අනෝජන්ගේ මරණ දඬුවම අහෝසියි.. ජනපතිගෙන් ‘X’ සටහනක්

මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

මෙම ප්‍රතිඵලය ලබාගැනීමට හැකිවූයේ මිත්‍රශීලී රාජ්‍යයක නීතිමය ක්‍රියාවලියට ගරුකරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පිරිනමන අතර මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති කණ්ඩායම් වෙතද ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය හිමිවන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සියලු සහයෝගය ඉදිරියට ලබාදීමට රජය සූදානමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest