ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද හමුදා උපකරණ සහ වෛද්‍ය උපකරණ තොගයක් නිල වශයෙන් භාරදීමේ උත්සවය අද (16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ඉන්දීය රජයේ ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව වෙත පිරිනැමුණු, ඇමරිකානු ඩොලර් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් මෙම හමුදා උපකරණ තොගය සහ හදිසි අනතුරු හා කම්පන සත්කාරක පද්ධතිය (trauma care system), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha විසින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙත නිල වශයෙන් භාර දෙන ලද අතර, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගු ද එම අවස්ථාවට එක්විය.
ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Sharda” නෞකාව පසුගිය ජූනි (10) සිට (13) දක්වා මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ (Operational Turnaround – OTR) සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, එම සංචාරයේදී හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ඉන්දීය යුද්ධ හමුදාවෙන් ලැබුණු උපකරන තොගය ද දිවයිනට රැගෙන එන ලදි.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා, ඉන්දීය යුද්ධ හමුදාවේ මෙහෙයුම් සදහා පවතින හමුදා උපකරණ තොගයන්ගෙන් මෙම උපකරණ සැපයීම දෙරටේ හමුදාවන් අතර පවතින ශක්තිමත් සහ නොබිඳුණු සබඳතාවයට කදිම සාක්ෂියක් බව ප්‍රකාශ කළේය.
ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා වසර ගණනාවක් පුරා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව පෙන්වා දුන් ඔහු එය හුදු පුහුණු සහයෝගීතාව සහ මානුෂීය ආධාර වලින් ඔබ්බට ගොස් ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ හමුදා උපකරණ හා පුහුණු ආධාරක සැපයීම දක්වා පුළුල් වී ඇති බව සඳහන් කළේය.
‘සාර්ග බන්දු’ මෙහෙයුම (Operation Sagar Bandhu) යටතේ ‘දිට්වා” සුළි කුණාටුව පැවති අවස්ථාවේදී, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, වෛද්‍ය ආධාර සහ යටිතල පහසුකම් සැපයීම ඇතුළුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් කඩිනම් සහය මහ කොමසාරිස්වරයා මෙහිදී සිහිපත් කළේය.
එමෙන්ම, 2025 අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම දෙරටේ සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුවහන් කල බව සිහිපත් කළ ඔහු, එමගින් ආරක්ෂක සබඳතා තවදුරටත් තහවුරු වූ බවත්, ඉදිරි වසර වලදී දෙරට අතර වඩාත් පුළුල් සහ ව්‍යුහගත සහයෝගීතාවක් සඳහා ශක්තිමත් අඩිතාලම වැටුණු බවත් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වු ආරක්‍ෂක ලේකම්වරයා, ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ඉන්දීය රජය ලබාදෙන අඛණ්ඩ සහයෝගය සහ දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව සිය අවංක කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ශතවර්ෂ ගණනාවක් පැරණි ඓතිහාසික, සංස්කෘතික සබඳතා වලින් බැඳී ඇති බවත්, එය ආර්ථික සහයෝගීතාව, සංවර්ධන ආධාර, සමුද්‍රීය ආරක්ෂාව, ආපදා ප්‍රතිචාර සහ ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළත් ශක්තිමත් හා බහු විධ හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
