Local news

රාජ්‍ය වෙසක් උත්සවය මාතරට

රාජ්‍ය වෙසක් උත්සවය මාතරට

2026 රාජ්‍ය වෙසක් උත්සවය මාතර, තිහගොඩ පිහිටි ඓතිහාසික මිදෙල්ලවල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

වෙසක් උත්සවයට සමගාමීව මැයි මස (27) වනදා සිට ජූනි මස (02) වනදා දක්වා කාලය “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (31) සඳහන් කරයි.

පොලිස් ලොක්කෝ රැසක් මාරු කරයි

පොලිස් ලොක්කෝ රැසක් මාරු කරයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ඒ අනුව පොලිස් අධිකාරිවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධකරුවන්ටම වෙන් වූ ඉතාම ප්‍රබල නීතියක්

සංවිධානාත්මක අපරාධකරුවන්ටම වෙන් වූ ඉතාම ප්‍රබල නීතියක්

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධව පමණක්ම ක්‍රියාත්මක වන පරිදි සැකසූ ඉතාම ප්‍රබල නීති සහිත නව පනතක් ගෙන එනු ලබන බව මධ්‍යම අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සඳහන් කරයි.

තව සති දෙකක් ඇතුලත ගෙන එන නව පනතින් ක්‍රියාත්මක වන නීති හරහා වැරදිකරුවන් බවට සනාථ වී බන්ධනාගාර ගතකර සිටින අපරාධකරුවන් නැවත පොලිස් භාරයට ගෙන විමර්ශන සිදුකිරීමට හැකියාවක් ලැබෙන බවද නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සඳහන් කළේ,

“නීතියේ හිඩැස් නං මේක වසන් කරලා හංගලා බැහැ. අදටත් මේ සම්බන්ධව මේ පුද්ගලයින්ට අපි රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදී සම්බන්ධව තිබෙන පනතින්. මේ සම්බන්ධයෙන් තව සති දෙකක් තුළ ඉතාම ප්‍රබල නීතියක් එනවා.

සංවිධානාත්මක අපරාධකාරයින්ටම වෙන් වුණ නීතියක්. ඉතාම ප්‍රබල නීතියක්. අපි අපරාධකාරයෝ වැරදිකාරයෝ කරලා, ඇතුලේ ඉන්නවා වැරදිකාරයේ කරලා ප්‍රබල නම් තියෙන අය. මිනිස්සු බොරුවට බය වෙන නම් තියෙන මිනිස්සු ඉන්නවා.

නමුත් ඒ මිනිස්සු නැවත කරන අපරාධවලට, බන්ධනාගාරයෙන් එළියට අරගෙන පොලිස් බාරයේ තබාගෙන විමර්ශනය කිරීමේ හැකියාව ඒ පනතින් එනවා. කාටවත් අතුලට වෙලා එහෙම කරන්න බෑ. තව තව දේවල් තියෙනවා.”

වැඩසටහනකට එක්වෙමින් මධ්‍යම අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මේ බව සඳහන් කරයි.

ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන විනාශ කරනවා – ට්‍රම්ප්

ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන විනාශ කරනවා – ට්‍රම්ප්

ඉතාම කෙටි කාලයක් තුළ ඉරානය සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්තාන විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

අමෙරිකාව හිතාමතාම කිසිදු ජල පිරිපහදු මධ්‍යස්ථානයක් මෙතෙක් ඉලක්ක කර නොමැති නමුත් අමෙරිකානු භටයින් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් අදාළ ප්‍රහාර එල්ල කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මුහුදු ජලයේ ලවණ ඉවත් කොට එය පරිභෝජනය කළ හැකි තත්ත්වයට පත් කිරීම ජල පිරිපහදු මධ්‍යස්ථාන හරහා සිදුකරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් – කොත්තු මිල ඉහළ⁣ට

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් – කොත්තු මිල ඉහළ⁣ට

අද (31) දින මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ගණන් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

තවද කෙටි කෑම මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති බවත් ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති බවද සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

අප්‍රේල් මස (01) වෙනිදා සිට විදුලි බිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවද සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් මරණ දණ්ඩනය

පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් මරණ දණ්ඩනය

ඊශ්‍රායලය වෙත මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පලස්තීනුවන්ට යුද අධිකරණ හමුවේ මරණ දණ්ඩනය දීමේ නීතියක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව සම්මත කර ඇත.

