පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු මියයෑම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් (12) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
හෝමාගම පොලීසිය විසින් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගත් ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි පුද්ගලයා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය (25) වැනිදා මියගියේය.
එම පුද්ගලයා මියයාමේ සිද්ධිය පහරදීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට විශ්වාස කරන නමුත්, ඒ සම්බන්ධව නිශ්චිතව ප්රකාශ කළ හැක්කේ වෛද්ය වාර්තාවේ කරුණු අනුව බව බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත සඳහන් කරයි.
පොලිස් මාධ්ය කොට්ඨාසයේ (29) දින පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මේ බව සඳහන් කරයි.
තවද එම පුද්ගලයාගේ ඉලඇට තුනක් කැඩී ඇති බවත් මොළයේ රුධිර වහනයක් සිදුව ඇති බවත් ඔහුගේ හිසට තුවාල සිදුව ඇති බවට වෛද්ය වාර්තාවේ සඳහන් වන බවද ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා සඳහන් කළේ,
“මෙම තරුණයා අත්අඩංගුවට පත් වන්නේ (25) වෙනිදා අලුයම් කාලයේ. නමුත් මෙම තරුණයා ඊට කලින් දවසේ (24) වෙනිදා. (24) වෙනිදා රෝහල් ගත වෙලා ඉඳලා තියෙනවා. ඔහු පැවසුවේ අත්අඩංගුවට ගැනීමේදී මම බයිසිකලයෙන් වැටුනා.
ඒ නිසා තමයි හොස්පිටල් ඇඩ්මිට් වුනේ කියලා. ඒ වුණත් මේ තරුණයා පැය කීපයක් රෝහල් ගත ගත කර ඉඳලා ඒ කියන්නේ වෛද්යවරුන්ගේ අවසරයක් නොමැතිව ඔහු රෝහලෙන් පලා ගොස් තිබෙනවා.
නමුත් පසුව අනාවරණය වෙනවා මොහු අත්අඩංගුවට පත් වෙන්න ප්රථම අර බයිසිකලයෙන් වැටුනා කියලා කිව්වට සිද්ධ වෙලා තියෙන්නේ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වෙලා පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පහර දීම අනුව තමයි රෝහල් ගත වෙලා තියෙන්නේ.
එතකොට මේ අනුව එම සිද්ධියත් (24) වෙනිදා ඇති වූ සිද්ධියත් ඒ වගේම පොලීසියේ පොලිස් ස්ථානය තුළ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කරමින් පවතිනවා. පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේදී සිදු කළ යුතු සම්පූර්ණ ක්රියාදාමය, ඔහු ස්ථානය ඉදිරිපත් කිරීම, ප්රශ්න කිරීම, අපේ ලේඛන ලකුණු කිරීම ඒ ආදී දෙයක් නිසි පරිදි සිද්ධ වෙලා නැහැ. ඒක තමයි මේ අපේ නිලධාරීන්ට විරුද්ධව ක්රියා කරන්නේ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් සිද්ධ සිදු වෙමින් පවතිනවා.”
“මේ හෝමගම සිද්ධියේදී වෛද්ය වාර්තාවේ තියෙන්නේ ඔහුගේ ඉලඇට තුනක් කැඩිලා තියෙනවා කියලා. ඊට අමතරව මොළයේ රුධිරය මම හිතන්නේ මේ වාහනය සම්බන්ධයෙන් වෛද්ය වාර්තාවේ සඳහන් වෙලා තියනවා.
නමුත් අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මේ හිසට තුවාල වීමක් තියෙනවා. ඉතින් මෙතන මට තියෙන ගැටලුව දැන් මොකද හේතුව දැන් මේ දවස් දෙකක් ළඟ තමයි ඔක්කොම දේවල් වුණේ. (24) යි (25) යි මේ සිද්ධි දෙක වුණේ. ගමේ එළියේදී පහර දීම සිද්ධ වුණේ (24) වෙනිදා.
පොලීසියේ පහර දීම සිද්ධ වුණා සිද්ධ වුණේ (25) වෙනිදා. ඉතින් මේ මේ පැය ගණනාවක් ඇතුළත මේ සිද්ධි වෙනස තියෙන්නේ. ඉතින් මට කියන්න අපහසුයි මේ පහර දීම කෙසේ කොහොමද වුණේ කියලා. නමුත් ඔහුගේ මරණයට හේතුව පහර දීමක් කියලා විශ්වාස කරනවා.
නමුත් මට ඒක හරියටම කියන්න බැහැනේ වෛද්ය වාර්තාවෙන් ලැබෙන තොරතුරු අනුව. අපි අර සිර මැදිරිය දාන්න ප්රථම ඔහු රදවාගෙන තිබෙනවා යම්කිසි කාලයක් මේ අපරාධ අංශයේ. ඒ තුළදී පහර දීමක් සිදු වූ බවට අපිට තොරතුරු ලැබීමෙන් පවතිනවා. තාම ස්ථිර නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි විමර්ශනය කරන්නේ. විමර්ශනය අනුව අපිට මේක තව ඉදිරියේදී මේ පිළිතුරු ලබා දෙන්න පුළුවන්.”
