Top Story

සලේ පතෝල කරලක් නෙමෙයි.. හොඳ රංගන ශිල්පියෙක්.. ඔස්කාර් සම්මානය දෙන්න ඕන

සලේ පතෝල කරලක් නෙමෙයි.. හොඳ රංගන ශිල්පියෙක්.. ඔස්කාර් සම්මානය දෙන්න ඕන

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ පතෝල කරලක් නොවන බවත් ඔහු හොඳ රංගන ශිල්පියෙක් බවත් ඔහුට ඔස්කාර් සම්මානය දෙන්න ඕන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

සුරේෂ්⁣ සලේගේ මානසික වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එම වාර්තාව ලබාදුන් වෛද්‍යවරයාට එරෙහිව අධිකරණ නියෝගයක් තියෙන බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුකරය අද (04) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, 2026 වසරේ මාර්තු (24) වනදා මෙම අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සිය සේවාදායකයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කළ බවයි.

ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ,

“එම වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාවේ වෛද්‍යවරුන් විසින් කර තිබෙන නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නෑ. පෝෂණවේදී වෛද්‍යවරයා ඔහුට දිය යුතු ආහාර ලැයිස්තුවක් දීලා තිබෙනවා. විනාඩි 30ක් එළියට දාන්න කියලත් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නෑ. ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර මානසික රෝගී තත්ත්වයක් තිබුණේ නෑ. ඔහු දැන් දැඩි මානසික පීඩනය සහ දැඩි සාංකාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සියදිවි නසා ගැනීම වැනි ප්‍රවණතාවකට යොමු වීමේ හැකියාවක් තිබෙන බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.”

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ස්වාමීනි. මේ වෛද්‍ය මණ්ඩලය මේ සැකකරු පරීක්ෂා කළේ මැයි මස හතර වෙනි දා. වාර්තාව ඉදිරිපත් කළේ මැයි මස (18) වනදා. මේ සැකකරුව සෑම බදාදා දිනයක ම ඔහුගේ නීතිඥවරු හමුවෙනවා. බිරිඳ සහ දරුවා මුණගැසෙනවා. ඒ වගේ ම සෑම සිකුරාදා දිනක ම ස්ථාවර දුරකතනයෙන් මේ සැකකරුට ඔහුගේ බිරිඳට, දරුවාට සහ මවට කතා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඉතින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන ආකාරයට මේ සැකකරුට වධ හිංසා කරලා තිබුණා නම් ඔහු ඒ බව ඔවුන්ට ප්‍රකාශ නොකළේ ඇයි? මේක කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරිපත් කළ මෝසමක්. අද සුරේෂ් සලේගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ කැඳවනවා. ඒ නිස යි මේ මෝසම ඊයේ ඉදිරිපත් කළේ. මේ හරහා අද දින අභියාචනාධිකරණය ඔවුන්ගේ වේදිකාවක් බවට පත් කරගන්න උත්සහ කරලා තිබෙනවා.”

“මේ මානසික වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන් ම මා ප්‍රතික්ෂේප කරනවා. මේ වාර්තාව දීපු වෛද්‍යවරයාට එරෙහිව අධිකරණ නියෝගයකුත් තියෙනවා. මේ සැකකාර සුරේෂ් සලේ මේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දීලා තිබෙන්නේ හඬමින්. ස්වාමීනි මේගොල්ලෝ බුද්ධි අංශ නිලධාරීන්. යුද්දෙට ගිහිල්ලා වෙඩි තියපු අය නෙවෙයි.

මේගොල්ලෝ මිනිස්සුන්ගේ මොළ හෝදන කට්ටිය. 2017 – 2019 කාලසීමාව තුළ ස්වයංඝාතක බෝම්බ කරුවන් 08 දෙනෙකු බැලන්ස් කරපු පුද්ගලයෙක් මෙයා. එහෙම පුද්ගලයෙක් හඬයි ද.? ස්වාමීනි. මොහු පතෝල කරලක් නෙවෙයි. ස්වාමීනි.. මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහුට ඔස්කාර් සම්මානය දෙන්න ඕනෙ.

ඔහු වෛද්‍යවරුන්ට ප්‍රකාශ කරලා තිබෙනවා පිරිසක් ඇවිල්ලා ඔහුගේ ඇඳුම් ගලවන්න කිව්වා කියලා. පස්සේ පිරිසක් කකුල්වලට පහර දුන් බවත් ඔහු කියලා තියෙනවා. ඉතුරු ටික කියන්න ලැජ්ජ යි කියලත් සඳහන් කරලා තියෙනවා. ඒත් පහර දුන්නේ කවුද කියලා කියලා නෑ. ඔච්චර දෙයක් කිව්වට පස්සේ තවත් මොනව ද ලැජ්ජ වෙන්න තියෙන්නේ ස්වාමීනි.

වෛද්‍ය වාර්තාවේ සඳහන් වනවා ඔහුට කෙටි අමතක වීම් තිබෙන බවට. මේක සාමාන්‍ය තත්වයක්. ඕනෑ ම අපරාධකාරයෙකුට ඒක තියෙනවා. CID අත්අඩංගුවේ ඉන්නකොට එයාලට මතක නෑ. එළියට ආවට පස්සේ මතක තියෙනවා. එනිසා මේවා පිළිගන්න බැහැ “

“ස්වාමීනී.. මේ පුද්ගලයාට අවපීඩනය, කාංසාව වැනි රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. මේවා සාමාන්‍යයෙන් අපරාධකරුවෙකුට තිබෙන රෝගී තත්ත්වයන්. මේක නිර්මාණය කරපු වෛද්‍ය වාර්තාවක්. ඔහුට කිසි ම රෝගයක් නෑ. අත්අඩංගුවේදී ඔහුට එග් රයිස්, බිත්තර රොටි, ෆිශ් ඔයිල්, කිරි පැකට් ,කිරි ටොපි සේරම ලබා දීලා තියෙනවා. ඒවා එකක්වත් කියන්නේ නෑ. මේ වාර්තාව ඉදිරිපත් කළ වෛද්‍යවරයාගේ වාර්තාවක් පිළිගන්න බෑ. මීට පෙර ටිකිරි ජයතිලක විනිසුරුතුමා ඔහුගේ වාර්තාවක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.”

“මේ සැකකරු වෛද්‍ය පරීක්ෂණයේදී ප්‍රකාශ කරලා තිබෙනවා “ආයේ මට එතනට යන්න බෑ. මට මැරෙන්න හිතෙනවා” යනාදී වශයෙන්. ස්වාමීනී.. මේක සාමාන්‍යයෙන් ඕනෑම අපරාධකාරයෙකුට පවතින මානසික තත්ත්වයක්. සියදිවි නසා ගැනීමේ මානසිකත්වයක් එනවා. ඇතැම් අය මේ පුද්ගලයාව සියදවි නසා ගැනීමේ තත්ත්වයට පත් කරන්න උත්සහ කරනවා.

අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. අධිකරණයට ඉදිරිපත් කර තිබෙන මේ වෛද්‍ය වාර්තාවේ වෛද්‍යවරු අත්සන් කරලත් නෑ. අධිකරණ වෛද්‍ය නිලධාරියා මේ සැකකරු පරික්ෂාවට ලක් කරලත් නෑ. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අත්සනත් නැහැ.”

මේ අතර සුරේෂ් සලේ විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන ජූනි (10) වනදා ප්‍රකාශයට පත්කරන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය – ගෝඨාභයට විදෙස් ගමන් තහනම්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය – ගෝඨාභයට විදෙස් ගමන් තහනම්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධව සිදුකෙරෙන විමර්ශන වලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන අද (03) දින නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සැකකරුවෙකු ලෙස නම්කර ඇති නඩුව අද (03) දින කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

ඉන්ධන QR ක්‍රමවේදය ගැන රජයෙන් දැඩි තීරණයක්

ඉන්ධන QR ක්‍රමවේදය ගැන රජයෙන් දැඩි තීරණයක්

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක පවතින අර්බුදකාරී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනය යම් ලෙසකින් සීමා කිරීමක් සිදු කිරීමට සිදුවන බව වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

ඒ අනුව දැනට ක්‍රියාත්මක කරගෙන යනු ලබන ඉන්ධන QR ක්‍රමවේදය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ ඔස්සේ ආර්ථිකයට සිදුවන බලපෑම යම්තාක් දුරට සමනය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අද (01) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“මේ අර්බුදය දිගින් දිගටම යෑම තුළ අපිට විශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි දැනටමත් දන්නවා QR ක්‍රමය හරහා, ඒ වගේම කෝටා ක්‍රමය හඳුන්වා දීමත් එක්ක සැලකිය යුතු ලෙස ඉන්ධන පරිභෝජනයේ අඩු කිරීමක් කරන්න අපිට පුළුවන්කම ලැබුණත්, තවමත් රටේ අවශ්‍යතාවයේ මට්ටමට මේක ඇවිල්ලා නැහැ.

දැන් මේ ලෝකය තුළ ඉන්ධන වෙළඳපොළේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් එක්ක, විශාල විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට යන්න කටයුතු සිද්ධ වෙලා තියෙනවා. දැන් මේක සංසන්දනාත්මකව කොයි විදිහටද කියලා බැලුවොත්, ජනවාරි මාසේ මිලියන 186යි, පෙබරවාරි මාසේදී මිලියන 97යි, මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524ක් ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.

එතකොට මේ තත්ත්වය තවදුරටත් දරාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා රටක් හැටියට අපි කල්පනා කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන් අපේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදිහක අඩු කිරීමක් කරන්න. රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි කටයුතු නොකළොත්, මේක එක පැත්තකින් ඉන්ධන මිල වැඩිවීම සඳහා ඉදිරියේදී බලපෑමක් කරනවා විතරක් නෙමෙයි, ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්.

ඒ නිසා මං හිතන්නේ ඉදිරියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත්, ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය හැටියටත් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඉන්ධන පරිභෝජනය කිසියම් විදිහක අඩු කිරීමක් කරලා, අපේ ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් විදිහක සමනය කිරීමක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.”

සියලුම ඉන්ධන මිල ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න

සියලුම ඉන්ධන මිල ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407කි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 478කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් ‍495කි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 285කි.

සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා

සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා

සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් උත්සවය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.

බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමකි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සමස්ත ධර්මස්කන්ධයම ගොඩනැගී ඇත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයන් මූලික කරගනිමිනි.

එමෙන්ම සාමය, සහජීවනය සහ සංහිඳියාව පිළිබඳ පරමාදර්ශී පාඩම බුදුන් වහන්සේ මෙන්ම සියලු ශාස්තෘන් වහන්සේ අනුදැන වදාළ ධර්මයයි. බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බව බුදු දහම පෙන්වා දෙයි.

පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන මෙම අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව අප පසක් කොටගත යුතුය. පසුගියදා මෙරට පාද යාත්‍රාවේ නිරත වු වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින්ද ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූයේ එම පණිවිඩය බව මම විශ්වාස කරමි.

එමෙන්ම, වෙසක් සැමරුම ආගමික උත්සවයක් මෙන්ම වසර දහස් ගණනක් පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සාමූහිකත්වය සහ කලාත්මක නිර්මාණශීලීත්වය විදහා දක්වන විශිෂ්ට සංස්කෘතික මංගල්‍යයක්ද වේ.

වෙසක් සැමරුම හා සමගාමීව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන දාන, ශීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් මෙන්ම ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් සංවිධානය කෙරෙන දන්සැල්, බොදු බැති ගී, අලංකාරවත් පහන් කූඩු, දර්ශනීය තොරණ, සැරසිලි ආදිය බෞද්ධයන් පමණක් නොව සියලු ආගම් වලට අයත් ලාංකිකයන්ගේ එකමුතුවෙන් විචිත්‍රවත් වේ.

ඒ අනුව සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනය වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවද අවිවාදිතය.

අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදැරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් අප ජීවිතවලට එක් කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින් සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා’යි ශුභාශිංසනය කරමි.

ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න සූදානම්.. අපි අනාගතය ගැන හිතන ආණ්ඩුවක්

ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න සූදානම්.. අපි අනාගතය ගැන හිතන ආණ්ඩුවක්

වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පසුගිය ආණ්ඩු වාණිජ වෙළෙඳපොළෙන් අධික පොලියට ණය ලබා ගෙන තමන්ගේ අවුරුදු පහ ඇදගෙන ගියද, වත්මන් රජය යටතේ මේ වන විට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් ජයග්‍රහණ ලබා ඇති බවත් මේ ගමන් මාවත තුළ රට ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ට වී තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අද ලංකාවේ පළමු වතාවට අනාගතය ගැන හිතන ආණ්ඩුවක් බිහි වී තිබෙන බවත් ණය තිරසරභාවය සහ ණය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමේ පවත්වාගෙන යමින් රටට අවශ්‍ය සංවර්ධනය උදාකර දීමට රජය කැපවී සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝමිටර් 18.7ක කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී (29) පස්වරුවේ පැවති ජන හමුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය අරමුදල් සහ දේශීය කොන්ත්‍රාත් සමාගම්වල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා රුපියල් බිලියන 112.44ක් වැය කිරීමට නියමිතය.

මංතීරු 04 කින් සමන්විත මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් 2029-05-28 දින අවසන් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම මේ වන විට සිදු කෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ පළමු අදියරේ ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අද මේ මුලපුරන්නේ මහනුවර දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරගත් ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියකටයි. මෙම ව්‍යාපෘතිය අපේ රටේ සමාජ ජීවිතය ඉහළ නැංවීම සඳහා ප්‍රබල පිටුවහලක් වෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අපේ අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යවරු, ලේකම්තුමා සහ අදාළ නිලධාරීන් විශාල වෙහෙසක් දරා කටයුතු කළා.

ඒ වගේම අපි දේශීය කොන්ත්‍රාත්කරුවන් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා උසස් ප්‍රමිතියෙන් සහ තාක්ෂණයෙන් යුතුව මෙහි වැඩකටයුතු නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කරනු ඇතැයි කියලා. ඩොලරයේ උච්චාවචනය සමඟ රට තුළ විශාල සංවාදයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුව බිඳ වැටෙයි, උපදෙස් ගන්න වගේ ඒවා කියනවා.

අපේ ආර්ථිකයේ ඇති විය හැකි අර්බුදයන් සහ ගමන් කළ යුතු දිශාව පිළිබඳව දැක්මක් සහ සැලැස්මක් ඇතිව අපි වැඩ කරමින් සිටිනවා. ඒ නිසා ඕනෑම මොහොතක ඇතිවන කුණාටුවක්, ඕනෑම මොහොතක ඇති විය හැකි අස්ථාවරභාවයක් ඉතා ඉක්මනින් යළි ස්ථාවරත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය වන ශක්තිමත් ආර්ථිකයක් අපිට අවශ්‍යයි.

අපි තවමත් ආර්ථිකයේ සියලු දිශාවල ශක්තින් එක් රැස් කරගෙන නොමැති බව සත්‍යයක්. අපිට අවශ්‍ය ආයෝජන අවශ්‍ය ප්‍රමාණයන් තවම කැඳවාගෙන නැහැ. නව තාක්ෂණය සමග වැඩ කළ හැකි දැනුම තිබෙන නව පරම්පාරවක් අපි තවම නිර්මාණය කරගෙන නැහැ.

ලෝකයේ වෙළෙඳපොළ ජයග්‍රහණය කළ හැකි ආර්ථික හැකියාවක් අපි තවමත් අත්පත් කරගෙන නැහැ. හැබැයි අපේ අභියෝගය සහ අපේක්ෂාව වන්නේ ඕනෑම කුණාටුවකට, ඕනෑම අර්බුදයකට මුහුණ දෙමින් නොසැලී සිටින ආර්ථිකයක් ගොඩනැගීමයි. දේශීය වශයෙන් ඇති වන ආර්ථික කම්පනයන්ට අද අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් මුහුණ දෙන්න පුළුවන්.

පසුගිය දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට මහා භාණ්ඩාගාරයෙන් කෝටි 50,000ක් වෙන් කිරීමට අපිට හැකියාව ලැබුණා. ලංකා ඉතිහාසයේ ව්‍යසනයක් හමුවේ වැඩිම මුදලක් වෙන් කළ පළමු අවස්ථාව මෙයයි.මේ අයුරින් අභ්‍යන්තර ව්‍යසනයන්ට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව අපිට ලැබී තිබෙනවා.

දේශීය වශයෙන් ඇති වන කම්පනයන්ට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ඇති වන කම්පනයන්ටත් ඔරොත්තු දිය හැකි මට්ටමට අපේ ආර්ථිකය ගෙන යා යුතුයි. බලවත් රාජ්‍යයන්ට සෙම්ප්‍රතිශ්‍යාවක් හැදු‍ණොත් අපිට නිවුමෝනියාව හැදෙනවා කියලා කියමනක් තිබෙනවා. එසේ නම් බලවත් රාජ්‍යවල ඇති වන ආර්ථික අර්බුදයක් අපිට විශාල ව්‍යසනයක් ගෙනවිත් දෙනවා කියලා.

