Local news

පොලීසියේ ලොක්කෝ පිරිසකට වහාම ස්ථාන මාරු

පොලීසියේ ලොක්කෝ පිරිසකට වහාම ස්ථාන මාරු

උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර විශේෂ කාර්යාංශයේ සිට නැගෙනහිර පළාත දක්වා මාරු කර යවා ඇත.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කිත්සිරි ජයලත් සබරගමු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරු කර යවා ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ළමා හා කාන්තා කාර්යාංශයට අමතරව පුහුණු හා උසස් පුහුණු තනතුරේ වැඩ බැලීම සඳහාද පත් කර ඇත.

විශේෂ ආරක්ෂක තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණානායක එම තනතුරේ සිට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යවා ඇත.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යවා ඇත.

සහකාර පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

නොසන්සුන් බන්ධනාගාර දෙකෙහි අලුත්ම තත්ත්වය

නොසන්සුන් බන්ධනාගාර දෙකෙහි අලුත්ම තත්ත්වය

අද (07) නොසන්සුන්කාරී වූ කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර දෙකෙහිම පාලනය මේ වනවිට මුළුමනින්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියන් 13 දෙනෙකු රෝහල් ගත කර තිබූ අතර දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

එම තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් කැරලි මර්දන ඒකකය, යුද හමුදාව සහ ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට සිදුවිය.

කෙසේ වෙතත් නොසන්සුන් වූ බන්ධනාගාර දෙකෙහිම පාලනය මේ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇත.

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර ඇත.

එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙසද සංශෝධනය කර ඇත.

අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළැඹෙන දින හෝ ඔහු අගවිනිසුරු ධුරයට පත්වන දිනයේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කළින් එළැඹෙන දිනය බව එහි සඳහන් වේ.

රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවට අතුරු තහනම් නියෝගයක්

රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවට අතුරු තහනම් නියෝගයක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

බන්ධනාගාර ගැටුම් උණුසුම්.. ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

බන්ධනාගාර ගැටුම් උණුසුම්.. ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇත.

ඒ අනුව අද (07) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“බන්ධනාගාර තුළ ඉන්න රැඳවියන්ගේත්, බන්ධනාගාරයට අදාළ සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් තමා මේවා යම් පාලනයකට ගැනීමට උත්සාහ කරමින් ඉන්නේ. ඒ සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලවල් කිහිපයක්ම යෝජනා වෙලා තිබෙනවා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තියෙනවා අධිකරණ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන්. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් කැඳවලා තිබෙනවා අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන්. ඒ නිසා වහා වහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරනවා.”

ලලිත් – කූගන් අතුරුදන් කිරීම.. ගෝඨාභයට අධිකරණයෙන් නියෝග

ලලිත් – කූගන් අතුරුදන් කිරීම.. ගෝඨාභයට අධිකරණයෙන් නියෝග

ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සාක්ෂි ලබාදෙන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (07) දින නියෝග කර ඇත.

යාපනය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙම නඩුව අද (07) දින විභාගයට ගත් අවස්තාවේදි මෙම නියෝගය කළේය.

ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන මස (29) වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත සම්බන්ධතාවයක් හරහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත සාක්ෂි ලබාදීමට නියමිතය.

2011 වසරේ දෙසැම්බර් මස (10) වැනිදා යාපනය ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වන අතර ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

බන්ධනාගාර ගැටුම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්

බන්ධනාගාර ගැටුම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්

මෑත කාලයේ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ සිදුවීම් යම් සැලැස්මකට අනුව සිදුවන බවට කරුණු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

එම බන්ධනාගාර සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

බන්ධනාගාර ආරක්ෂාව තහවුරු කිරීම සහ එවැනි තත්ත්වයන් යළි ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අද (07) දින අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වනවිට පල්ලන්සේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ දක්වා කරන ලද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා.

මෙය කුමන්ත්‍රණකාරී සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිපලයක් ද කියන එක. නමුත් මේ සිද්ධි වල ආසන්නතම ප්‍රතිපල හැටියට, ආසන්නතම හේතු හැටියට හඳුනා‌ගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්.”

බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රහාර.. පාලනයට කඳුළු ගෑස්

බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රහාර.. පාලනයට කඳුළු ගෑස්

මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇත.

අනතුරුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ආරක්ෂාව තර කර ඇත.

පල්ලන්සේන නොසන්සුන්.. ආරක්ෂාව තර කරයි

පල්ලන්සේන නොසන්සුන්.. ආරක්ෂාව තර කරයි

මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ආරක්ෂාව තර කර ඇත.

රැඳවියන් පිරිසක් අද (07) උදෑසන වහලය මත විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟ එහි නොසන්සුන්තාවක් හටගෙන ඇත.

මැගසින් බන්ධනාගාරයේ 9ක් වහාම බූස්සට

මැගසින් බන්ධනාගාරයේ 9ක් වහාම බූස්සට

මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ ‌නොසන්සුන් තත්ත්වයට සම්බන්ධ බව කියන රැදවියන් 9 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ඒ සී ගජනායක සඳහන් කරයි.

මැගසින් බන්ධනාගාරයේ “E” වාට්ටුවේ ඇතිවූ ගැටුමෙන් 11 දෙනකු තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ඒ සී ගජනායක සඳහන් කරයි.

බන්ධනාගාර තුළ සිටින සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ රැඳවියන් අතර මෙලෙස ගැටුම් ඇතිව තිබෙන අතර තවත් පිරිසක් විසින් බන්ධනාගාර ගොඩනැගිල්ලක දේපල වලට හානිකර ඇත.

එම රැඳවියන් පිරිස එහි තිබු පරිඝණක සහ උපකරණ රැසකට දැඩි ලෙස හානි කර ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.