ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කළේය.
ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කළේය.
අදාළ දඬුවමින් තමන්වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ඉදිරිපත් කර තිබුණු අභියාචනයක් ඉවත දමමින් විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
පසුගිය 2016 වසරේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මඟින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදු කිරීම ඇතුළු චෝදනා දෙකකට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය 2024 මාර්තු (28) වැනිදා බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කළ අතර රුපියල් ලක්ෂයක දඩයක් ද පැනවූවේය.
අදාළ දඩුවම් නියෝගයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කර තිබු අතර කරුණු සලකා බලා අවසානයේ අභියාචන පෙත්සම ඉවත දමමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාර රත්නම් සඳහන් කළේ,
“බුද්ධ දර්ශනය ප්‍රධාන කුළුණු හතරක් මත පිහිටා තිබෙනවා. ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන කරුණු හතර. බුද්ධ දර්ශනය අවිහිංසාවාදය මුල් කරගත් දර්ශනයක්. ඒ වගේම අනෙකුත් ආගම් වලට හා ආගමික නායකයින්ට ගරු කිරීමයි බුද්ධ දර්ශනයේ දේශනා වන්නේ.
භික්ෂූන් වහන්සේලාගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ විනය පිටකය හා අටලෝ දහම අනුව නිවැරදි හැසිරීම සහ නිවැරදි දේ දේශනා කිරීමයි.
ඒ අනුව පෙත්සම්කරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් තහවුරු වීම හේතුවෙන් මහාධිකරණයෙන් දඬුවම් නියෝගය ලබාදී තිබෙනවා. මහාධිකරණයේ එම දඬුවම් නියෝගය සම්බන්ධව මැදිහත් වීමට අභියාචනාධිකරණයට අවශ්‍යතාවක් නෑ.
ඒ අනුව අභියාචනය ප්‍රතික්ෂේප කරනවා. දඬුවම ක්‍රියාත්මක කිරීමට විත්තිකාර හිමිනම මහාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.”
