Local news

ඉරාන ප්‍රහාරයට බිය වූ ට්‍රම්ප් හැංගිලා පිටවෙයි

ඉරාන ප්‍රහාරයට බිය වූ ට්‍රම්ප් හැංගිලා පිටවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන ප්‍රහාරයකට බියෙන් ආහාර සැපයුම් ට්‍රක් රියක නැගී, හමුදා ගුවන් යානයකට ගොඩවී බ්‍රිතාන්‍යය දක්වා රහසේ ගමන් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ තුර්කියේ පැවති නේටෝ සමුළුවට සහභාගී වී පිටව යන අවස්ථාවේදී මෙය සිදුවී ඇත.

ජනාධිපතිවරයා ආහාර සැපයුම් ට්‍රක් රථයක ආධාරයෙන් හමුදා ගුවන් යානයකට ප්‍රවාහනය කිරීමට පෙර රූපවාහිනී කැමරා ඉදිරිපිට එයාර් ෆෝස් වන් යානයට ගොඩ වූ බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කරයි.

යුද්ධය අවසන් කිරීම සඳහා වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාකච්ඡා බිඳ වැටීමෙන් පසු අමෙරිකාව ඉරානයට මිලිටරි ප්‍රහාර අලුත් කිරීමෙන් දිනකට පසුව මෙම රහසිගත ගමන සිදුව ඇත.

ගුවන් යානයට මිසයිලයක් එල්ල කරන බවට විශ්වාසදායක ඉරාන තර්ජනයක් අමෙරිකාව හඳුනාගෙන ඇති අතර අනතුරුව මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එම ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, ජනපති ආරක්ෂක අංශය වන සීක්‍රට් සර්විස් නිලධාරීන්ගේ උපදෙස් මත ජනාධිපතිවරයා එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළේ ආහාර සැපයුම් සිදු කරන කුඩා ට්‍රක් රියක සැගවී, හමුදා ගුවන් යානය තිබෙන ස්ථානයට ගොස් ඇත.

නව චීන තානාපති දිවයිනට

නව චීන තානාපති දිවයිනට

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත්කළ Wei Huaxiang සිය ධුරයේ රාජකාරි භාරගැනීම සඳහා අද (11) දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවට, දිවයිනට පැමිණීමෙන් අනතුරුව තානාපතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පොහොසත් ඉතිහාසය, ස්වභාවික සුන්දරත්වය සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය පිළිබඳව තමා ප්‍රසාදය පළ කරන බවද තානාපතිවරයා සඳහන් කර ඇත.

වී රුපියල් 120යි.. කිලෝ 4000යි.. ලේඛන අනිවාර්යයි

වී රුපියල් 120යි.. කිලෝ 4000යි.. ලේඛන අනිවාර්යයි

වී සඳහා ස්ථාවර මිලක් ලබාදීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක් අද (11) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ ඔවුහු වී මිලදී ගැනීමේ ගැටලු සහ ඔඩපන ණය ක්‍රමවේදය තුළ බැංකු සමග ගනුදෙනු කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී යෝජනා කළ ඔවූහු වී මිලදී ගැනීම සඳහා තමන්ට ප්‍රමාණවත් ධාරිතාවක් පවතින බවත්, ගොවින්ට ස්ථාවර මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් සහතික කිරීමට එය හොඳ අවස්ථාවක් වන බවත් පෙන්වා දුන්හ.

මේ පිළිබඳ අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ, වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ණය මුදලක් ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරන බවයි.

