රුපියල් 40,000ක මුදලකට වයස අවුරුදු 02ක දැරියක් විකුණා එම මුදලින් රුපියල් 15,000ක ජංගම දුරකථනයක් මිලදී ගත් මව, ඇයගේ අනියම් පුරුෂයා සහ අදාළ දැරිය මිලදී ගත් කාන්තාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කුඩා දැරියගේ මව සහ අනියම් පුරුෂයා විසින් ඇය කොළඹ ප්රදේශයේ කාන්තාවකට මුදලට විකුණා ඇති බවට ධර්මපුරම් ග්රාම නිලධාරීවරයා විසින් පොලිස් ස්ථානයට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ මව හා අනියම් ස්වාමිපුරුෂයා ධර්මපුරම් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් හා 31ක් වන දෙපළක් වන අතර දැරිය මිලදී ගත් බව කියන කාන්තාව කටුනායක ඇවරියවත්ත ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් වන බව පොලීසිය සඳහන් කරයි.
ධර්මපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් එම සැකකාරියන් දෙදෙනා සහ සැකකරු කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (29) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

