මාර්ගයේ රැඳීසිටින වන අලින්ට ආහාර ලබාදෙන රථවාහන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ වනවිට කතරගම – බුත්තල මාර්ගයේ වනඅලි අටදෙනෙකු පමණ රථවාහන නවතා ආහාර ලබාගැනීමට හුරුවී සිටින බවත් ඒ හේතුවෙන් ඔවුන් මාර්ගය ආශ්‍රිතව රැඳීසිටීමට හුරුවී ඇති බවද සඳහන් කරයි.
එම තත්ත්වය හේතුවෙන් රථවාහන වලට වනඅලි විසින් සිදුකරන අනතුරු ඉහළ ගොස් ඇති බවත් වසරකට රථවාහන සියයකට අධික සංඛ්‍යාවකට වනඅලි ප්‍රහාර හේතුවෙන් හානි සිදුවන බවද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
පසුගිය වසර හයක කාලය තුළ වනඅලි විසින් රථවාහනවලට සිදුකරන පහරදීම හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
දිනකට රථවාහන 2,000කට අධික සංඛ්‍යාවක් මෙම මාර්ගය ඔස්සේ ගමන් කරන අතර කතරගම වන්දනාකරුවන් මෙන්ම මොනරාගල, වැල්ලවාය, බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ වෙත ගමන් කරන විශාල පිරිසක් ද මෙම මාර්ගය භාවිත කරයි.
මාර්ගයේ රැඳීසිටින වන අලින්ට ආහාර ලබා නොදුන් අවස්ථාවලදී ඔවුන් රථවාහන වෙත පහරදීමට, වාහන පෙරළීමට උත්සාහ කරන බවත් මෑතකදී වන අලියෙකු බස් රථයකට පහරදීමෙන් එම බස් රථය පෙරළී පුද්ගලයින් හතලිස්දෙනෙකු පමණ තුවාල ලැබූ බවද සඳහන් කරයි.
යාල ජාතික වනෝද්‍යානයේ අංක දෙක කලාපයට අයත් මෙම මාර්ගය ඔස්සේ ගමන් කිරීමට ජනතාවට අවසර ලබාදී තිබුණද, වාහන වලින් බැස වනසතුන්ට ආහාර ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එනිසා වනජීවී ආඥා පනත යටතේ වනසතුන්ට පීඩා වන අයුරින් කටයුතු කිරීමේ වරද යටතේ ආහාර ලබාදෙන රථවාහන වීඩියෝගත කර, අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඉන්ද්‍රජිත් සඳහන් කරයි.
