2029 නියත ජනාධිපති නාමල්.. අගමැති සහ කැබිනට් මණ්ඩලය සූදානම්

LIVE

2029 වසරට තව කල් තිබෙන බවත් එම 2029 වසරේ නිශ්චිතවම නාමල් රාජපක්ෂ ජනාධිපති වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය එම මැතිවරණය ආසන්න කාලයේදී ප්‍රකාශයට පත් කරන බවද මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

සමගි ජන බලවේගය යනු රටේ විපක්ෂය නොවන බවත් එය පාර්ලිමේන්තුවේ විපක්ෂය පමණක් බවත් සමගි ජන බලවේගය සමග කිසිදු සටනක් නොමැති බවද මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

මහ ලේකම් සාගර කාරියවසම් මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ

“අවාසනාවකට වගේ තාම පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ, ඒක රටේ විපක්ෂය නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ සමහර කොටස් ඉන්නවා මේ ගෙනියන ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒ වගේම නීතියේ ආධිපත්‍ය විනාශ කිරීමේ වැඩපිළිවෙලට සැගවී සිට සහයෝගය දක්වන පිරිස් ඉන්නවා. අපි ඒ ගැන කණගාටු වෙනවා. නමුත් එහෙම කියලා අපි මේ අපේ සටන අතාරින්නේ නෑ. අපි අපේ ගමන ඉදිරියට යනවා.”

“අපිට සමගි ජන බලවේගය එක්ක සටනක් නෑ. අපේ සටන තියෙන්නේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ සමග. ඉතිං අපි සමගි ජන බලවේගය ගැන හිතන්නෙවත් නෑ ඇත්තටම. අපිට විපක්ෂ නායක කම ගන්ඩ අවශ්‍ය නෑ. අපි රටේ ඊළග ජනාධිපතිවරයා බිහි කිරීමේ සටනේ ඉන්නේ. අපිට විපක්ෂ නායක කම අවශ්‍ය නෑ.”

“2029ට තව වසර තුනක් කල් තියෙනවා. අපි දැන්ම ඊළග අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය නම් කළොත් ඉදිරි කාලයේදී අපිට හොද බුද්ධිමතුන්, දක්ෂයින් එකතු කර ගැනීමේ අවස්ථාව මගහැරිලා යනවා. ඉතිං අපි ඒ වගේ දේශපාලන වශයෙන් අදූරදර්ශී කටයුතු සිදු කරන්නේ නෑ. නිශ්චිතයි නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා. අගමැති සහ කැබිනට් මණ්ඩලය අපි ඒ මැතිවරණය ආසන්නයේ අපි කියන්නම්.”

1 Comment
Most Voted
Newest Oldest