මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එම විමර්ශන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්රාත්වරයා මිහින්තලය පොලීසියට නියෝග කළේය.
මිහින්තලේ රඹෑව ප්රදේශයේදී බස් රථ 03ක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු මියගොස් ඇති අතර කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු ද ඒ අතර සිටී.
රියදුරු මැදවච්චිය හීරලුගම, ඇටවීරගොල්ලෑව පදිංචි වයස අවුරුදු 48ක පුද්ගලයෙක් බවත් අනෙක් පිරිමි පුද්ගලයා 56 හැවිරිදි කුරුණෑගල රීදිගම පදිංචිකරුවෙක් වන අතර මියගිය කාන්තාවන් දෙදෙනා පදවිය සහ වේයන්ගොඩ පදිංචි 32 සහ 73 හැවිරිදි වයස්වල පසුවන්නන් වේ.
මෙම බිහිසුණු අනතුරින් 76 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර බරපතල තුවාල ලැබූ 04 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබුවන්ගෙන් 61 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අතර සෙසු රෝගීන් අතුරින් 12 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්රතිකාර ලබන අතර තවත් රෝගීන් තුන්දෙනෙකු මිහින්තලේ රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
ජනකපුර සිට කොළඹ බලා ධාවනය වූ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක්, පදවියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පසුකර යෑමට උත්සහා කිරීමේදී ඉදිරියෙන් පැමිණි අක්කරේපත්තුවේ සිට යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
එම බස් රථ අධික වේගයෙන් ගමන් කිරීම සහ තෙත සහිත මාර්ගයක අනතුරු දායක ලෙස ධාවනය කිරීම මෙම අනතුරට හේතුව බවට පොලීසිය සැක කරයි.
