මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට වාර්තා වේ.
මතුව ඇති තත්ත්වය සොයා බැලීම සඳහා මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය සඳහන් කරයි.
රට පුරාම සුවසැරිය ගිලන්රථ සේවය ආරම්භ කරපු දිනයේ සිට බලයට පැමිණි සෑම රජයක්ම එය ඉදිරියට ගෙන යෑම ඉතාම හොඳ සංස්කෘතියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති සුවසැරිය දසවන සංවත්සරයට එක්වෙමින් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ,
“ගොඩක් දේවල් අපි බෙර ගහල පටන් ගත්තත් ටික දවසකින් ඒවා නැතිවෙලා යනවා. කව්රු පටන්ගත්තත් ඒවා නවත්වන්නවත්, ඒවා වෙනස් කරන්නවත් හොඳ නැහැ. සුවසැරිය තමයි ඊට හොඳම උදාහරණය.
මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ යටතේ පටන්ගෙන ගෝඨාභය ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, දැන් අනුර කුමාර ජනාධිපතිතුමා යටතේ දිගින් දිගටම දියුණු වුණා. මේක ඉතා හොඳ දේශපාලන සංස්කෘතියක්.
අද මේ උත්සවයට මට ආරාධනා කරපු එක ගැනත් මම ගොඩක් සතුටු වෙනවා. මේක පටන් ගනිද්දි අපිට ගොඩක් අපහාස කළා. විශාල කැපකිරීමක් තමයි අපි අද මේ තත්ත්වයට සුවසැරිය ගෙනාවේ.”
නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස අග බාරදීමට නියමිත බව වාර්තා වේ.
එම කමිටුවේ විමර්ශන කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් කර ඇතැයි වාර්තා වන අතර අවසන් වාර්තාවේ කෙටුම්පත් සාමාජික මන්ත්‍රීවරුන්ට මුලින්ම බාරදීමට නියමිතය.
අනතුරුව මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ ලැබීමෙන් පසු ඒවාද ඇතුළත් කර අවසන් වාර්තාව සකස් කිරීමට නියමිතව ඇත.
මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය සම්බන්ධව මෙම නඩු තීන්දුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සතුටු වන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.
මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර විත්තිකරුට යමක් කීමට තිබේදැයි බහුතර විනිසුරුවරු විමසා සිටි අතර එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේ,
“සභාපති විනිසුරුතුමා ඉදිරිපත් කළ කරුණු කෙරෙහි මම එකඟ වෙන්නේ නෑ. ස්වාමීනී.. ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නෑ. මම කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ අනිත් අමාත්‍යාංශවල ලේකම්ලා වගේමයි.
විශේෂ බලතල නෑ. අමාත්‍යවරයාගේ අනුදැනුම මතයි මම කටයුතු කරන්නේ. එවක ආරක්ෂක අමාත්‍යවරයා වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදේශගතව සිටියා. එහි වැඩ බැලීමට ඇමතිවරයකු ඔහු පත් කළේ නෑ. ඇමතිවරයා නැති විටෙක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ කටයුතු අක්‍රිය වෙනවා.
රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන එවක ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කළා. මා ආරක්ෂක ලේකම් ලෙස පත්වුණාට පස්සේ මම ජනාධිපතිගෙන් ඇහුවා බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා.
එහිදී ජනාධිපතිවරයා පැවසුවා බුද්ධි තොරතුරු මට නිලන්ත ජයවර්ධන දැනුම් දෙනවා. ඔයා පරිපාලන වැඩ ටික කරගෙන ඉන්න කියලා. මම කළේ අමාත්‍යාංශයේ පරිපාලන රාජකාරි පමණයි. ඒ අනුව අවුරුදු හතරක කාල සීමාව තුළ බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දීම සිදු කළේ නිලන්ත ජයවර්ධන.
ප්‍රහාරයට පෙර දා නිලන්ත ජයවර්ධන ගෙන් මට කිසිදු ලේඛනයක් ලැබුණේ තිබුණේ නෑ. whatsapp පණිවිඩ දෙකක් පමණයි ලැබුනේ. අප්‍රෙල් මස (09) වනදා බුද්ධි සමාලෝචන රැස්වීම තිබුණා. එහිදී නිලන්ත ජයවර්ධන මේ ප්‍රහාරය ගැන කිසිම තොරතුරක් රැස්වීමට ඉදිරිපත් කළේ නෑ.
ඉදිරිපත් කළා නම් එතන යුද හමුදාව, නාවික හමුදාව වගේ ආයතනවල බුද්ධි ප්‍රධානීනුත් හිටියා. අප්‍රෙල් මස (16) වනදා කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ පිපිරීමක් ගැන නිලන්ත මට ඡායාරූප එවලා තිබුණා. අපේ ටීම් එකක් නැගෙනහිරට ගිහිල්ලා පරීක්ෂණ කරනවා කියලත් ඔහු දැනුම් දුන්නා.
මෙම තොරතුරු ලැබී තිබු අප්‍රෙල් මස (01) වනදා හා (16) වනදා අතර කාලසීමාව තුළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ හිටියා. නමුත් නිලන්ත ජයවර්ධන එම තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දීමට හැකියාව තිබුණා. ඔහු ඒක හිතාමතාම සැඟෙව්වා. ඔහු මේ තොරතුරු හත් වතාවක් සැඟවීමට කටයුතු කළා.
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා මේ ආකාරයෙන් කටයුතු කරනවා නම් මට එහි වගකීම දාන්නේ කොහොමද.? ප්‍රහාරයට පෙර දින සවස නිලන්ත ජයවර්ධන මට කතා කරලා එල්ල වීමට නියමිතව තිබූ ප්‍රහාර පිළිබඳ තොරතුරු දැනුම් දුන්නා. මං ඇහුවා විශ්වාසද කියලා. ඔහු පැවසුවා මේ ගැන අපි හොයාගෙන යනවා වාර්තා කරන්නම් කියලා.
නිලන්ත ජයවර්ධන යටතේ රට පුරා බුද්ධි නිලධාරීන් 1500ක් පමණ සිටිනවා. ඔවුන් ලවා මේක ගැන පරීක්ෂා කරලා තහවුරු කරගන්න තිබුණා. නමුත් ඔහු එසේ කළේ නැහැ. ස්වාමීනි.. මට හමුදාව කැඳවන්න බලය නෑ. ඇඳිරි නීතිය දාන්නවත් බලයක් තිබුණේ නෑ. සභාපති විනිසුරුතුමා මගේ තනතුරේ හිටියනම් ඔබතුමත් මේ ටිකම තමයි කරන්නේ.“
“ස්වාමීනී.. මේ ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපතිවරයා විනිසුරු විජිත් මළල්ගොඩ කමිටුව පත් කළා. මේ කමිටුව නිලධාරීන් 14ක් ගැන චෝදනා කරලා තිබුණා. ජනාධිපතිවරයා නීතිපතිවරයාට කියලා තිබුණා අනිත් අයව අතෑරලා මටයි පොලිස්පතිටයි පමණක් පියවර ගන්න කියලා.
ප්‍රහාරයෙන් පසුව අප්‍රෙල් මස (22) ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසුවා මේ ප්‍රහාරයට මමයි පොලිස්පතියි වගකිවයුතු බවට. උපරිම දඬුවම් දෙනවා කියලත් ජනාධිපතිවරයා කිව්වා. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි මේ නඩු තීන්දුව.
මේ නඩු තීන්දුව ගැන සතුටු වෙන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිලන්ත ජයවර්ධන. අනිත් කෙනා තමයි මෛත්‍රිපාල සිරිසේන. නීතිපති දෙපාර්තමේන්තුව මුල සිට නිලන්ත ජයවර්ධන ආරක්ෂා කළා. මේ ගැන සතුටු වෙන්න පුළුවන් ඕලෙවල් පාස් නැති මිනිහෙකුට විතරයි ස්වාමීනී.
මම මෑතකදී සැත්කමක් කළා. එහි තුවාල හොඳ වෙලා නෑ. ස්වාමීනී.. මම වයස අවුරුදු 76 ක තැනැත්තෙක්. මාව බන්ධනාගාරගත කළත් ලැබෙන්න ඕන ප්‍රතිකාර ඒ ආකාරයෙන්ම ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. මොකද.? එල්ලන්නත් මං ජීවත් වෙලා ඉන්න එපායැ. ඉතිහාසය කවදා හරි මාව නිදහස් කරයි.”
ඉදිරියේදී තවත් මෙට්‍රෝ බස් තොගයක් ලංකාවට ගෙන්වන බවත් ලංකා ගමනාගමන මණ්ඩලයට සුඛෝභෝගී බස් රථ 600ක් ගෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ සඳහන් කරයි.
වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ සඳහන් කළේ,
“ටයිම් ටේබල් එක හදනවා. ඒක හදලා ඒ ටයිම් එක අනුව තමයි ඒගොල්ලෝ දුවන්න ඕන. එතකොට එක තැනකින් ඔක්කොම මොනිටර් වෙනවා බස් එක කොහෙද තියෙන්නේ කියලා. බස් එක අතරමැද කොටන්න බෑ. ඒ වගේම වේගයෙන් යන්න බෑ.
හැම බස් රථයකටම ගෙවන්නේ දුවන කිලෝමීටරයකට අනුව. හයියෙන් දුවලා සෙනග ලෝඩ් කරගත්තා කියලා සල්ලි හම්බෙන්නේ නෑ. එනිසා ටිකට් කාඩ් ක්‍රමයට තමයි ගෙවන්නේ. සල්ලි වලින් ගෙවන්න බැරි වෙනවා.
එතකොට කොන්දොස්තරට සල්ලි මාටියා ගහන්න බැරිව යනවා. කාඩ් ක්‍රමයට සල්ලි ගෙවනවා. ඊට පස්සේ දුවන කිලෝමීටර ගාණට තමයි බස් රථයේ හිමිකරුට තමන්ගේ දෛනික මුදල ලැබෙන්නේ. එහෙම ක්‍රමයක් ඉස්සරහට එන්නේ.
ප්‍රවාහනය තමයි ආර්ථිකයේ තියෙන කොදු නාරටිය. ඒක අපි හරියටම හඳනවා. මෙට්‍රෝ බස් තව ගේනවා. සීටීබී එකට තව සුඛෝභෝගී බස් 600ක් ගේනවා. ඉතින් බස් ගැමුණුලා පොඩ්ඩක් අඬයි. බස් ගැමුණුලා ස්ට්‍රයික් කරන්න හදයි. නහයෙන් අඬයි. අපි ඒවට සැලෙන්නේ නෑ.”
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම, රජය සිදුකරන බරපතළ වරදක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර සඳහන් කරයි.
එනිසා ඒ පිළිබඳ තම නිගමනය රජයට නියම කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට (31) දින පැමිණිල්ලක් භාරදී ඇත.
අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය 104 වන වගන්තිය යටතේ රජය සමග ගනුදෙනු ඇති පුද්ගලයන් විසින් රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දීමක් බව මන්ත්‍රී දයාසිරි ජයසේකර එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.
යෝෂිත රාජපක්ෂව නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවා ගනිමින් බ්‍රිතාන්‍ය රාජකීය හමුදා පුහුණුව ලබාදී රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අධි චෝදනා අටක් යටතේ මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නම් කර ඇති අතර යෝෂිත රාජපක්ෂ දෙවැනි විත්තිකරු ලෙස නම් කර ඇත.
ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලු වලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බවද එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.
බරපතළ සංඥා දෝෂ රැසක් පවතින පසුබිමක, බලධාරීන් විසින් තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිත ලෙස ආරම්භ කර ඇති බවද සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.
පසුගිය සතියේ සිට මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කර තිබුණ ද, මේ දක්වා අදාළ මාර්ග පද්ධතියේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොමැති බවද සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.
සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ,
“කෝටි ගණන් වියදම් කරලා ඇති කරපු දුම්රිය මාර්ගය මේ වන විට අභාවයට යන තැනකට ගෙනැල්ලා තියෙනවා. සංඥා පද්ධති සහ දුම්රිය ස්ථානවල සංඥා පැනල් ක්‍රියාවිරහිත තත්ත්වයෙන් තියෙන්නේ. සංඥා ක්‍රමවේදවල සහ දුම්රිය ස්ථානවල රාජකාරි පිළිබඳව ප්‍රශ්නගත කාරණා තියෙනවා. ඒවට නිශ්චිත විසඳුම් නැත්නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා කියන එක ලිඛිතව දැනුම් දීලා තියෙනවා.”
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී මීටර් 89.75ක දුරක් විසි කරමින් මෙම සුවිශේෂී රන් පදක්කම මව්බිමට දිනා දුන්නේය.
මෙය පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ 06 වැනි රන් පදක්කම වන අතර 2006 වසරේදී බර ඉසීලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසුව දිනූ එකම රන් පදක්කම වේ.
සාකච්ඡා සඳහා ඉරාන රජයට බලපෑම් කිරීම සඳහා නැවතත් ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට තමා බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි.
“අපි ඔවුන්ට ඉතා දැඩි ලෙස පහර දෙනවා.. යම් අවස්ථාවකදී ඔවුන් කියාවි අපට මෙය තවදුරටත් දරාගත නොහැකි බව.”
ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් දියත් කිරීමට සිය හමුදාව වෙත උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව විසින් ඉරානයේ විදුලි බලාගාර සහ තෙල් පිරිපහදු වැනි බලශක්ති පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව වාර්තා වේ.