Local news

මෙට්‍රෝ බස් මගීන්ට සහන පැකේජයක්

මෙට්‍රෝ බස් මගීන්ට සහන පැකේජයක්

පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථවල ගමන් ගන්නා මගීන්ට සති අන්තයේ සහන පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙට්‍රෝ (Metro) බස් රථවල සති අන්තයේ ගමන් ගන්නා මගීන්ට රුපියල් 799ක සහන පැකේජයක් හඳුන්වාදීමටත් වයස අවුරුදු 12ට අඩු ළමුන්ගෙන් මුදල් අය නොකිරීමට ද තීරණය කර ඇත.

මෙරට පොදු ප්‍රවාහනයේ නව පරිවර්තනයකට තවත් ශක්තිමත් පියවරක් ලෙස පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථ 104ක් පසුගියදා මෙරටට රැගෙන ආවේය.

රටේ ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් මෙරටට ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට ප්‍රවාහනයට යෙදවීමට නියමිතය.

හේමසිරි සහ පූජිත්ට කොටු රෙදි.. ඇතුලෙන් විතරයි.. පිටින් බෑ

හේමසිරි සහ පූජිත්ට කොටු රෙදි.. ඇතුලෙන් විතරයි.. පිටින් බෑ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනා වලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මරණ දඬුවම නියම කළේය.

ඒ අනුව මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් සඳහා ලබාදෙන විශේෂිත ඇඳුම වන කොටු රෙද්ද සහ කමිසය පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට වෙත ලබාදී ඇත.

තවද පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට බන්ධනාගාරය තුළදී විශේෂ පහසුකම් ලබාදී නොමැති අතර ඔවුන්ගේ පවුලේ අයට සතියකට වරක් බැලීමට අවසර ලබාදී ඇත.

කෙසේ වෙතත් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට පවුලේ අය බැලීමට පැමිණීමේදී පිටින් කෑම ගෙන ඒම තහනම් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය කෑම බන්ධනාගාරයෙන් ලබාදෙයි.

හේමසිරි ප්‍රනාන්දු සිරකරුවන් 40ක් පමණ රැදී සිටින වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවකට යොමුකර ඇති අතර පූජිත් ජයසුන්දරගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් වාට්ටුවකට යොමුකර ඇත.

කාලගුණය කැළඹෙයි.. පාසල් රැසක් වසා දමයි

කාලගුණය කැළඹෙයි.. පාසල් රැසක් වසා දමයි

පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ පාසල් රැසකට නිවාඩු ලබාදී ඇත.

ඒ අනුව නුවරඑළිය සහ හැටන් කලාප කාර්යාල දෙක යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) නිවාඩු ලබාදී ඇත.

පවතින අයහපත් කාලගුණය හමුවේ පාසල් පවත්වාගෙන යැම සම්බන්ධයෙන් බලය විදුහල්පතිවරුන්ට පවරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි සඳහන් කළේය.

හැටන්, නුවරඑළිය, කොත්මලේ, ගම්පොළ, තෙල්දෙනිය, සහ මහනුවර අධ්‍යාපන කලාපවල පාසල් පවත්වාගෙන යාම පිළිබඳ සුදුසු තීරණ ගැනීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

පේරාදෙණිය සරසවිය යටවෙයි

පේරාදෙණිය සරසවිය යටවෙයි

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගං ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.

ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “සරසවි මැදුර” නේවාසිකාගාරයේ පහළ මහලේ රැඳී සිටි සිසුන් වහාම ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, නේවාසිකාගාරවල සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටින අනෙකුත් සිසුන්ට ද දැඩි අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇත.

තීරණාත්මක සාකච්ඡාවට ට්‍රම්ප් සූදානම්

තීරණාත්මක සාකච්ඡාවට ට්‍රම්ප් සූදානම්

අද (03) දින පස්වරුවේ ඉරානය සමඟ සාකච්ඡා ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීම සහ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වේ.

තමන් යුද්ධයකට වඩා ගිවිසුමකට කැමැත්තක් දක්වන බවත් ප්‍රහාර හේතුවෙන් සිදුවන විශාල මිනිස් ජීවිත හානි වැළැක්වීම තම අරමුණ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කය – පන්විල සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කය දෙහිඕවිට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කය – නිවිතිගල සහ කුරුවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර 1 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත යන ප්‍රාදේශීය කොට්ඨාස ,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටින්තොට සහ අරණායක,නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර,රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර 2 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අදාළ නිවේදනය අද (03) උදෑසන 09.00 සිට හෙට (04) උදෑසන 09.00 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

අයහපත් කාලගුණය – පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර

අයහපත් කාලගුණය – පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පාසල් වසා තබන්නේ ද, නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇත.

ඒ අනුව අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පවතින අහයපත් කාලගුණික තත්ත්වය යටතේ එම පාසල් පවත්වන්නේද නැතිද යන්න තීරණය කළ හැකි බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

තෙල් මිලේ වෙනසක්

තෙල් මිලේ වෙනසක්

අද (03) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.46 දක්වා පහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.81 දක්වා පහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල 85.49 දක්වා ඉහළ ගොස් ඇත.

බස් දෙකක් ගැටෙයි.. 20ක් රෝහලේ

බස් දෙකක් ගැටෙයි.. 20ක් රෝහලේ

අද උදෑසන කෑගල්ල කරඩුපන හංදිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරෙන් පුද්ගලයන් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

රඹුක්කන සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ දිගන සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

ජනතාවට සහනදායී මිලට භාණ්ඩ.. ඓතිහාසික ගිවිසුමක්

ජනතාවට සහනදායී මිලට භාණ්ඩ.. ඓතිහාසික ගිවිසුමක්

ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය (COOPFED), දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කරමින් පාරිභෝගිකයාට සහනදායී මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ අරමුණින් ලංකා සීනි සමාගම සහ BCC ලංකා සමාගම සමඟ විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇත.

මෙය සමුපකාර ඉතිහාසයේ ඓතිහාසික පියවරක් ලෙස සනිටුහන් වන අතර ඒ හරහා පාරිභෝගිකයාට ගුණාත්මක දේශීය නිෂ්පාදන සෘජුවම ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි.

මෙම නව වැඩපිළිවෙළ යටතේ ලංකා සීනි සමාගමෙන් මසකට දුඹුරු සීනි ටොන් 1000ක්, BCC ලංකා සමාගමෙන් ඇසුරම් කරන ලද පොල්තෙල් ලීටර් 20000ක් මෙන්ම සබන් ඇතුළු අනෙකුත් නිෂ්පාදන සමුපකාර ජාලය වෙත ලබා ගැනීමට නියමිතය.

මෙම නිෂ්පාදන පාරිභෝගික සමුපකාර 75ක නියෝජිතයින් හරහා තවත් ප්‍රාදේශික වෙළදසැල් 3500ක් දක්වා විහිදී යන පුළුල් බෙදාහැරීමේ ජාලයක් ඔස්සේ ජනතාව වෙත ළඟා කිරීමට නියමිතය.