ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ගනුදෙනුවට අදාළ අල්ලස් මුදල් හුවමාරු වූ බවට සැක කෙරෙන බැංකු ගිණුම් හිමිකරුවන් සහ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සැකකරුවන් මෙන්ම සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම මෙම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත.
එම මුදල් ප්‍රේෂණය වූ බැංකු ගිණුමක හිමිකරුවකු ලෙස සැලකෙන නිමල් පෙරේරා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙහි සැකකරුවකු වූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද රාජපක්ෂ යන සැකකරුවන් මේ වනවිට විදේශගතව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් දැනටමත් වරෙන්තු නිකුත් කර ඇත.

