Local news

උසස් පෙළ විභාගයට පෙර දැනුම්දීමක්.. හෙට සිට තහනම්

උසස් පෙළ විභාගයට පෙර දැනුම්දීමක්.. හෙට සිට තහනම්

2026 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට (04) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තහනම් නියෝගය විභාග කටයුතු අවසන් වන තෙක් දැඩි ලෙස ක්‍රියාත්මක වන අතර එම කාලසීමාව තුළ විභාගය ඉලක්ක කරගත් අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

විභාග ප්‍රශ්න පත්‍ර සඳහා සෘජුවම ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මෙන්ම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි ද්‍රව්‍ය ළඟ තබාගැනීම සපුරා තහනම් කර ඇත.

මේ අතර 2026 අ.පො.ස උසස් පෙළ විභාගය එළඹෙන (10) වන දින සිට සැප්තැම්බර් මස (05) වන දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532ක් ආවරණය කරමින් පැවැත්වීමට නියමිතව ඇත.

මහර බන්ධනාගාර ගැටුම එළියෙන් මෙහෙයවූ කුමන්ත‍්‍රණයක් වගේ

මහර බන්ධනාගාර ගැටුම එළියෙන් මෙහෙයවූ කුමන්ත‍්‍රණයක් වගේ

මහර බන්ධනාගාරයේ ඇතිවූ තත්ත්වය මීගමුව බන්ධනාගාරයේ සිද්ධියට වඩා වෙනස් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් හුදෙක් පවතින තදබදය නිසාම ඇති වූවක් නොවන බවත් ඒවා පිටුපස කිසියම් බාහිර කණ්ඩායමක සංවිධානාත්මක මෙහෙයවීමක් පවතින්නේද යන්න පිළිබඳව සැකයක් පවතින බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

මීගමුවේ ගැටුම ඇතිවූයේ රැඳවියන් රැඳවියන් අතර බවත් මහර සිදුවූයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර බවත් මීට පෙර හේතුවක් නොමැතිව මෙවැනි තත්ත්වයන් ඉස්මතු නොවූ බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි වීමත් සමඟ බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම සීමා වීම මෙවැනි නොසන්සුන්තා ඇති වීමට එක් හේතුවක් විය හැකි බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා ඇප ලබා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බවත් නීතිය මගින් පමණක් මත්ද්‍රව්‍ය උවදුර පාලනය කළ නොහැකි බවත් සමාජයීය වශයෙන් ද මේ සඳහා විසඳුම් සෙවිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කරයි.

මහර බන්ධනාගාර ගැටුම මෙහෙයවූ සාතන්, අසාර්, පැට්ටා ගැන හෙළිවෙයි

මහර බන්ධනාගාර ගැටුම මෙහෙයවූ සාතන්, අසාර්, පැට්ටා ගැන හෙළිවෙයි

මහර බන්ධනාගාරයේ ඇතිවූ තත්ත්වය හේතුවෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් රැඳවියන් 09 දෙනෙකු තුවාල ලබා ඇත.

යතුරුපැදියක් සොරකම් කිරීම සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 33 හැව්රිදි පුද්ගලයෙක් එලෙස මරණයට පත්ව ඇත.

බන්ධනාගාරයේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය මෙහෙයවා ඇත්තේ සාතන්, අසාර්, පැට්ටා සහ තවත් රැඳවියෙකු එකතු වී බව පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමට සම්බන්ධ බවට සැක කරන රැඳවියන් 104 දෙනෙකු බූස්ස ඇතුළු තවත් බන්ධනාගාර 7ක් වෙත මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය හුවමාරු වීම පාලනයට දැඩි පියවර ගෙන තිබීමෙන් මේ දිනවල බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය හිඟවීම මත මෙම නොසන්සුන්කාරි තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වේ.

රැඳවියන් සිව්දෙනක් වහලයකට නැග, බන්ධනාගාර පාලනාධිකාරියට විරෝධය දැක්වූ අතර එම අවස්ථාවේදී බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැමිණ මේ සම්බන්ධයෙන් රැඳවියන්ගෙන් කරුණු විමසා ඇති බව වාර්තා වේ.

එහිදී රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් දෙසට ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමග බන්ධනාගාර රෝහලේ ඇති ඖෂධ, මුළුතැන්ගෙයහි ඇති තියුණු ආයුධ සහ ගිනිඅවි ගබඩාවේ ඇති අවි ඇතුළු උපකරණ ආරක්ෂිතව එම ස්ථාන වලින් ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කර ඇත.

තවත් රැඳවියන් 1,500ක පමණ පිරිසක් බන්ධනාගාරයේ එක් පසෙක ඉදිකෙරෙමින් පවතින තාප්පය බිඳ පලායාමට උත්සාහ දරා ඇති අතර එම උත්සාහය ව්‍යර්ත කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇත.

