ඉහළ ගොස් ඇත.

ගුරු දුෂ්කර සේවා දීමනා ලබාදීමේ ක්‍රමවේදය.?

ගුරු දුෂ්කර සේවා දීමනා ලබාදීමේ ක්‍රමවේදය.?

ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා ගුරු සේවයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, ගුරු හිඟය විසඳීම, උසස් අධ්‍යාපන ආයතනවල මානව සම්පත් ශක්තිමත් කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක ගැටලු සඳහා විසඳුම් ලබාදීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.

මෙම රැස්වීමේදී පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ගුරු පුරප්පාඩු පිරවීම, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම විද්‍යා හා ගණිත විෂයන් සඳහා පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ගුරු අවශ්‍යතා පවතින ප්‍රදේශ හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව අවධානය යොමු විය.

එමෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ගුරු හිඟයට මුහුණ දෙන පාසල් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.

ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක කිරීම, දුෂ්කර සේවා දීමනා ලබාදීමේ ක්‍රමවේදය සහ පාසල් දුෂ්කරතාව තීරණය කිරීමේ නිර්ණායක යළි සමාලෝචනය කිරීම පිළිබඳව සාකච්ඡා විය.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව සහතික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මීට අමතරව පාසල් ඉඩම් හා යටිතල පහසුකම් සම්බන්ධ ගැටලු විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අන්තර්කරණ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අදහස් ඉදිරිපත් විය.

බදු එකතු කිරීම ගැන තීරණයක්

බදු එකතු කිරීම ගැන තීරණයක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍රියාකාරිත්වය, බදු ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය සහ බදු පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කරමින්, බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතය, බදු පදනම පුළුල් කිරීම සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායකගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සහ බදු පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එහිදී 2026 වර්ෂය සඳහා වූ බදු සැලැස්ම, 2026 ජූනි (30) දින දක්වා බදු ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය, ආදායම් ඇස්තමේන්තු, බදු වර්ග අනුව ආදායම් කාර්යසාධනය, බදු පදනම, වර්තමාන බදු අනුකූලතා තත්ත්වය, බදු ක්‍රමය සරල කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම සහ RAMIS පද්ධතියේ ප්‍රගතිය, ඩිජිටල් සේවා සඳහා අදාළ බදු, බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු විය.

මෑත කාලීන බදු ප්‍රතිපත්ති සංශෝධන සහ ආදායම් කළමනාකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ යම් ස්ථාවරත්වයක් ඇති වී ඇති බව සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.

එම ප්‍රගතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බදු පරිපාලනය නවීකරණය කිරීම, බදු ගෙවන්නන්ගේ පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා විද්‍යුත් සේවා පුළුල් කිරීම, ආයතන අතර දත්ත හුවමාරුව ශක්තිමත් කිරීම සහ ඩිජිටල් පද්ධති වැඩිදියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

තවද, බදු පරිපාලනයේ පවතින අභියෝග ලෙස අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් බදු ජාලයට ඇතුළත් කිරීම, තාක්ෂණික පද්ධති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව, දත්ත ඒකාබද්ධ කිරීමේ ගැටලු සහ විශේෂිත ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම, RAMIS පද්ධතිය වැඩිදියුණු කිරීම, විද්‍යුත් ලියාපදිංචි කිරීම, ගොනු කිරීම සහ ගෙවීම් ක්‍රමවේද පුළුල් කිරීම, දත්ත පද්ධති ඒකාබද්ධ කිරීම සහ බදු පරිපාලන ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ඉරානයෙන් ට්‍රම්ප්ට නව කොන්දේසි 6ක්

ඉරානයෙන් ට්‍රම්ප්ට නව කොන්දේසි 6ක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය පාලනය කිරීම සඳහා වන නව එකඟතාවයක් පිළිබඳ සාකච්ඡා සාර්ථක මෙන්ම ඉතා දියුණු මට්ටමක පවතින බව ඉරානය සහ ඕමානය ප්‍රකාශ කර ඇත.

එම සාකච්ඡාවල ප්‍රධාන වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යා හැකි නව මුහුදු මාර්ගයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු වුවද එම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට පෙර අමෙරිකාව විසින් ඉටු කළ යුතු කොන්දේසි මාලාවක් ඉරානය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

අමෙරිකාව තම හැසිරීම් නිවැරදි කරගත යුතු බවත් ඉදිරිපත් කර ඇති කොන්දේසි මාලාව ඉටු කළ යුතු බව ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ හිටපු ලේකම් සහ වත්මන් උත්තරීතර නායකයාගේ උපදේශක මොහොමඩ් බගර් සොල්ගාදර් සඳහන් කරයි.

එම කොන්දේසි මාලාව පහතින්..

1.කිසිදු අයුරකින් හෝ භාෂාවකින් ඉරානයට තර්ජනය නොකරන්න, එමෙන්ම මෙම ජාතියේ පූජනීය වස්තූන්ට හෝ අභිමානයට අපහාස නොකිරීම.

2.ඉරානයට සහ ලෙබනනය, පලස්තීනය, යේමනය මෙන්ම ඉරාකය යන රටවල සිටින ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව සිදු කරන යුද්ධ සහ ආක්‍රමණ සදහටම නතර කිරීම.

3.නාවික අවහිරතා ඉවත් කර, ඉරානය අවට ස්ථානගත කර ඇති ඇමෙරිකානු නාවික සහ ගුවන් සන්නද්ධ බලකායන් වහාම ඉවත් කිරීම.