බාහිර කම්පනයන්ට ඕනෑම අවස්ථාවක ඇති විය හැකියි. එවැනි තත්ත්වයකට ඔරොත්තුදීම සඳහා අපි ආර්ථිකය ගෙන යන්නේ කෙසේද.?අද අපි ආර්ථිකයේ වැදගත් සාධක විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙනවා. අපි අපේ ජාතික ආදායම දශක තුනකට පසු 16.7%ට ගෙන ආවා. මෙය වැදගත් තත්ත්වයක්.

ඒ හේතු කර ගෙන භාණ්ඩාගාරයේ අතිරික්ත මුදල් ප්‍රමාණයක් එක් වෙන්න පටන් ගත්තා. 2022, 2023 සමයේ භාණ්ඩාගාර ගිණුම පැවතුනේ බිලියන 800ක බැංකු අයිරාවකින්. භාණ්ඩාගාරයේ මුදල් නැහැ. ඒ නිසා බැංකුවලට පෞද්ගලික අංශයට, ව්‍යාපාරිකයන්ට ණය ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ. මුල්‍ය වෙළෙඳපොළ හැකිළීමට පටන් ගත්තා. හැබැයි අපි භාණ්ඩාගාර ගිණුම කෝටි 120,000ක ධන අතිරික්තයකට ගෙන ඒමට හැකි වුණා.

අද ආණ්ඩුව ප්‍රධාන ණය ලබා ගන්නා වෙනුවට පෞද්ගලික අංශයට ණය ලබා දෙනවා. 2024 බැංකු පද්ධතිය කර්මාන්ත සඳහා වෙන්කර තිබුණේ බිලියන 700යි. 2025 වසරේ පෞද්ගලික අංශයට බිලියන 2000ක් ණය ලබා දී තිබෙනවා. මෙය ආර්ථිකය ඉතා වේගයෙන් චලනය වීමේ ලක්ෂණයක්. මේ අප්‍රේල් මාසයේ පෞද්ගලික අංශයට බිලියන 250ක් ණය ලබා දී තිබෙනවා.

මෙය අර්ථිකයේ විශාල වැදගත් හැරවුමක්. ඒ වගේම 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස ට්‍රිලියන 02ක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අධිවේගී මාර්ගයට බිලියන 112ක් යනවා වසර තුනකට. ආසන්න වශයෙන් ගත්තොත් වසරකට බිලියන 35ක් වෙන් කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ කුරුණෑගල – දඹුල්ල මාර්ගයේත් වැඩ පටන් ගන්න, අපිට ඒ සඳහා මුදල් වෙන් කළ හැකියි කියලා.

ඒ වගේම දුම්රිය විද්‍යුත්කරණය සඳහා මුදල් වෙන් කළ හැකියි. මෙම වෙන් කරන මුදල් නිසි කාලයට වැය නොකිරීමේ ප්‍රශ්නයට අපි මුහුණ දෙනවා. ඒ නිසා ප්‍රමාදය හැම විටම ගාස්තුවක් වී තිබෙනවා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නිසි කාලය තුළ මෙය නිමා කළ යුතුමයි. අධිවේගී මාර්ග සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් අපි ඇති කරනවා.

බල ශක්තිය සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම්, දුම්රිය මාර්ග සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් අපි ගොඩනගනවා. එවැනි සැලසුම් සහගත දැක්මක් සහිත සංවර්ධන මාවතකට අපි දැන් ප්‍රවිෂ්ට වෙලා ඉන්නවා. ලංකාවේ පළමුවතාවට අනාගතය ගැන හිතන ආණ්ඩුවක් බිහිවෙලා තිබෙනවා.

අද අපි ණය ගන්නේ 2040දී අපිට ගෙවන්න පුළුවන්ද කියල බලලා. අපේ ණය ගැනීම් ජාතික නිෂ්පාදනයෙන් 4%ක සීමාවේ රඳවා ගන්න ඕන. ඊට වඩා ආර්ථිකයට මුහුණ දෙන්න බැහැ. අපි එවැනි ස්ථාවරයක ඉන්නවා. ඒ නිසා අද අපි ණය ගන්නේ 2035දීත්, 2040දීත් එම සීමාව ඉක්මවනවාද කියලා බලලා. එහෙම තමයි ණය තිරසරභාවය හදන්නේ.

එහෙම නැතුව එහෙන් අරන් මෙහෙන් අරන් රටක් හදන්න බැහැ. ණය කළමනාකරණය ප්‍රශස්ත මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සැලසුම් සමග අපි වැඩ කරමින් සිටිනවා. මේ ගමන් මාවත අපේ රටේ ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් කරා වැටී තිබෙන බව අපට විශ්වාසයි.”

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල අනුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

  1. විදුලි බලය සැපයීම සම්බන්ධව සියලු සේවාවන්
  2. ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම
  3. රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය
  4. මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා
  5. මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන්තොටුපළවල්, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව, මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගීන් ගමනාගමන සේවා, සංචාරක සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම
  6. ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවාවන්
  7. ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධ සියලු සේවාවන්
  8. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන  නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා කේන්ද්‍රීය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නා වූ හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය. 
  9. ගිලන්රථ සේවාවන්
  10. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු.
  11. ජලය සැපයීම, විදුලි බලය, ජලාපවහනය සහ කසළ කාණු ක්‍රමය, ගිනි නිවීමේ හා ගිලන් රථ සේවය, (අසූචි ගෙන යාම හා බැහැර කිරීම ඇතුළුව) කසළ ශෝධනය සහ කුණු ඉවත් කිරීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් මගින් කරගෙන යනු ලබන යම් කාර්යභාරයක් සහ පළාත් පාලන ආයතන මගින් සිදු කරන සියලුම සේවාවන්
  12. වාරිමාර්ග සම්බන්ධ සියලු සේවාවන්
  13. දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය සම්බන්ධ සියලු සේවාවන්
  14. පහත් බිම් ගොඩ කිරීම සහ සංවර්ධනය කිරීම සම්බන්ධ සියලුම සේවාවන්
  15. කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා සම්බන්ධ සියලු සේවාවන්
සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමි

සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමි

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ.

ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය සහ අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුම සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.

වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයද හජ් උත්සවයෙන් සැපයේ. ජාතිය සහ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව ආගමික වතාවත් ඉටු කරන මෙම අවස්ථාව සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ මහඟු ආදර්ශය ලෝකයට ගෙන යන බව මම විශ්වාස කරමි.

එමෙන්ම, මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයම මුහුණදී සිටින අසීරුතාව හමුවේ පවා මක්කම වන්දනාවේ යන ඉස්ලාම් බැතිමතුන් එක්ව සමරන්නේ ඊබ්‍රාහිම් නබිතුමාණන් සිය දිවිය තුළ සිදු කළ අසීමිත පරිත්‍යාගය සහ කැපකිරීමයි.

අප රජයේ අරමුණ වන්නේද ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයන සාමයෙන්, සමගියෙන් පිරි සහකම්පනයෙන් යුත් ජන සමාජයක් ගොඩනැගීමයි. එම ගමනේදී සාමය, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ මගපෙන්වීම් තව තවත් අප ජීවිතවලට සමීප කර ගනිමු’යි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකික සමාජය තව තවත් පෝෂණය කොට සැමට ප්‍රතිලාභ හිමි වන සංවර්ධිත රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමින් මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා’යි ප්‍රාර්ථනා කරමි.

පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසියි

පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසියි

විවිධ ප්‍රකාශ පළවෙන නමුත් විපක්ෂය නියෝජනය කරන කිසිදු අයෙකු වත්මන් ආණ්ඩු පක්ෂයට ගැනීම සඳහා රජයේ කිසිදු සූදානමක් හෝ කැමැත්තක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

තවද මහජන ඡන්දයෙන් තේරී පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගන්න අපේ කැමැත්තක් හෝ උත්සාහයක් නෑ. ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් නමුත් අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයෙන් කිසිම කෙනෙක් ආණ්ඩුවට ගන්න.

ඒ විතරක් නෙමෙයි ජනවරමට එරෙහිව පක්ෂ මාරු කරන අය සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”

අද (26) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

‘පාස්කු ප්‍රහාරය දේශපාලන ගේමක්’  සලේ පිටුපස සිටින ප්‍රබලයා.?

‘පාස්කු ප්‍රහාරය දේශපාලන ගේමක්’ සලේ පිටුපස සිටින ප්‍රබලයා.?

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වශයෙන් කටයුතු කර තිබෙන බවට පැහැදිලි වන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ප්‍රහාරය ගැන පැමිණිල්ල (20) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්තාවේදි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මේ බව සඳහන් කරයි.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදුකළ අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගිහින් එහි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී තමයි මේ ප්‍රකාශය සටහන් කර ගත්තේ.