එම අවස්ථාවේදී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනිතබා ඇති අතර පසුව රැඳවියන්ගෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ගබඩා කරන ගොඩනැගිල්ල කඩා එහි තිබූ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත.

එම තත්ත්වය අතරතුර තවත් රැඳවියන් පිරිසක්, සෙසු රැඳවියන් රඳවා ඇති වාට්ටු වෙත ගොස් එහි ඉබි යතුරු කඩා ඔවුන්ටත් එම සිර මැදිරිවලින් පිටතට ඒමට අවස්ථාව සලසා දී ඇත.

කෙසේ වෙතත් මෙම නොසන්සුන්තාව හටගෙන පැය 13කට අධික කාලයකින් පසු අද උදෑසන 6.00 පමණ වනවිට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

මහර බන්ධනාගාර රැඳවියන් කරපු විනාශය රුපියල් කෝටි 15යි.?

මහර බන්ධනාගාර රැඳවියන් කරපු විනාශය රුපියල් කෝටි 15යි.?

මහර බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයේ දේපොළ රැසක් විනාශ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 15කට අධික බව වාර්තා වේ.

බන්ධනාගාරයේ වාට්ටු හැර සියලු පරිපාලන ගොඩනැගිලි, කාර්යාල, ජල සැපයුම්, වැසිකිලි සහ වැසිකිලි වලවල් පවා විනාශ කර ඇත.

තවද මුළුතැන්ගෙය, අලුතින් විවෘත කළ පුනුරුත්තාපන ගොඩනැගිල්ල, පුනුරුත්තාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය සහ බන්ධනාගාර රෝහල විනාශ කර ඇත.

බොහෝ ගොඩනැගිලි වල උළු බිඳී, වහලට දැඩි ලෙස හානි සිදුකර ඇති බවත් බන්ධනාගාර පුනරුත්ථාපන වැඩසටහන් වලදී මැහීම් කටයුතු සඳහා භාවිත කරන උපකරණ රැසක් රැඳවියන් විනාශ කර ඇත.

සිද්ධිය ඇතිවූ ඊයේ මධ්‍යම රාත්‍රීය වනතුරුම රැඳවියන් බන්ධනාගාර පරිශ්‍රයේ සිට පිටතට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර එම ගල‍් ප්‍රහාර නිසා බන්ධනාගාරය අවට නිවාස කිහිපයකට හානි සිදුව ඇත.

මෙම බන්ධනාගාර ගැටුමට හේතුව සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න එපා.. අනතුරු අඟවයි

නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න එපා.. අනතුරු අඟවයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.

මෙම අනතුරු ඇඟවීම හෙට (03) දින ප.ව. 8.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ප්‍රදේශවල සුළගේ වේගය හෙට විටින් විට පැ.කි.මි. 60-70 දක්වා වැඩිවිය හැකි බවත් ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ වරින්වර ඉතා රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇත.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නීත්‍යානූකූල විවරණය අධිකරණ අමාත්‍යංශය වෙත ලබාදී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව අධිකරණ අමාත්‍යංශය විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

විශ්‍රාම වයස වසර 02කින් දීර්ඝ කිරීම සදහා වු යෝජනාවක් පසුගියදා අධිකරණ අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය කැබිනට් මණ්ඩලයේදී අනුමත කළේය.

මහර බන්ධනාගාර ගැටුමට සම්බන්ධ රැඳවියෝ 104ක් වෙනත් බන්ධනාගාර 7කට

මහර බන්ධනාගාර ගැටුමට සම්බන්ධ රැඳවියෝ 104ක් වෙනත් බන්ධනාගාර 7කට

මහර බන්ධනාගාරයේ සිදුවීමට සම්බන්ධ බවට සැක කරන රැඳවියන් 104 දෙනෙකු බන්ධනාගාර 7ක් වෙත මාරුකර යවා ඇති බව මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති සඳහන් කරයි.

ඒ අනුව දුම්බර, වැලිකඩ, බූස්ස, කලුතර, බදුල්ල, මඩකලපුව හා පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මෙම රැඳවියන් මාරුකර යැවූ බවද බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති සඳහන් කරයි.

එම රැඳවියන්ගේ නම් ඇතුළත් ලේඛනය සහ රෝහල්ගත කළ රැඳවියන්ගේ නම් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බවද බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති සඳහන් කරයි.

බන්ධනාගාර අලුත්වැඩියා කටයුතු හේතුවෙන් රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙන් පසුව ආරම්භ කෙරෙන බවද බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති සඳහන් කරයි.