ඒ අනුව වී කිලෝවක් සඳහා රුපියල් 120 ක අවම මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු බවත්, එක් ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 4,000 ක් විය යුතු බවත්, මිලදී ගන්නා වී තොග පිළිබඳව සහ අදාළ ගොවීන් පිළිබඳව නිවැරදි ලේඛන පවත්වාගෙන යාම අනිවාර්ය බවත්, එම වාර්තා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට ලියාපදිංචි වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, සහල් අලෙවි කිරීමෙන් පසු අදාළ මුදල් රජය වෙත නැවත ගෙවිය යුතු බවත්, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන මෝල් හිමියන්ට ඉදිරි කන්නවලදීද මෙවැනි සහන ලබා දීමට රජය අපේක්ෂා කරන බවත් සඳහන් කෙරිණි.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලුම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත්, මෙය රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකරන වගකීම් සහගත කාර්යයක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

එමෙන්ම, මින් පෙර ක්‍රියාත්මක කළ මෙවැනි වැඩසටහන්වලදී ණය ආපසු නොගෙවීම නිසා මතු වූ ගැටලු පිළිබඳවද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී කරුණු පැහැදිලි කළහ.

මීට පෙර ආණ්ඩුවෙන් ණය ලබාදී වී මිලදී ගෙන, එම වී නැවත ආණ්ඩුව විසින් මිලදී ගත යුතු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වී මිලදී ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම ප්‍රශංසාවට ලක් කළ වී මෝල් හිමියෝ මෙම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් දැනට ව්‍යාපාරවලින් ඉවත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විශාල පිරිසකට නැවත ක්ෂේත්‍රයට යොමු විය හැකි වන ඇති අතරම වී සඳහා සාධාරණ මිලක් ලබා දීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළහ.

බන්ධනාගාර ගැටුමට බාහිර පාර්ශවයන් සම්බන්ධයි.? චූදිතයින් 61ක්

බන්ධනාගාර ගැටුමට බාහිර පාර්ශවයන් සම්බන්ධයි.? චූදිතයින් 61ක්

බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවත් එම ගැටුම් ඇතිවීමට හේතු කිහිපයක් හඳුනාගෙන ඇති බවත් ඊට අවශ්‍ය පිළියම් යොදමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රැඳවියන් සහ නිලධාරීන් ඇතුළු 1,500කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එහිදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් 61 දෙනෙකු චූදිතයින් ලෙස නම් කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එම ගැටුමට සම්බන්ධව එක් අයෙකු ඊයේ (10) දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම සිදුවීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් 925කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් කුරුවිට බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධව මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන යන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මෙම සිදුවීම් සම්බන්ධව අන්තර් සම්බන්ධයක් මෙන්ම බාහිර පාර්ශ්වයක් සම්බන්ධ යන්නේද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (11) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී ඇතැම් පාර්ශ්වයන්ගෙන් ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවට යෝජනා ඉදිරිපත් වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මරණ දඬුවම ලබාදීම යෝජනාව සම්බන්ධව තවම අවසන් නිගමනයක් ගෙන නොමැති බවත් ඒ සම්බන්ධව ඉදිරියේදී තීරණය කරන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (11) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“මේ ප්‍රශ්නය ගැන බරපතළකම ගැන සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක්, අදහසක්. එක කෙසේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක ගැන අවසාන නිගමනයක් හෝ එකඟතාවයක් තවම නෑ.

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු මේවාත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කිරීමේදී එක එක පාර්ශ්වයන් පිළිබඳව කරන යෝජනාවක් පමණයි.”

හිටපු ජනාධිපති අසාද්ට මරණ දඬුවම

හිටපු ජනාධිපති අසාද්ට මරණ දඬුවම

හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මානවත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර ඇත.

සිරියානු අධිකරණයක් විසින් මෙම මරණ දඬුවම නියම කර ඇති අතර හිටපු ජනාධිපති අසාද් සහ ඔහුගේ සහෝදරයා අධිකරණයේ පෙනී නොසිටි අවස්ථාවකදී නඩුව විභාගයට ගෙන මෙම දඬුවම නියම කර ඇත.

ලක්ෂ පහකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ වසර 14ක සිවිල් යුද්ධයේදී සිදුවූ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මොවුන්ට මෙම දඬුවම හිමිවිය.

පසුගිය 2011 වසරේදී දාරා (Daraa) ප්‍රදේශයේ විරෝධතා මර්දනය කිරීමට නායකත්වය දුන් අසාද්ගේ ඥාති සොහොයුරෙකු වන ආටෙෆ් නජීබ්ටද (Atef Najib) මරණ දඬුවම නියම විය.

රාජිතට අධි චෝදනා ගොනු කරයි

රාජිතට අධි චෝදනා ගොනු කරයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇත.

රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර ඇත.

පෙට්‍රල් සහ ඩීසල් ගැන තීරණයක්

පෙට්‍රල් සහ ඩීසල් ගැන තීරණයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දීර්ඝකාලීන කොන්ත්‍රාත්තු යටතේ පෙට්‍රල් 92 Unl, මර්බන් (MURBAN) වර්ගයේ බොරතෙල් සහ ඩීසල් (0.05% M.S.) මිලදී ගැනීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් සීමිත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

එහි කොන්ත්‍රාත් කාලසීමාව පහතින්..

තංගල්ල බන්ධනාගාරය – අධිකරණ ඇමතිගෙන් ගැසට් නිවේදනයක්

තංගල්ල බන්ධනාගාරය – අධිකරණ ඇමතිගෙන් ගැසට් නිවේදනයක්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

තංගල්ල පැරණි බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස පිහිටුවීම සම්බන්ධව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ළමුන්ට ලබාදෙන එන්නත් 11ට අඩු කරයි.. ට්‍රම්ප්ගේ නියෝගය

ළමුන්ට ලබාදෙන එන්නත් 11ට අඩු කරයි.. ට්‍රම්ප්ගේ නියෝගය

ළමුන්ට ලබාදෙන එන්නත් සංඛ්‍යාව අඩු කිරීම සඳහා වන නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත.

අමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය (AAP) විසින් දැනට නිර්දේශ කර ඇති ළමා එන්නත් 18ක සංඛ්‍යාව 11 දක්වා අඩු කිරීමට මෙම නියෝගය මගින් නිර්දේශ කරයි.

මෙම නියෝගය අනුව සියලුම ළමුන් සඳහා නිර්දේශිත එන්නත් වන්නේ සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා, ඩිප්තීරියා, ටෙටනස්, පර්ටුසිස් (කක්කල් කැස්ස), පෝලියෝ, හිමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ B (Haemophilus influenzae type B), නියුමොකොකල් රෝගය, මානව පැපිලෝමා වෛරසය සහ වරිසෙල්ලා (වතුර බිබිලි රෝගය) සඳහා වන එන්නත් වේ.

තම පරිපාලනය විසින් වඩාත් බරපතල සහ භයානක රෝගවලට එරෙහි මූලික එන්නත් 11ක් සඳහා වන ඉහළම ප්‍රමිතියෙන් යුත් ළමා එන්නත් නිර්දේශ පිළිගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

MMR එන්නත එකවර ලබා දුනහොත් එය “ඉතා මාරාන්තික” විය හැකි බවත් එය දරුවෙකුගේ ශරීරයට සෝඩා බෝතලයක් වත් කිරීමට සමාන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

“එන්නත් අඩු කරනවා” යන එයින් අදහස් වන්නේ, එන්නත් හෝ ‘ජැබ්’ (jabs) ලෙස හැඳින්වෙන එන්නත් කිරීම් සංඛ්‍යාව අඩු කිරීම පමණක් නොව, ඒවා වෛද්‍යවරයා හමුවන අවස්ථා කිහිපයක් තුළ ලබාදීමයි.

MMR එන්නත්වල ආරක්ෂාව පිළිබඳව දිගු කලක් තිස්සේ සැක මතු කර තිබුණද, එම එන්නත් සහ ඔටිසම් රෝගය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව විවිධ අධ්‍යයන වලින් තහවුරු වී ඇත.