තිත්තගල්ලේ හිමිට වැඩ වරදී.. පොලීසියෙන් දැනුම්දීමක්

සිරගතව සිටින හිමි නමක් වෙනුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි පාගමනට ආධාර උපකාර කළ පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් හෙල්මටයකින් පහරදුන් බවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් පවසන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම සිදුවීම 2026.10.14 වන දින වීරගුල පොලිස් වසමේදී සිදුව ඇති අතර වීඩියෝවේ සිටින පහරකෑමට ලක් වූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටී.

වීරගුල පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඒ අනුව වීදියවත්ත දේවාලය ඉදිරිපිට දී ඇති වූ රථවාහන තදබදයකදී පහරකෑමට ලක් වූ පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් හෙල්මටයකින් පහරදුන් බවටත් එහිදී හිමි නමක් වීඩියෝ පටයකට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසූ බවත් ප්‍රකාශ කර ඇත.

මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, ඔහු පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීමට ලක්ව ඇති බවට ප්‍රකාශ කර ඇති අතර පහරදීමට සම්බන්ධ යතුරුපැදිකරුද ගම්පහ රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබයි.

මෙම සිදුවීම පාදක කරගනිමින් ඉහත නම් සඳහන් හිමියන් විසින් වීඩියෝ පටයකට පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තුවාල පෙන්වමින් තමා සමඟ පැමිණි ආධාරකරුවෙකුට පිරිසක් පහරදුන් බවට හුවා දක්වමින් වීඩියෝවක් පටිගත කර සමාජ මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරක් මුදාහැර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.

මෙම සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් වීරගුල පොලිස් ස්ථානය මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර මෙවැනි අසත්‍ය, තහවුරු නොකළ, මහජන නොසන්සුන්තාවයන් හා කැළඹීම් ඇති වන පරිදි මෙලෙස ප්‍රචාරණයන් පල කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමු කර නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රියාත්මක වන බවත් දැනුම් දෙනු ලැබේ.

මෙවැනි ආකාරයට අසත්‍ය තොරතුරු පල කරනු ලබන වීඩියෝ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර වීරගුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

0 Comments
Most Voted
Newest Oldest