ඇඳිරිනීතිය ඉවත් කරයි

ඇඳිරිනීතිය ඉවත් කරයි

රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම ග්‍රාම සේවා වසම් තුනක් සඳහා පොලිස් ඇඳිරිනීතිය පැනවීමට ඊයේ (01) දින රාත්‍රියේ පියවර ගනු ලැබීය.

ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන තිබූණි.

මේ වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර ඇති බැවින් එම ග්‍රාම සේවා වසම් 03 සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ මොහොතේ සිට ඉවත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

බන්ධනාගාර ගැටුම ගැන නාමල් කියන කතාව

බන්ධනාගාර ගැටුම ගැන නාමල් කියන කතාව

මහර බන්ධනාගාර නොසන්සුන්තාව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය “X” ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශයක් කර ඇත.

“තවත් බන්ධනාගාර නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ. මෙවර කොපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි විය හැකිද යන්න ප්‍රශ්නයකි.මෙය සති කිහිපයක් ඇතුළත බන්ධනාගාරයක් තුළ වාර්තා වූ දෙවන ප්‍රධාන නොසන්සුන්තාවයයි.

මේවා තවදුරටත් තනි සිදුවීම් ලෙස බැහැර කළ නොහැක. මෙය අයහපත් කළමනාකරණය, නොසැලකිලිමත්කම සහ දැඩි පීඩනයකට ලක්ව ඇති බන්ධනාගාර පද්ධතියක සෘජු ප්‍රතිඵලයකි. මෙය තවදුරටත් එක් හුදකලා සිදුවීමක් ගැන පමණක් නොවේ.

මෙයින් පිළිඹිඹු වන්නේ දුර්වල කළමනාකරණය, නිසි නායකත්වයක් නොමැතිවීම සහ පිරිහීමට ඉඩ හැර ඇති බන්ධනාගාර පද්ධතියක ඛේදවාචකයයි. 

අප හමුවේ මෙවැනි අර්බුදයක් දිගහැරෙමින් පවතිද්දී පවා, අදටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්නේ ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර නොමැතිවය.

මෙතරම් තීරණාත්මක තනතුරක් සඳහා තවමත් සුදුසු අයෙකු නිසි පරිදි පත් කර නොමැත. අමතර ආරක්ෂක බලඇණි යෙදවීමෙන් එක් දිනකට තත්ත්වය පාලනය කරගත හැකි වුවද, එයින් ගැටලුව නිරාකරණය වන්නේ නැත.

බන්ධනාගාරවල පවතින අධික තදබදය, ප්‍රමාණවත් පහසුකම් නොපැවතීම, අසතුටුදායක සෞඛ්‍ය සේවා සහ අර්ථවත් පුනරුත්ථාපන වැඩපිළිවෙළක් නොමැතිකම පිළිබඳව වහා අවධානය යොමු විය යුතුය.

සිරදඬුවමකින් පුද්ගලයෙකුගේ නිදහස අහිමි වන නමුත්, ඔහුගේ ගරුත්වය අහිමි නොවේ. ආයතනික වශයෙන් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතුය.“

මහර බන්ධනාගාර රැඳවියන් ගොඩනැගිලි, කාර්යාල, වැසිකිලි ඇතුළු සියල්ල විනාශ කරලා

මහර බන්ධනාගාර රැඳවියන් ගොඩනැගිලි, කාර්යාල, වැසිකිලි ඇතුළු සියල්ල විනාශ කරලා

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කළ බවත් මේ වනවිට එහි තත්වය සාමකාමී බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

බන්ධනාගාරය තුළ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය (STF) යොදවා ඇති බවත් සියලුම රැදවියන් වාට්ටු තුළට යවා ඇති අතර උදෑසන ආහාර ලබාදීමට කටයුතු කරමින් ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ වාට්ටු හැර සියලු පරිපාලන ගොඩනැගිලි, කාර්යාල, මුළුතැන්ගෙය, ජල සැපයුම්, වැසිකිලි සහ වැසිකිලි වලවල් පවා විනාශ කර ඇති බව මහර බන්ධනාගාර නිලධාරීන් පවසන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

බන්ධනාගාර රැඳවියන් විසින් මුළුතැන්ගෙය සම්පුර්ණයෙන්ම විනාශ කරලා, අලුතින් විවෘත කළ පුනුරුත්තාපන ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් විනාශ කරලා, පුනුරුත්තාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය සම්පුර්ණයෙන්ම විනාශ කරලා, බන්ධනාගාර රෝහල විනාශ කරලා, ප්‍රධාන ගේට්ටුවට පහරදී කඩාගෙන යාමට උත්සාහ කරලා.

මේ අතර රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක් සඳහා ඊයේ (01) දින රාත්‍රියේ පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකය.