නිවස අනාරක්ෂිතයි.. සමීපතමයන් අතින් සෑම පැයකටම කාන්තාවන් 5ක් මරුට

2025 වසරේදී කාන්තාවන් සහ දැරියන් 47,000ක් සමීප සහකරුවෙකු හෝ පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනයට ලක්ව ඇති බව UNODC සහ UN Women නිකුත් කළ නව වාර්තාව සඳහන් කරයි.

එය සමස්ත ස්ත්‍රී ඝාතන 78,000න් 60%ක් වන අතර පැයකට කාන්තාවන් 5 දෙනෙකු හෝ දිනකට 129 දෙනෙකු ඝාතනය වන අනුපාතයකි.

කාන්තාවන්ට වඩාත්ම අනාරක්ෂිත ස්ථානය තවමත් නිවස බව ‘2026 ස්ත්‍රී ඝාතන පිළිබඳ සංක්ෂිප්ත වාර්තාව’ පෙන්වා දෙයි.

සමීපතමයන් අතින් සිදුවන ඝාතන අනුපාතය අප්‍රිකාවේ ඉහළම මට්ටමක (100,000කට 2.9ක්) පවතින අතර අමෙරිකාව (1.4), ඕෂනියාව (1.1), ආසියාව (0.6) සහ යුරෝපය (0.5) පිළිවෙළින් ඊළඟ ස්ථානවල සිටින බව සඳහන් කරයි.

හානිකර සමාජ ආකල්ප සහ ආයතනික අසාර්ථකත්වයන් නිසා මෙම ඝාතන සාමාන්‍යකරණය වී ඇති බැවින් වැළැක්වීමේ වැඩසටහන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමේ මැදිහත්වීම් ශක්තිමත් කළ යුතු බව UNODC විධායක අධ්‍යක්ෂ මොනිකා ජූමා සඳහන් කළාය.

අනතුරු ඇඟවීමේ සංඥා නොසලකා හැරීම සහ වින්දිතයින්ට ආරක්ෂාව නොලැබීම මාරාන්තික විය හැකි බැවින් කාන්තාවන්ට ආරක්ෂිතව පැමිණිලි කිරීමට සහ වහාම සහය ලබා ගැනීමට හැකි වාතාවරණයක් සකස් කළ යුතු බව UN Women විධායක අධ්‍යක්ෂ සීමා බහූස් සඳහන් කළාය.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට සහ අපරාධකරුවන්ට වගවීමට එක්ව ක්‍රියා කරන ලෙස නොවැම්බර් (25) සිට දෙසැම්බර් (10) දක්වා ක්‍රියාත්මක ’16 Days of Activism’ ව්‍යාපාරය හරහා UN Women සහ UNODC සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

ස්ත්‍රී ඝාතන බොහෝවිට දීර්ඝ කාලීන ප්‍රචණ්ඩත්වයක අවසාන ප්‍රතිඵලය වුවද, බොහෝ කාන්තාවන් බාධක හේතුවෙන් උපකාර පැතීමට මැලි වන අතර අපරාධකරුවන් නීතියෙන් ගැලවී යයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel