දේශපාලනය සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් නොවන බවත් රාජ්‍ය පාලනයේදී ගන්නා සෑම තේරීමක් සහ තිරණයක්ම හැඩගස්වනු ලබන්නේ ඒ මගින් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ 60 වන සංවත්සර සඳහා පැවැති සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කළාය.
අද (19) උදෑසන, බ්‍රයිටන්හි පිහිටි සසෙක්ස් විශ්වවිද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, සංවර්ධන අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අනු ජෝෂි, මහාචාර්ය මික් මුවර් සහ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් විසින් පිළිගනු ලැබීණි.
එහි පැවැති ප්‍රසිද්ධ රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන හා ආර්ථික අත්දැකීම් පාදක කරගනිමින් දේශපාලනය, යහපාලනය සහ සංවර්ධනය අතර ඇති අන්‍යෝන්‍ය සබැඳියාව පිළිබඳව පැහැදිලි කළාය.
මහජන අපේක්ෂාවන් ඉටු කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම ආරක්ෂා කරමින්, රාජ්‍ය පාලනය, ආර්ථික පුනරුත්ථාපනය, සමාජ ආරක්ෂණය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සමබරව පවත්වාගෙන යාමේදී ඇති වන අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
වැටුප් ලබන සහ නොලබන රැකවරණ සේවාවන්, ජාතික ආර්ථිකයේ මධ්‍යම සංරචකයක් ලෙස හඳුනාගැනීමට රජය දක්වන ප්‍රතිපත්තිමය අවධානය සහ රැකවරණ ක්ෂේත්‍රය තුළ කාන්තාවන් මුහුණ දෙන අභියෝග මෙන්ම ඔවුන්ගෙන් සිදුවන දායකත්වය අග්‍රාමාත්‍යවරියගේ විශේෂ ඇගයීමට ලක් විය.
