බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් කලහාකාරි ලෙස හැසිරුණේ නම් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇත්නම් සැකකරුවන් ලෙස නම් කර චෝදනා ගොනු කරන්නැයි අධිකරණය අද (20) නියෝග කර ඇත.
ඒ, පසුගිදා (18) වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසළ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස හමුවේ කරුණු වාර්තා කළ අවස්ථාවේදී මෙම නියෝගය කර ඇත.
එම සිදුවීමට අදාළ පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන අතර සැකකරුවන් ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතු බව, මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.
විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් විජේසේකර සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් වීමට සිය සේවාදායකයා සූදානම් බවයි.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

