Advertisements

බාලවයස්කාර දැරිය අපයෝජනය – පල්ලේගම හිමිට අධිකරණයෙන් නියෝග

බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම යන සිද්ධියට අදාළව හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිට එරෙහි නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ (26) කැඳවනු ලැබුවෙිය.

එහිදී හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කරන ලද බව කියන සිද්ධියට අදාළව පොලිසිය සිදු කරන විමර්ශන පිළිබඳව නීතීපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව, නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව මූලස්ථාන පොලිසියෙන් විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව විමසීමේදී ඊට ප්‍රතිචාර දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධ සිදු කළ මුල් DNA පරීක්ෂණයට අදාළ වාර්තාව දැනටමත් ලැබී ඇති බවත් දෙවන DNA පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවයි.

තවද සිදුකරන විමර්ශන වලට අදාළව සැකකාර පල්ලේගම හේමරතන හිමිගේ, වින්දිත දැරියගේ සහ වින්දිත දැරියගේ මවගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගෙන දැනටමත් අධිකරණයට භාරදී ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහිදී සඳහන් කළේය.

අනතුරුව මෙම සිද්ධිය තවමත් විමර්ශන අවධියේ පවතින නිසා විශේෂ කරුණු දැක්වීමක් සිදුකිරීමට තමන් අපේක්ෂා නොකරන බව සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේය.

මෙහිදී වින්දිත දැරිය අධීක්ෂණය කරන පරිවාස නිලධාරිනිය සඳහන් කළේ, දැරිය මේ වනවිට මනෝ උපදේශනය සඳහා යොමු කරමින් යහපත්ව, ඉතාමත් ආරක්ෂිත ලෙස පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ රඳවා සිටින බවයි.

අනතුරුව සියලු කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසට නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය.

තවද මෙම නඩුව අගෝස්තු (21) වන දින යළි කැඳවීමටත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව පොලිසියට නියෝග කළේය.

එමෙන්ම, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට සහ වින්දිත දැරියගේ මවට අගෝස්තු (21) වන දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest