ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජය සතු ප්‍රමුඛ පෙළේ ව්‍යවසායයක් වන සීමා සහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම (RALL), 2024/2025 මූල්‍ය වර්ෂය වෙනුවෙන් උපයන ලද ලාභයෙන් රුපියල් 111,110,014.00 ක ලාභාංශ මුදලක් (23) මහා භාණ්ඩාගාරය වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.
මෙයට අදාළ ලාභාංශ වෙක්පත, සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජුඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) විසින් කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර වෙත නිල වශයෙන් භාර දෙන ලදි.
අනතුරුව, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එම චෙක්පත රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දනීෂා ජයදේව මහත්මිය වෙත නිල වශයෙන් පිරිනමන ලදි.
සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතරම් ලාභාංශ මුදලක් පුර්ණ වශයෙන් රජය වෙත පිරිනැමීමට හැකි වීම ඵෙතිහාසික සන්ධිස්ථානයක් වන අතර, පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාගමේ ශුද්ධ ලාභය 74% ක අගයකින් ඉහළ යාම මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.
2006 වර්ෂයේදී ආරම්භ කරන ලද රක්නා ආරක්ෂක ලංකා සමාගම, වර්තමානය වන විට 3,750 කට අධික මනා පුහුණුවක් ලත් වෘත්තීය කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ආයතන 600 කට අධික සංඛ්‍යාවකට සිය ආරක්ෂක සේවාවන් සපයන මෙම සමාගම, ශ්‍රී ලංකාව තුළ සමුද්‍ර ආරක්ෂක සේවාවන් (Maritime Security) සපයන එකම රජය සතු ආයතනය ලෙස ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනාගෙන ඇත.
ආරක්ෂක සේවාවන්ට පමණක් සීමා නොවී, රාජ්‍ය හා පෞද්ගලික ආයතන 100 කට අධික ප්‍රමාණයකට විශේෂ නිපුණතා සේවාවන් සපයන අතරම, කොළඹ නාගරික පරිසරය තුළ ජනතාවට සහන මිලට ගුණාත්මක ආහාර වේලක් ලබාදීමේ ප්‍රශංසනීය සුභසාධක ව්‍යාපෘතියක ද සමාගම නිරතව සිටියි.
සමාගම සතු ‘විශේෂ නිපුණතා සේවා ඒකකය’ හරහා පවත්වාගෙන යනු ලබන පිරිසිදු කිරීමේ සේවා සහ විශේෂ ආරක්‍ෂක සේවාවන් කෙරෙහි පාරිභෝගිකයින් තැබූ ඉහළ විශ්වාසය මෙම මූල්‍ය ප්‍රගතියට සෘජුවම දායක වී ඇත.
එමෙන්ම, මෙරට පෞද්ගලික ආරක්ෂක ක්ෂේත්‍රය තුළ පවතින එකම පුහුණු පාසල වන නැදුන්ගොල්ල පුහුණු පාසල’ (CIMSTA) මගින් සිය නිලධාරීන්ගේ වෘත්තීය ගුණාත්මක භාවය අඛණ්ඩව සුරක්ෂිත කරනු ලබයි. මෙම පුහුණු මධ්‍යස්ථානය සිය ආයතනික අවශ්‍යතා ඉක්මවා යමින් පාසල්, විශ්ව විද්‍යාල සහ සෙසු රාජ්‍ය ආයතන වෙත ද සහන මිලට පුහුණු වැඩසටහන් පවත්වමින් ඉටු කරන සමාජීය වගකීම ද අතිශය වැදගත් වේ.
මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), රජය සතු ව්‍යවසායයක් ලෙස ලාභ ලබමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට මහා භාණ්ඩාගාරය වෙතලබාදෙන මෙම සුවිශේෂී දායකත්වය බෙහෙවින් අගය කළේය. සමාගමේ සම්පත් මනා කළමනාකාරීත්වයකින් යුතුව මෙහෙයවීම සහ සමස්ත කාර්ය මණ්ඩලය දැක් වූ කැපවීම මෙම මූල්‍ය ජයග්‍රහණයේ රහස බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දැඩි තරඟකාරී වෙළඳ පොළක් තුළ සිය සේවාවන් විවිධාංගීකරණය කරමින් රක්නා ආරක්ෂක ලංකා සමාගම අත්කරගෙන ඇති මෙම දියුණුව සෙසු රාජ්‍ය ආයතන වලට ද, මහඟු ආදර්ශයක් බව එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