ඔහු එම ප්‍රකාශය තුළින් පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ විස්තරයක් කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මේ ප්‍රහාරයේ මහ මොළකරු වශයෙන් කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා. දේශපාලන අවශ්‍යතාවක් ඉටුකිරීම සඳහා යි එය කර තිබෙන්නේ.”

‘අසාත් මවුලානා’ කියන්නේ හිටපු රාජ්‍ය ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ ලේකම්.

අලියාර් කියන හංදියේදි ගැටුමක් ඇතිවී සෙයිනි මවුලවී කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත. ඔහු බෝම්බ පුපුරවාගෙන මැරුණු සහරාන් හෂිම්ගේ කල්ලියේ සාමාජිකයෙකි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ,

“ස්වාමීනි, අලියාර් හංදියේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ගේ කල්ලියේ සාමාජිකයෙක් වන සෙයිනි මවුලවි බන්ධනාගාරගත වෙනවා. මේ සෙයිනි මවුලවි කියන පුද්ගලයා සහ පිල්ලයාන් සිටින්නේ එක ම සිරකුටියේ. සෙයිනි මවුලවි පිල්ලයාන්ට ප්‍රකාශ කරනවා අපේ කණ්ඩායමේ ඉන්නවා මැරෙන්න සූදානම් පිරිසක් කියලා.

මේ තොරතුර සැකකාර සුරේෂ් සලේට ආරංචි වෙනවා. ඔහු මේ මැරෙන්න කැමති කට්ටියගෙන් වැඩක් ගන්න කටයුතු කරනවා. ඒ අනුව තමයි සෙයිනි, සලේ සහ පිල්ලෙයාන් සම්බන්ධ වෙන්නේ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහරාන් හෂීම් ඇතුළු ස්වයංඝාතක ප්‍රහාරයකින් හය දෙනෙකු පුත්තලමේදී සුරේෂ් සලේ හමුවී සාකච්ඡා කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ අසාද් මවුලානාට ඇමතුමක් ලබා දෙනවා. ඇමතුමක් දීලා කියනවා ටාජ් සමුද්‍රා ඒක ළඟට ගිහිල්ලා එහි සිටින පුද්ගලයෙක්ව ගන්නා ලෙසට.

ඔහුගේ දුරකතනය භාරයට ගන්න කියලත් කියනවා. ඒ පුද්ගලයා තමයි දෙහිවලදී බෝම්බයක් පුරවා ගත් ජමීල් නමැත්තා. මේ ජමීල් නමැති බෝම්බකරු අහිංසක පුද්ගලයෙකු බවට වරුණ ජයසුන්දර සඳහන් කර තිබෙනවා. ඒ නිසා අපි වරුණ ජයසුන්දර නමැති නිලධාරියා සම්බන්ධයෙනුත් විමර්ශනය කරනවා.”

තවත් වැදගත් කොටසක් වන්නේ, පාස්කු ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයට ගොස් සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් හමුවී තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ,

“මේ ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගිහින් පිල්ලෙයාන් හමුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් එළියට ගන්නා බවට ඔවුන් පිල්ලෙයාන්ට දැනුම් දෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා. ඉන් පසුව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ත රාජ්‍ය බුද්ධි සේවයේම ප්‍රධානියා වශයෙන් පත් කරනවා.

එසේ කරන්නේ බුද්ධි තොරතුරු වෙනත් අංශ වෙත ගමන් කිරීම වැළැක්වීමටයි. සෙයිනි මවුලවි රක්ෂිත බන්ධනාගාරගත වුණා ම ඔහුට ඇප ගන්න රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් වැය කරනවා. ඒ මුදල ගෙවලා තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශයෙන්. ස්වයංඝාතකයින් ආරක්ෂා කර ගන්න අපේ මහජන මුදල් වැය කර තිබෙනවා.

එසේ කරලා තිබෙන්නේ මාස හයකින් එළඹෙන ඡන්දය තෙක් මෙම අන්තවාදී ක්‍රියා සම්බන්ධ තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමට යි. පිල්ලෙයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එකට කටයුතු කර තිබෙනවා. එසේ කටයුතු කර තිබෙන්නේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට හා ඝාතන සිදු කරන්නයි එසේ කටයුතු කරලා තිබෙන්නේ.

අසාද් මවුලානාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වෙලා තිබෙනවා පිල්ලෙයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එක්ව සිදුකළ අපරාධ ගැන. මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම කීත් නොයාර්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහර දීම වැනි කටයුතු වලට මෙම කල්ලි සම්බන්ධ වී තිබෙනවා.

