හිටපු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් 2015 වසරේ සිට 2021 වසර දක්වා මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියේය.
පිල්ලෙයාන් සමග බන්ධනාගාරයේ රඳවා සිට පුද්ගලයෙකුගේ සාක්ෂි අනාවරණයක් මගින් හෙළිවු කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.
එම අනාවරණයට අනුව මහාචාර්ය රොහාන් ගුණරත්න නැමැත්තා අවස්ථා තුනකදී පැමිණ පිල්ලෙයාන් හමුවී ඇති අතර එම රොහාන් ගුණරත්න සමඟ තවත් කාන්තාවන් දෙදෙනෙකුද පිල්ලෙයාන් හමුවීමට පැමිණ ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.
තවද එම කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවක් පසුව යුද හමුදාවේ මේජර් නිලයට බඳවාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.
මේ අතර සහරාන් හෂිම්ගේ සහෝදරයා වන ජාතික තවුහිත් ජමාත් සමාජික ෂෙයිනි මව්ලවී සහ මිල්හාන් නැමැති තවත් පුද්ගලයෙක් පිල්ලෙයාන් රඳවා සිටි වාට්ටුවට පිල්ලෙයාන් විසින් ගත් බවද සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
එම සාක්ෂිකරු සඳහන් කර ඇත්තේ, පිල්ලෙයාන්, ෂෙයිනි මව්ලවී සහ මිල්හාන් කතා කරන ස්ථානයට තමන් යන අවස්ථා වලදී ඔවුන්ගේ කතාබහ ඉක්මනින් වෙනස් කරන බවයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලෙයාන් නැවත අත්අඩංගුවට ගෙන, මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

