ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ඉදිරිපත් කරන බවත් එම පනත තවත් මාස දෙකක් තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,
“2009 වසරේ යුද්ධය අවසන් වුණා. නමුත් අතුරුදන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ගැටලු පවතිනවා කියන්නේ පෙර පැවති රජයන්ට මේ විමර්ශන අවසන් කිරීමේ අවශ්‍යතාවයක් තිබිලා නැහැ. තිස් වසරක යුද්ධය නිසාවෙන් උතුරත් දකුණත් ඇති වෙන්න ලේ කදුළු හෙලුවා. නැවතත් එවැනි තත්වයන් සිදු වෙන්න බැහැ.
යළි යුද්ධයක් ඇති නොවන්න නම් සහජීවනය මිත්‍රත්වය ගොඩ නැගිය යුතුයි. අතුරුදන් වු අයට යුක්තිය ඉටු කිරීමට මෙන්ම විමර්ශනවල අවසානයක් දැකිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වත්මන් රජයට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා.
මේ වන විට උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. මාර්ග විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. තවදුරටත් දමිළ ජනතාවට දෙවන පුරවැසියෙක් කියලා හිතන්න දෙන්න බැහැ. උතුරේ ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි.
ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වර්ගවාදයෙන් විෂ වෙලා තියෙන පොළොවක් නිදහස් කරන එක පහසු නැහැ. ඒ වෙනුවෙන් රජය කැපවී කටයුතු කරනවා.”
කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (19) පැවති සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කරයි.
