හිරුණිකාගේ සිරදඬුවම.. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

මෙම අභියාචනය අද (11) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අභියාචනය විභාග කිරීම සඳහා සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

ඒ අනුව, අදාළ අභියාචනය 2027 ජනවාරි (21) වැනිදා එම විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට අධිකරණය තීරණය කර ඇත.

පසුගිය 2015 වසරේ දෙසැම්බර් (21) වැනිදා තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා වලට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණය විසින් ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් සහ දඩයක් නියම කළේය.

අනතුරුව එම දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel