Local news

අවසන් මොහොතේ එළිය⁣ට ආපු සාගර

අවසන් මොහොතේ එළිය⁣ට ආපු සාගර

අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අද (10) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කළේය.

මෙහිදී නීතිකෘතියේ දී දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් කිරීම අද පස්වරු 4.30ට අවසන් වීමෙන් අනතුරුව ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීම කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින් කල්තබනු ලැබීය.

පැය තුනකට ආසන්න කාලයකට පසුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පිටු 17කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

එහිදී ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා විදෙස් ගමන් තහනමක් පනවනු ලැබූ අතර ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුව සාගර කාරියවසම් මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ.

අවුරුද්දට කෝටි 7ක කුලී ගෙවන පොලිස් කොමිසම

අවුරුද්දට කෝටි 7ක කුලී ගෙවන පොලිස් කොමිසම

ජාතික පොලිස් කොමිෂන් සභාව පවත්වාගෙන යන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගොඩනැගිල්ල සහ අනෙකුත් ගොඩනැගිල්ලට පසුගිය 2025 වසරේදී රුපියල් හය කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රුපියල් හය කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදලක් වැය කිරීම ආර්ථික වශයෙන් ඵලදායී නොවන වියදමක් බවත් මෙම කුලී මුදල වර්ෂයේ මුළු අය බාර වියදමෙන් සියයට තිහක පමණ ප්‍රතිශතයක් බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව ආරම්භයේ සිටම කුලී පදනම මත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමේ ගොඩනැගිල්ලක වාර්ෂිකව ගිවිසුම්වලට එළඹෙමින් පවත්වාගෙන යයි.

පසුගිය 2025 වසරේ ගිවිසුම අනුව කොමිෂන් සභා කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සහ අනිකුත් ගොඩනැගිල්ලට මාසයකට රුපියල් පනස් හත් ලක්ෂ එකසිය හැට දෙකක මුදලක් ගෙවා ඇති බවද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

පෙම් බැඳි ඉෂාරාට දුන් නියෝගය

පෙම් බැඳි ඉෂාරාට දුන් නියෝගය

සංවිධානාත්මක අපරාධකරු ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි ඉෂාරා සෙව්වන්දි අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකාරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (21) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. 

බැටරි ගබඩා බලශක්ති පද්ධතිය.. සියල්ල සූදානම්

බැටරි ගබඩා බලශක්ති පද්ධතිය.. සියල්ල සූදානම්

විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් ආශ්‍රිතව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇත.

දිවා කාලයේ සූර්ය බල පද්ධති මඟින් නිපදවන අතිරික්ත විදුලිබලය මෙම බැටරි පද්ධති තුළ ගබඩා කර, රාත්‍රී කාලයේදී අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට නැවත මුදාහැරීමට නියමිතය.

මෙම ව්‍යාපෘති මඟින් අත්පත් කරගන්නා ප්‍රතිලාභ ඉදිරියේදී පාරිභෝගිකයන් වෙත ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සඳහන් කරයි.

පුද්ගලික සමාගම විසින් අනුරාධපුර උපපොළ ආසන්නයේ ඉදිකරන බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට 85%කින් පමණ අවසන් කර ඇත.

මේ හරහා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙන්ම රාත්‍රී කාලයේ ඩීසල් විදුලි බලාගාරවලින් ලබාගන්නා විදුලිබල ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වනු ඇත.

එක් බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියකින් මෙගාවොට් 10ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට ලබාදීමට හැකිය.

එහි පාලන හා කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශයට අයත් National System Operator Ltd (NSO) සමාගම විසින් සිදු කිරීමට නියමිතය.

මීගමුව බන්ධනාගාර ගැටුමේ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

මීගමුව බන්ධනාගාර ගැටුමේ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය මස (05) වැනිදා දින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමෙන් දේපල රැසකට මෙන්ම රැඳවියන් ලියාපදිංචි කිරීමේ ලේඛණ රැසකටද හානි සිදුවිය.

රැඳවියන් 2,400 ක් රඳවා තිබූ මීගමුව බන්ධනාගාරයේ දැනට රඳවා ඇත්තේ රැඳවියන් 600 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පමණයි.

ඇතැම් රැඳවියන්ගේ අධිකරණ කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදුකරන බවත් ඇතැම් රැඳවියන් භෞතිකවම අධිකරණ වෙත ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර කුරුවිට, පල්ලන්සේන, නව මැගසින් බන්ධනාගරවල පසුගියදා නොසන්සුන්කාරී තත්ත්වය ඇතිකරගත් රැඳවියන් සම්බන්ධව බන්ධනාගාර පාලනාධිකාරිය මගින් ආරම්භ කළ විමර්ශනයේ වාර්තාව අද (10) දිනයේ ලැබීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.

මාළිගාවත්තේ වෙඩි පත්තු වෙයි.. කංජිපානි ඉම්රාන්.?

මාළිගාවත්තේ වෙඩි පත්තු වෙයි.. කංජිපානි ඉම්රාන්.?

මාළිගාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

කංජිපානි ඉම්රාන් නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. 

ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරයි

ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරයි

ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා තවත් පූර්ණ පහසුකම් සහිත ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථයක් (Fully Equipped Mobile Drug Test Bus) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යංශයීය පරිශ්‍රයේදී අද (10) දින සිදු කළේය.

PZA – 0040 අංක දරණ සායනික බස් රථය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා වෙත නිල වශයෙන් භාරදෙයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනේ දෑඅවුරුදු උපාය මාර්ගිත සැලැස්මට අනුව ක්‍රියාත්මක කර ඇති ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම මේ යටතේ අපේක්ෂා කරයි.

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන්, කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් රිය ධාවනයේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කෙරෙන ජංගම පරීක්ෂණ වැඩසටහන මේ වනවිට දිවයිනේ පලාත් පහක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

පරීක්ෂණ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් ක්‍රමිකව සංවර්ධනය කිරීමත් සමග දිවයිනේ සෙසු පලාත් වලටද මෙම පරීක්ෂණ ක්‍රියාවලිය දියත් කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර ඇත.

ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කර ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමට ආරම්භ කර ඇති මෙම අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ ජාතික වැඩසටහන යටතේ මේවනවිට පරීක්ෂා කිරීම් 7,150 ක් සිදුකර ඇත.

මේ වැඩපිළිවෙල සඳහා අන්තර් අමාත්‍යංශයීය සහයෝගිතාව ලබාගනිමින් කෙටි, මැදි හා දිගුකාලීන වැඩපිළිවෙලක් තුලින් මෙරට මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කරගැනීම අපේක්ෂා කරයි.

පාසල් නිවාඩු සමයේ දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

පාසල් නිවාඩු සමයේ දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

පාසල් නිවාඩු සමයේ දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර ඇත.

ඒ අනුව පාසල් නිවාඩු සමයේ ගමන් බිමන් යාමේදී අධික වේගයෙන් රිය ධාවනය කරන සහ බීමත්ව රිය ධාවනය කරන්නන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.

එම මෙහෙයුම සඳහා රථවාහන නිලධාරින් දස දහසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන දිනය

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන දිනය

2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු (20) සිට (25) දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළාය.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළාය.

අද (10) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කළාය.

අත්අඩංගුවට ගත් සාගරට මොකද වෙන්නේ.?

අත්අඩංගුවට ගත් සාගරට මොකද වෙන්නේ.?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වත්මන් පොලිස්පතිවරයා මහමගදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ගැන සිදුවන විමර්ශනයකට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබාදීමට සාගර කාරියවසම් අද (10) දින කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට පැමිණි අවස්තාවේදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.