ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් විසින් වත්මන් පොලිස්පතිවරයා ඝාතනය කිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශය මගින් පොලිස්පතිවරයා මහමඟදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාදෙන බවක් පෙන්නුම් කරන බවත් එය ඉතා බරපතල තත්ත්වයක් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ, පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් ඉඟියක් සාගර කාරියවසම් ලබාදෙනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඒක ඉතාම බරපතල ප්‍රකාශයක්.
වර්තමාන පොලිස්පතිවරයා මේ අපරාධ සම්බන්ධයෙන් වේගයෙන් පොලීසිය මෙහෙයවමින් කටයුතු කරමින් ඉන්නවා. පාතාලය මර්දනය කරන්න කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා.”
“පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට, කළු සල්ලි ජාවාරමට, දූෂිත දේශපාලනයට එරෙහිව පොලිස්පතිවරයා තමන්ගේ ආයතනය, නිලධාරීන් මෙහෙයවමින් සිටියදී යම් කිසි පක්ෂයක මහ ලේකම්වරයෙක් කිව්වා නම් මේ පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය වෙනව වගේ ප්‍රකශයක්.
ඒක බරපතලයි. මාධ්‍ය සාකච්ජාවකදී බොහොම හොදින්, හිතාමතා සැලසුම් සහගතව කියපු ප්‍රකාශයක්. පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය කරනවා වගේ ප්‍රකාශයක් කරනවා නම්, ඊට පසුබිම් වන කතන්දරය පිළිබඳව පරීක්ෂණ කරන්න පොලීසියට සිදුවේවි.
අනිවාර්යයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. මේ ප්‍රකාශ නිකන් වචන කියලා බැහැර කරන්න බැහැ. මේවා නික තැනක කිව්වා නෙවෙයි. මාධ්‍ය සාකච්ඡාවකදී හිතාමතා සැලසුම් සහගතව කියපු එකක් කියලා තමයි පේන්න.”
මේ අතර පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් පසුගියදා සඳහන් කළේ,
“අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවාට.“
මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,
“ඔවුන්ට බලය වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ග ගන්න තියෙන හැකියාව තමයි නැවත නැවත ඔවුන් මේ ඔප්පු කරමින් ඉන්නේ. මේ වෙනකොට වර්තමාන පොලිස්පතිතුමා විශේෂයෙන් තමන්ගේ සේවාව කාර්යක්ෂමව, මැනවින් ඉටු කරමින් ඉන්නවා.”
“ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ බොහෝ පිරිස් විවිධ වංචා වලට සම්බන්ධ වෙලා, මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශන ඉතාම කාර්යක්ෂමව සිද්ධ වෙමින් පවතිනවා. මෙවැනි දූෂිතයන් මේ වෙනකොට බියට පත්වෙලා මේ වගේ මනෝ විකාර ප්‍රකාශ කරනවා.”
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“ඔබතුමාලට අසීමිතව කඩේ යන පොලිස්පතිව අසරණ කරන්න එපා. මම කියනවා තමයි. අහගෙන ඉන්න. ඔබතුමාලා දන්නවා නම් පෙර දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට, පොලීසියට ගියපු කළදසාව ඔබතුමාලගේ පොලිස්පතිව අනාථ කරන්න එපා. මම මේ කියන්නේ ඒක. ඔහොම කිය කිය ඉන්න.”
159ම විනෝද වෙන්න. ඔහොම තමයි අවසාන කාලේ වෙනකොට ඔය වගේ සිදුවීම් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබතුමාල මෙතන මේ කයිවාරු ගහන්න පුළුවන්. ඔබතුමාලා මෙතන දඟලන්න පුළුවන්. බොරු කියන්නත් පුළුවන්.“
“අපි ඔයාලා වගේ පස්සෙ දොරෙන් දුවන අය නෙමෙයි ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා. අපි හැංගි හොරා වැඩ නෑ. අපි ඒක වෙලාව ආවාම බලාගමු.”
මේ අතර පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් විසින් පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය කිරීම සම්බන්ධව දුන් ඉගිය පිළිබඳව, ප්‍රකාශයට අදාළව මේ වනවිට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

