හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්රයන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පුද්ගලයින් තිදෙනෙකුගේ නම් භාවිතා කරමින් රහසිගතව දේපළ අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
දොළොස්බාගේ ප්රදේශයේ පිහිටි කෙලී ගෲප් වතුයායට අයත් අක්කර 135ක තේ ඉඩමක් සහ 1918 වසරේ ඉදිකරන ලද අක්කර භාගයක පමණ වපසරියකින් යුත් බංගලාවක් මෙලෙස අත්පත් කරගෙන ඇති බව එම සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සඳහන් කරයි.
මෙම ගනුදෙනුව සඳහා ඔසාඩා ප්ලාන්ටේෂන් නමැති සමාගමක් භාවිතා කර ඇති බවත් එහි අධ්යක්ෂවරුන් ලෙස ඒ.එස්. රිෂාඩ්, එම්.එස්. මොහොමඩ් සාමි සහ එම්.එස්.එම්. රිෂාඩ් යන පුද්ගලයින් පෙනී සිටින බවද සභාපති කාමන්ත තුෂාර සඳහන් කරයි.
තවද, මියගිය පුද්ගලයෙකු වන අරුණ විධානගේ සහ නෙවිල් නමැති පුද්ගලයෙකු හරහා ද මෙම ගනුදෙනු සිදුව ඇති බවට අදාළ ලේඛන මගින් තහවුරු වන බවද සභාපති කාමන්ත තුෂාර සඳහන් කරයි.