පිල්ලෙයාන්ගේ කල්ලියේ දෙදහකට අධික පිරිසකට යුද හමුදා බුද්ධි අංශයෙන් වැටුප් ගෙවා තිබෙනවා. ඒ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි. දේශපාලන කොන්ත්‍රාත් කරන්න යි මේ වගේ දේවල් කරලා තියෙන්නේ. මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන්න කියලා මම යුද හමුදාපතිවරයාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. මෙවැනි ක්‍රියා දිගට ම සිදුවුණොත් යුද හමුදාපතිවරයාවත් සැකකරුවෙක් හැටියට අධිකරණයට ගේන්න වෙනවා තොරතුරු වසන් කිරීම සම්බන්ධව.

පාස්කු ප්‍රහාරයෙන් පසුව අසාත් මවුලානාගේ පවුලේ අයව අහුන්ගල්ලේ හෝටලයකට ගෙන්වාගෙන තිබෙනවා. සුරේෂ් සලේ විසින් තමයි එය කර තිබෙන්නේ. තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන බවටත් ඔහුට සඳහන් කර තිබෙනවා. මේ හෝටලේ ලොග් පොත්වල සටහන් සියල්ල අපි ලබාගෙන තිබෙනවා.”

ඒ අනුව පිල්ලෙයාන්ගේ කල්ලියයි, හමුදා බුද්ධි අංශයයි එකට කටයුතු කරලා තිබෙන බව අධිකරණයේදී අනාවරණය වෙයි.

මේ කල්ලි දෙක මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, කීත් නොයාර්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහර දීම වැනි නින්දිත කටයුතු වලට සම්බන්ධ වී තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ,

“පිල්ලෙයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එකට කටයුතු කර තිබෙනවා. එසේ කටයුතු කර තිබෙන්නේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට හා ඝාතන සිදු කරන්නයි එසේ කටයුතු කරලා තිබෙන්නේ. අසාද් මවුලානාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වෙලා තිබෙනවා පිල්ලෙයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එක්ව සිදුකළ අපරාධ ගැන.

මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම කීත් නොයාර්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහර දීම වැනි කටයුතුවලට මෙම කල්ලි සම්බන්ධ වී තිබෙනවා. පිල්ලෙයාන්ගේ කල්ලියේ දෙදහකට අධික පිරිසකට යුද හමුදා බුද්ධි අංශයෙන් වැටුප් ගෙවා තිබෙනවා. ඒ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි. දේශපාලන කොන්ත්‍රාත් කරන්න යි මේ වගේ දේවල් කරලා තියෙන්නේ. මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන්න කියලා මම යුද හමුදාපතිවරයාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා.

මෙවැනි ක්‍රියා දිගට ම සිදුවුණොත් යුද හමුදාපතිවරයාවත් සැකකරුවෙක් හැටියට අධිකරණයට ගේන්න වෙනවා තොරතුරු වසන් කිරීම සම්බන්ධව. පාස්කු ප්‍රහාරයෙන් පසුව අසාත් මවුලානාගේ පවුලේ අයව අහුන්ගල්ලේ හෝටලයකට ගෙන්වාගෙන තිබෙනවා. සුරේෂ් සලේ විසින් තමයි එය කර තිබෙන්නේ. තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන බවටත් ඔහුට සඳහන් කර තිබෙනවා. මේ හෝටලේ ලොග් පොත්වල සටහන් සියල්ල අපි ලබාගෙන තිබෙනවා.”

මේ පාර රාජ්‍ය තවමත් බලගතුයි. තාම ක්‍රියාත්මකයි. එනිසා වත්මන් ආණ්ඩුවට දැන් විශාල අභියෝගයක් තිබෙනවා.

එනිසා වත්මන් ආණ්ඩුවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ සහ ප්‍රංශයේ සිටින අසාත් මවුලානා ආරක්ෂා කරගනීමට සිදුවනවා.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් තවදුරටත් සඳහන් කළේ,

“කිසිදු සැකයක් නෑ. සුරේෂ් සලේ තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ග්‍රහයා. ඔහු වටේ තමයි අනෙකුත් ග්‍රහයින් කැරකිලා තියෙන්නේ. සුරේෂ් සලේ මේ ක්‍රියාව කළේ කා වෙනුවෙන් ද.? ඒ ගැනත් අපි පරීක්ෂණය කරනවා. පරීක්ෂණ කරලා ඊට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයින් නීතිය ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා.”