4.ආක්‍රමණශීලී යුද්ධ දෙකක් හේතුවෙන් ඉරානයට සිදු වූ සියලුම හානි සඳහා සම්පූර්ණ වන්දි මුදල් ගෙවන්න.

5.ඉරාන ජනතාවට එරෙහිව පනවා ඇති ‘කුරිරු සහ නීතිවිරෝධී’ ආර්ථික සම්බාධක වහාම ඉවත් කිරීම.

6.තහනම් කර ඇති සහ සොරකම් කර ඇති ඉරාන ජනතාවට අයත් සියලුම වත්කම් කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

මරණ දඬුවම ක්‍රියාත්මක කරයි.?

මරණ දඬුවම ක්‍රියාත්මක කරයි.?

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වනවිට හුදු පුද්ගල සබඳතා වලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු විය.

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව (10) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට විශාල තර්ජනයක්ව ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සාකච්ඡාවට ලක් විය.

සමස්ත සමාජ දේහයම බිඳ දමමින්, රටේ අනාගත පරපුර ගොදුරු කර ගනිමින් සිටින විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රට තුළ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් සහ කඩිනම් මතවාදී පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආගමික නායකයින්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සක්‍රීය දායකත්වය රජය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මෙම ජාතික ව්‍යසනයේ ගැඹුර අවබෝධ කර ගනිමින් ආයතනික පද්ධතිය තුළ සිදු කළ යුතු පරිවර්තනය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබා දීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන දැනටමත් සකස් කර අවසන් අදියරේ පවතින අතර එය කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් කෙරිණි.

මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාද වීමට හේතු වූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර තිබෙන බවත්, පසුගිය ජූලි මාසයේදී පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර තිබෙන බවත් සඳහන් කෙරිණි.

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා බන්ධනාගාරගතව සිටින පිරිස්වලට අදාළ නීතිමය කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් , අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව (ග්‍රෑම් 5ට අඩු, 10ට අඩු ආදී වශයෙන්) නිශ්චිත දත්ත වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලෙසත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බන්ධනාගාරය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කර, වාර්තා ලැබුණු සැණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට විධිමත් ක්‍රියාවලියක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීමේ සහ එහි පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ලබා ගැනීම සිදු කෙරෙන බව සඳහන් කෙරිණි.

ආරක්ෂිත කැමරා පද්ධතිය සවි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

බන්ධනාගාරවල මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව අනාවරණය කෙරිණි.

බන්ධනාගාර රැඳවියන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

එසේම 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසත්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා, විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන කටයුතු කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ එක්ව ක්‍රියාත්මක කරන ‘මිතුරු පාසල’ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර එහිදී සිසුන්ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත්, මත්ද්‍රව්‍ය භාවිතා කරන දරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට මඟපෙන්වීම පිළිබඳව ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ උපදේශකවරුන් පුහුණු කිරීම සිදු කෙරන බවත් සඳහන් කෙරිණි.

මත්ද්‍රව්‍ය අවදානම වැඩි සහ ජනගහන ඝනත්වය වැඩි ප්‍රදේශවල පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් අතර විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර ඒ පිළිබඳව ජාතික සභාවේ විශේෂ අවධානය යොමු විය.

දරුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකව පරීක්ෂා කිරීමට හැකි වන ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඖෂධ සැල් මගින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත්, දෙමාපියන් දරුවන් පිළිබඳ සැලකිල්ලෙන් පසුවීමේ වැදගත්කමත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන කණ්ඩායම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මත්ද්‍රව්‍යවලට එරෙහි මතවාදය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාවද සාකච්ඡා විය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ “ප්‍රජාශක්ති” වැඩසටහන එක්ව මත්ද්‍රව්‍ය භාවිතය වළක්වා ගැනීම, මුල් අවදියේම හඳුනා ගැනීම, පුනරුත්ථාපනය, නීති සංශෝධනය සහ ආයතනික වෙනස්කම්, නැවත ඇබ්බැහිවීම සහ පසු විපරම් කිරීම, සැලසුම් නියාමනය සහ සමලෝචනය සහ වාර්තා කිරීම යන සංශෝධිත ක්‍රමෝපායන් 06ක් යටතේ ක්‍රියාත්මක බහුආංශික ජාතික උපාය මාර්ගික සැලැස්මට අනුව ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි.

ASP ඕලුගල කුදලාගෙන ආ පාතාල කෙරුමෝ

ASP ඕලුගල කුදලාගෙන ආ පාතාල කෙරුමෝ

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රතු නිවේදන නිකුත් කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියාවේදී එරට පොලිසියේ සහ ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය මත සිදුකරනු ලැබූ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන අද (10) දින සවස ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමට කටයුතු කළේය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 41ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පේරාදෙනිය සහ තිස්සමහාරාම ප්‍රදේශවල තාවකාලිකව පදිංචිව සිට ඇති බවට අනාවරණය වී ඇත.

2014 වර්ෂයේදී පේරාදෙනිය පොලිස් වසමේදී ගිනි අවි පෙන්වා පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කිරීම සහ එම පොලිස් වසමේදීම 2016 වර්ෂයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම යන අපරාධ සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු වේ.

තවද, මෙම සැකකරු 2003 වර්ෂයේදී ගල්කිස්ස පොලිස් වසමේදී මුදල් මංකොල්ලකෑමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති අතර 2007 වසරේදී ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මැලේසියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සමඟ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් වන පුද්ගලයෙකු හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් වන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිස්පතිතුමාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය මත සිදු කිරීමට නියමිතව ඇත.