Top Story

Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්

Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්

වට්ස්ඇප් (Whatsapp) භාවිතා කිරීමේදී සිදුකරන මුදල් වංචාවක් ගැන පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවා ඇත.

ඉන්දීය සුරූපී තරුණියක් යොදා ගනිමින් වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට සිදුකරන මුදල් වංචාවක් ගැන එලෙස අනතුරු අඟවා ඇත.

ඒ සම්බන්ධයෙන් දැනට පැමිණිලි ලැබී ඇති බවත් මෙම වංචනික ක්‍රියාවට ඔබත් ගොදුරු වී ඇත්නම් වහාම ලඟම ඇති පොලීසියට පැමිණිලි කරන ලෙසද එම සංසදය දැනුම් දෙයි.

එනිසා නාඳුනන පුද්ගලයින්ගෙන් වට්ස්ඇප් හරහා පැමිණෙන වීඩියෝ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී සැලකිලිමත් වන ලෙසද එම සංසදය දැනුම් දෙයි.

සියල්ල ජූලි 01ට කලින් ලියාපදිංචිය අනිවාර්යයි

සියල්ල ජූලි 01ට කලින් ලියාපදිංචිය අනිවාර්යයි

ඉදිරියේදී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

ඒ අනුව එළඹෙන ජූලි (01) දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මේ බව සඳහන් කළාය.

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

නාවලපිටිය කැටබුලාවේ සිට හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද (05) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් පාසල් සිසුන් 13 දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලීසිය මගින් සිදු කරයි.

ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා 

ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා 

ඉරානය විසින් අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ප්‍රහාර එල්ල කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තමා ඉදිරියේ විකල්ප දෙකක් ඇති බවත් එනම් යහපත් විශ්වාසය මත පදනම් වූ ගිවිසුමකට එළඹීම හෝ යළිත් හමුදා මෙහෙයුම් ආරම්භ කිරීම බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

මේ අතර හෝමූස් සන්ධියේදී දෙපාර්ශ්වයම අතර ඇති වූ වෙඩි හුවමාරුවත් සමග මේ වනවිට සටන් විරාමය දැඩි පරීක්ෂාවකට ලක්ව ඇත.

ශ්‍රී ලංකා – මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7ක්

ශ්‍රී ලංකා – මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7ක්

දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට එළැඹුණි. 

ඒ සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන කේෂ්ත්‍ර සඳහා බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ අද (04) දින පෙරවරුවේ පැවැත්වුණි.

රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, තම ආරාධනය පිළිගෙන දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයාට සිය ස්තූතිය පිරිනමන බවයි.

මහින්ද අල්ලස් කොමිසමට කැඳවයි

මහින්ද අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමට පැමිණෙන්නැයි නොතීසි නිකුත් කර ඇත.

ඒ අනුව ලබන (12) වැනිදා අල්ලස් කොමිසම හමුවට පැමිණෙන්නැයි මහින්ද රාජපක්ෂට නොතීසි නිකුත් කර ඇත.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම මහින්ද රාජපක්ෂ කැඳවා ඇත.

සියලු ඉන්ධන මිල වැඩි කරයි

සියලු ඉන්ධන මිල වැඩි කරයි

අද (02) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරක මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 410කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 392කි.

හිටපු ජනපති ද, අගමැති ද අදාළ නෑ.. හොරුන්ට හිර ගෙවල් සූදානම්

හිටපු ජනපති ද, අගමැති ද අදාළ නෑ.. හොරුන්ට හිර ගෙවල් සූදානම්

2026 වසර ලංකා ඉතිහාසයේ දූෂිතයන්ට වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මැයි මාසේම 10 දෙනෙකුගේ නඩු අධිකරණයේ තියෙන බවත් වේගයෙන් අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතලයින්, හිරේට යමින් තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

නුවරඑලිය දිස්ත්‍රික් මැයි දින රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරලා තියෙනවා. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් දියත් කරලා තියෙනවා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි. අල්ලස් කොමිසම ශක්තිමත් කරලා තියෙනවා. අල්ලස් කොමිසමේ ඉඩ මදි කියලා කිව්වා.

අපි හිටපු ඇමති කෙනෙකුගේ ගෙයක් අරන් දුන්නා. අල්ලස් කොමිසටම. දැන් පරීක්ෂණ ටික යනවා. අපි ආයතන ශක්තිමත් කරලා දුන්නා. නීති හදලා දුන්නා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි. හිටපු ඇමතිවරුන්ගේ ගෙවල් අධිකරණ බවට පත් කළා නඩු අහන්න.

එදා කාලා බීලා හිටපු ගෙවල්වලට දැන් එනවා සාක්ෂි දෙන්න. අධිකරණ හදලා, ශක්තිමත් කරලා තියෙනවා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලය. මම සහතිකයක් දෙන්නම්. මේ 2026 වසර ලංකා ඉතිහාසයේ දූෂිතයන්ට වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට පත් වෙනවා.

මේ මැයි මාසේම 10 දෙනෙකුගේ නඩු තියෙනවා අධිකරණයේ. ඊයේ නඩු තීන්දුවක් ලබා දෙන්න දින නියම කළා. ඒ තීන්දුව මැයි මාසයේ එනවා. මොකක්ද සිදුවෙමින් තිබෙන්නේ.? වේගයෙන් අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතලයින්, හිරේට යමින් තිබෙනවා.

නඩු අහමින් තිබෙනවා. ඒ ගොල්ලන් කලබල වෙනවා. කලබල වුණේ නැත්නම් තමයි පුදුමේ. නීතිය දොරකඩට ඇවිත් තියෙනවා. මේ සෑම අපරාධකාරයෙක්ම නීතිය හමුවට ගෙන යාම සඳහා ඔබ අපිට ජන වරමක් ලබා දුන්නා. අපි ඒ් ජනවරම අනුව කටයුතු කරනවා.

පරම්පරාවෙන් ජනාධිපතිවරුන් ද පරම්පරාවෙන් අගමැතිවරුන් ද අපි මනින්නේ නැහැ. හිටපු ජනාධිපති ද හිටපු අගමැති ද, හිටපු ජනාධිපතිගේ බිරිඳ ද, ජනාධිපතිගේ පුතා ද, හිටපු ජනාධිපතිගේ බෑනා ද, හිටපු ජනාධිපතිගේ මස්සිනා ද කියලා භේදයක් නැහැ. නීතිය සමානව ළඟට එනවා.”

යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවෙමු

යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවෙමු

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවකය.

ඇමරිකානු තීරුබදු, දිට්වා සුළි කුණාටුව, මැදපෙරදිග යුද්ධය වැනි මෑත කාලීන විශාලතම අභියෝග හමුවේ පවා අප රටේ අනන්‍යතාව වූ මානුෂවාදී නොබැඳි විදෙස් පිළිවෙත මත පිහිටා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර ඇත්තෙමු.

දිට්වා වැනි ස්වභාවික ව්‍යසනවලට සාර්ථකව මුහුණදෙමින් 2025 වසරේදී 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර සහ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම ඇතුළුව මෙරට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අපි සලකුණු කළෙමු. මේසා සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් උර දුන් මෙරට වැඩ කරන ජනතාවට පළමුව මම ජාතියේ කෘතවේදීත්වය පළ කරමි.

එමෙන්ම, වැඩ කරන ජනතාවගේ ශ්‍රම වටිනාකම මැනවින් තේරුම් ගත් අපි ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිමු. රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළ නැංවීම, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් ඉහළ නැංවීම මෙන්ම, 2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම, වතු කම්කරු වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළ නැංවීම, කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීති සංශෝධනය මෙන්ම මෙරට වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් ඉහළ නැංවීම ඇතුළුව මෙරට ගොවි, ධීවර ප්‍රජාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වතු කම්කරු ජනතාව ඇතුළු විවිධ වෘත්තීන්හි නිරතවන්නන් ආදී සමාජයේ සියලු දෙනා වෙනුවෙන් වරප්‍රසාද රැසක් ලබා දීමට අප කටයුතු කර තිබෙන බවද මෙහිලා සිහිපත් කරන්නේ මහත් සතුටිනි. පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේදී වැඩිම පීඩාවට පත් වූයේ මෙරට වැඩ කරන ජනතාවයි.

ඉතිහාසයේ ව්‍යසනයකදී ලබා දුන් වැඩිම වන්දි මුදල ලබා දීම, ගොවි ජනතාව, ධීවර මෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම සහ නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය පැවතුණාට වඩා උසස් තලයකට ඔසවා තැබීමේ Rebuilding Sri Lanka වැඩපිළිවෙළ මේ වන විටත් සාර්ථකව ක්‍රියාවට නංවමින් තිබෙන බවද මෙහිලා සිහිපත් කළ යුතුය.

මෙරට වැඩ කරන ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම අපගේ ඒකායන අරමුණයි.

එහිදී දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින්නෙමු. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ප්‍රජාශක්ති වැඩසටහන ආදිය ක්‍රියාත්මක වන්නේ ඒ වෙනුවෙනි.

රටට අහිමි වු සංවර්ධනය ළඟා කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැඟීමේ වැඩපිළිවෙළෙහිදී ගාමක බලවේගය ලෙස මෙරට වැඩ කරන ජනතාව පිළිබඳ අපි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු.

එම විශ්වාසය මත පදනම්ව අපරාජිත ගමනක් වෙනුවෙන් අපි වැඩ කරමින් ඉගෙන ගනිමින්ද, ඉගෙන ගනිමින් වැඩ කරමින්ද සිටිමු. නියත වශයෙන්ම යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් වූ සාමුහික ප්‍රයත්නයට හෘදසාක්ෂියට අනුවම එක්ව කැපවෙමු’යි ආදරණීය වැඩ කරන ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කරමින් අර්ථවත් කම්කරු දින සැමරුමකට ශුභාශිංසන එක් කරමි.

හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක විසින් ඊයේ (28) නිකුත් කර ඇත.

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.