මෙම මරණ දණ්ඩනය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් අන්ත දක්ෂිණාංශිකයින් වෙත ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දින 30ක් ඇතුළත ක්‍රියාත්මක වන මෙම නීතිය, අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු මන්ත්‍රීවරුන් 120 දෙනෙකු විසින් අනුමත කරන ලද අතර ඊට විරුද්ධව ඡන්ද 48ක් සහ එක් අයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

කෙසේ වෙතත් පලස්තීන ජාතිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන ඊශ්‍රායල ජාතිකයින්ට මෙම මරණ දණ්ඩනය පැනවෙන්නේ නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාර

කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාර

කුවේට් බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව කුවේටය සඳහන් කරයි.

මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල වන විට ඩුබායි වරායක නවතා තිබූ මෙම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24දෙනාම ආරක්ෂිතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාළ නෞකාව තෙල් වලින් සම්පූර්ණයෙන්ම පිරී තිබූ අතර ඒ හේතුවෙන් නෞකාව තුළ ගින්නක් හටගෙන ඇත.

තෙල් මිල 59%කින් ඉහළට

තෙල් මිල 59%කින් ඉහළට

අමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වී ඉරානය වෙත පහරදීමෙන් පසුව මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වී මාසයක කාලයක් තුළ ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල 59%කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෛනික ගෝලීය තෙල් සැපයුමෙන් 20%ක් පමණ සිදුවූ හෝමූස් සමුද්‍ර සන්ධිය මැදපෙරදිග යුද ගැටුම් නිසා අවහිර වීම හේතුවෙන් සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග තෙල් නිෂ්පාදකයින් රතු මුහුද හරහා තෙල් ප්‍රවාහනය කිරීමට කටයුතු කළේය.

හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට පහරදීමත් සමග රතු මුහුද හරහා සිදුකෙරෙන තෙල් ප්‍රවාහනයට අවහිරතා මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් ඛනිජ තෙල් ප්‍රවාහනය කරන ලෝකයේ ප්‍රමුඛතම මුහුදු මාර්ග දෙකකට දැඩි බාධා එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ලෝක වෙළෙදපොළේ තෙල් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බව පුරෝකතනය කර ඇත.

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පසුගියදා සඳහන් කළේය.

පසුගිය (16) වැනිදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒකවෙමින් නීතිඥ උදය ගම්මන්පිල මේ බව සඳහන් කළේය.

නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කළේ,

“ආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා කවුද කියන එක මාර්තු මාසෙ (31) වැනිදා හෙළිදරව් කරන්න අපි සූදානම්.

වසර එකහමාරක් පුරා වෙහෙසකර පර්යේෂණයක් කරලා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු සොයා යෑම’ නමින් පර්යේෂණ ග්‍රන්ථයක් අපි සකස් කරා.

ඒ පර්යේෂණ ග්‍රන්ථය මාර්තු (31) වෙනිදා හවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ එළි දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා.”

යුද ගැටුම් අස්සේ රටවල් 23කින් විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් මතුවෙයි

යුද ගැටුම් අස්සේ රටවල් 23කින් විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් මතුවෙයි

අලුතින් හඳුනාගත් සහ බෙහෙවින් විකෘති වූ නව COVID-19 උප ප්‍රභේදයක් වන BA.3.2 හෙවත් ‘සිකාඩා’ (Cicada) ප්‍රභේදය අමෙරිකාව ඇතුළු රටවල් 23කින් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත්තේ එහි අසාමාන්‍ය විකෘති පැතිකඩ සහ ප්‍රතිශක්තිය අර්ධ වශයෙන් මග හැරීමේ හැකියාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බවයි.

මෑත කාලීන යාවත්කාලීන කිරීම් වලට අනුව, BA.3.2 අවම වශයෙන් රටවල් 23ක සහ එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක සාමාන්‍ය නිරීක්ෂණ හරහා හඳුනාගෙන ඇති බව සඳහන් කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූවන් දැනට අමෙරිකාවේ සාපේක්ෂව අඩු පිරිසක් වාර්තා වී ඇති අතර එය යුරෝපයේ ඇතැම් රට වලින්ද වාර්තා වී ඇති බව සඳහන් කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය පසුගිය 2022 වසරේදී පැතිර ගිය ඔමික්‍රෝන් (Omicron) BA.3 අනු-ප්‍රභේදයෙන් විකෘති වී පැමිණි අලුත්ම ප්‍රභේදයකි.