Local news

රතු එළියක් නිකුත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු පරණ සටනට සැරසෙයි

රතු එළියක් නිකුත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු පරණ සටනට සැරසෙයි

ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලු වලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බවද එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

බරපතළ සංඥා දෝෂ රැසක් පවතින පසුබිමක, බලධාරීන් විසින් තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිත ලෙස ආරම්භ කර ඇති බවද සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

පසුගිය සතියේ සිට මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කර තිබුණ ද, මේ දක්වා අදාළ මාර්ග පද්ධතියේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොමැති බවද සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ,

“කෝටි ගණන් වියදම් කරලා ඇති කරපු දුම්රිය මාර්ගය මේ වන විට අභාවයට යන තැනකට ගෙනැල්ලා තියෙනවා. සංඥා පද්ධති සහ දුම්රිය ස්ථානවල සංඥා පැනල් ක්‍රියාවිරහිත තත්ත්වයෙන් තියෙන්නේ. සංඥා ක්‍රමවේදවල සහ දුම්රිය ස්ථානවල රාජකාරි පිළිබඳව ප්‍රශ්නගත කාරණා තියෙනවා. ඒවට නිශ්චිත විසඳුම් නැත්නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා කියන එක ලිඛිතව දැනුම් දීලා තියෙනවා.”

රුමේෂ් ලංකාව රනින් සරසයි

රුමේෂ් ලංකාව රනින් සරසයි

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් විය.

ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී මීටර් 89.75ක දුරක් විසි කරමින් මෙම සුවිශේෂී රන් පදක්කම මව්බිමට දිනා දුන්නේය.

මෙය පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ 06 වැනි රන් පදක්කම වන අතර 2006 වසරේදී බර ඉසීලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසුව දිනූ එකම රන් පදක්කම වේ.

අවසන් මොහොත තෙක් ඉරානයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා

අවසන් මොහොත තෙක් ඉරානයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා

සාකච්ඡා සඳහා ඉරාන රජයට බලපෑම් කිරීම සඳහා නැවතත් ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට තමා බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි.

“අපි ඔවුන්ට ඉතා දැඩි ලෙස පහර දෙනවා.. යම් අවස්ථාවකදී ඔවුන් කියාවි අපට මෙය තවදුරටත් දරාගත නොහැකි බව.”

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් දියත් කිරීමට සිය හමුදාව වෙත උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව විසින් ඉරානයේ විදුලි බලාගාර සහ තෙල් පිරිපහදු වැනි බලශක්ති පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව වාර්තා වේ.

ඉදිරි පැය කිහිපයේ දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය කිහිපයේ දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැකි බවත් ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන් කරයි.

මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව පළාත්වලත් මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හේමසිරිගේ අවසන් වචනය “මෛත්‍රීපාල සහ නිලන්ත මේ තීන්දුවෙන් සතුටු වෙයි”

හේමසිරිගේ අවසන් වචනය “මෛත්‍රීපාල සහ නිලන්ත මේ තීන්දුවෙන් සතුටු වෙයි”

පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය සම්බන්ධ මෙම නඩු තීන්දුවෙන් සතුටු වන දෙදෙනෙක් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

එම දෙදෙනා වන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

අදාළ චෝදනා වලට ඔහු වෙත මරණ දඬුවම නියම කිරීමට ආසන්න මොහොතේදී සඳහන් කළේ,

“ස්වාමිනි, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵලය තමයි ඔබේ මේ තීන්දුව. මේ තීන්දුවෙන් සතුටු වෙන දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි නීතිපති දෙපාර්තමේන්තුව මුල ඉඳලම ආරක්ෂා කරපු නිලන්ත ජයවර්ධනයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.”

මෙම නඩුව අද (31) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග විය.

මරණ දඬුවම හිමිවු පූජිත් සහ හේමසිරිට ජම්පරය අන්දවයි

මරණ දඬුවම හිමිවු පූජිත් සහ හේමසිරිට ජම්පරය අන්දවයි

මරණ දඬුවම නියම වු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අධිකරණයේ සිට බන්ධනාගාරය දක්වා රැගෙන ගියේය.

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාරය වෙත රැගෙන යාමෙන් අනතුරුව සිරකරුවන් සඳහා ලබාදෙන විශේෂිත ඇඳුම ඔවුන් වෙත ලබාදී ඇත.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනා වලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු අද (31) දින මරණ දඬුවම නියම කළේය.

හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම

හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට මරණ දණ්ඩනය නියම කිරීමට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) නියෝග කර ඇත.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනා වලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කර ඇත.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග විය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර වරදකරු කරන බවයි.

අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් මෙන්න

අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් මෙන්න

මාසික සිදුකරන ඉන්ධන මිල සංශෝධනය ගැන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කරයි.

ඒ අනුව අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414ක් ලෙස පැවති මිල ගණන් යටතේම පවතියි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 495ක් ලෙස එලෙසින්ම පවතියි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382ක් ලෙස එලෙසින්ම පවතියි.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 478ක් ලෙස එලෙසින්ම පවතියි.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285ක් ලෙස එලෙසින්ම පවතියි.

ලොව විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය ජනතාවට නොමිලේ

ලොව විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය ජනතාවට නොමිලේ

ලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය ලොව පුරා මහජනතාවට විවෘත කිරීමට චීනයේ Moonshot AI සමාගම පියවර ගෙන ඇත. ‍

චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර මහා පරිමාණ ආකෘතියක් (Open-source large model) වන Kimi K3 පසුගිය (27) වැනිදා සිට පූර්ණ වශයෙන් ලොව පුරා මහජනතාවට විවෘත කිරීමට එම සමාගම පියවර ගෙන ඇත. ‍

එහි සමස්ත පරාමිතීන් ප්‍රමාණය ට්‍රිලියන 2.8ක් වන අතර මෙම ආකෘතියට සම්පූර්ණ ආකෘති බර, තාක්ෂණික වාර්තා මෙන්ම ආකෘති පුහුණුව සඳහා සහාය වන මූලික තාක්ෂණ පහසුකම් තුනක් ඇතුළත් වීම විශේෂත්වයකි. 

චීන මහා පරිමාණ AI ආකෘතියක් ලොවට විවෘත කළ පළමු අවස්ථාව මෙය නොවුන ද, ට්‍රිලියන 2.8ක පරාමිතීන් සහිත විශාල ආකෘතියක් ගෝලීයව පූර්ණ වශයෙන් විවෘත කළ පළමු අවස්ථාව මෙය වේ.

මෙම Kimi K3 ආකෘතිය, චීන Moonshot AI සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන අතර ලොව පුරා කෘත්‍රිම බුද්ධි සංවර්ධකයින්ට එය නොමිලේ බාගත කර දේශීයව භාවිත කළ හැකිය.

නව මෙට්‍රෝ බස් රථ මගී ප්‍රවාහනයට සූදානම්

නව මෙට්‍රෝ බස් රථ මගී ප්‍රවාහනයට සූදානම්

මෙරට පොදු ප්‍රවාහනයේ නව පරිවර්තනයකට තවත් ශක්තිමත් පියවරක් ලෙස ආනයනය කළ පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථ 104ක් මේ වනවිට ශ්‍රී ලංකාවට සාර්ථකව ළඟා වී ඇත.

රටේ ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් මෙරටට ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104 ධාවනයට සුදානම් කර ඇත.

ඒ අනුව නව මෙට්‍රෝ බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට මගී ප්‍රවාහනයට යොදවන බවත් එම බස් නඩත්තුව සහ කළමනාකරණය සඳහා ඩිපෝ හතරක් පිහිටුවන බව මෙට්‍රෝ බස් සමාගමේ සභාපති, යූ.පී තිලකරන්න සඳහන් කරයි.