ශ්රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන නිගමනයන්ට සහ අධිකරණය ලබාදී තිබෙන තීරණයට අපි යටත් වෙන බවත් එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා, බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,
“අපට අවශ්යයි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හැම කෙනාටම සමාන නීතියක් තියෙන රටක් හදන්න. ඕනද, නැද්ද. අපි ඒක හදනවා මතක තියාගන්න. හැබැයි ඒක හදනකොට මොකද වෙන්නේ.
පරණ නීතියෙන් වරප්රසාද ලබපු, පරණ නීතියට වඩා උඩින් හිටපු අය කලබල වෙනවා. මේ දවස්වල ටිකක් වැඩියෙන් කලබල වෙලා. ඇයි මේ දවස්වල නීතිය තමන් ලගට ලගා නොවේවි කියලා හිතන අය ගාවට නීතිය ඇවිල්ලා තියෙනවා. කවදාවත් හිතුවේ නෑ.”
“නීතිය පිළිබඳව අවසන් වගකිවයුත්තා කවුද. පාර්ලිමේන්තුව අණපනත් හදලා දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ඒ අණපනත් වලට අනුව නඩු දානවා. ඒ නඩු වලට අවශ්ය පරීක්ෂණ ටික අල්ලස් කොමිසම, සී.අයි.ඩී එක, පොලීසිය කරලා දෙනවා.
අවසානයේදී ඒ නීතිය අවසන් විභාගයට ලක් කරන්නා කවුද. අධිකරණය. ඒ අධිකරණයේදීත් අවසාන නීතිය විභාගයට ලක් කරන්නා කවුද. ශ්රේෂ්ඨාධිකරණය. ශ්රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දෙනවා. තීන්දුවක් දුන්නාම, ඒක අයින් කරන්න කියලා කෑ ගහනවා.
කොහෙද මේ නීතිය තියෙන්නේ එතකොට. එහෙම නීති තියෙන්න බෑ රටක. එනිසා මතක තබාගන්න ඒ ආයතන වලට අපි නීතිය ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය වන බලය දීලා තිබෙනවා. අපි විශ්වාස කරන්නේ අධිකරණ පද්ධතිය විසින් ලබාදෙන තීරණ තමයි මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස අපි සලකනවා.
සලකන්නේ නැති අයට කෑ ගහන්න පුළුවන්. අපි සලකනවා අවසානයට ශ්රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන නිගමනයන්ට තමයි අපි යටත් වෙනවා. අධිකරණය ලබාදී තිබෙන තීරණයට අපි යටත් වෙනවා. එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා.”
