මහනුවර, කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසක තිබී අබිරහස් ලෙස මියගිය 23 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් සොයාගෙන ඇත.
මෙලෙස මියගිය 23 හැවිරිදි විවාහක තරුණියගේ සැමියාට අයත් බව කියන නිවසේ තිබී මෙම මළසිරුර සොයාගෙන ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් ඇයට පහරදී ඝාතනය කර ඇති බව මරණකාරියගේ ඥාතීන් චෝදනා කරයි.
මොවුන් විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයා ඇයට දිගින් දිගටම සිදුකළ තාඩන පීඩන සම්බන්ධයෙන් බලගොල්ල පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදුකළ බව මියගිය තරුණියගේ ඥාතීන් සඳහන් කරයි.
කෙසේ වෙතත් තමන් සංගීත සංදර්ශනයක් බැලීමට ගොස් අද අලුයම නිවසට පැමිණි අවස්ථාවේදී ඇය ගෙල වැලලාගෙන සිටිනු දුටු බවත් පසුව එම කඹය කපා ඇයගේ සිරුර ඇඳ මතට ගත් බව මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයා සඳහන් කර ඇත.
මියගිය තරුණියට ඇයගේ ස්වාමිපුරුෂයා විසින් පහර දෙන බවත් එම පහර දීම හේතුවෙන් ඇය නිරන්තරයෙන් දෙමාපියන්ගේ නිවසට පැමිණෙන බවත් ඇය දික්කසාද වීමේ සූදානමකින් පසුවූ බවද පවුලේ ඥාතීන් සඳහන් කරයි.
මියගිය තරුණිය විසින් ලියන ලදැයි කියන ලිපියක් එම තරුණයාගේ නිවසේ අය විසින් පොලිසියට සහ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළද එම ලිපියේ ඇති අත්අකුරු තම මියගිය දියණියගේ නොවන බව මියගිය තරුණියගේ ඥාතීන් සඳහන් කරයි.
කෙසේ වෙතත් මියගිය තරුණියගේ දේහය පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහල වෙත යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
