Local news

අපිට සජිත් ළඟට යන්න කීවේ ආණ්ඩුව.. නැත්නම් අපි යන්නෑ

අපිට සජිත් ළඟට යන්න කීවේ ආණ්ඩුව.. නැත්නම් අපි යන්නෑ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා සෑහෙන කාලෙකින් විපක්ෂයේ සියලු දේශපාලන කණ්ඩායම් වල නායකයින්ට විපක්ෂ නායක කාර්යාලය වෙත යාමට සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි.

ආණ්ඩුව දැන් මේ රටේ අධිකරණය සිරගත කර තිබෙන බවත් එයින් අධිකරණ පද්ධතිය නිදහස් කර ගැනීමට සියලු මත දරන විපක්ෂයේ දේශපාලන බලවේග වලට අවශ්‍ය බවද විමල් වීරවංශ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ සඳහන් කළේ,

“මේ සෑහෙන කාලෙකින් විපක්ෂ නායක කාර්යාලයට අපිට යන්න කියලා තියෙනනේ ආණ්ඩුව. නැත්නම් විපක්ෂ නායක සමග ප්‍රධාන වශයෙන් එකතු වෙලා සාකච්ඡාවක් පවත්වන්න ඕන කමක් මතුවෙලා තිබ්බේ නෑ. ආණ්ඩුව දැන් මේ රටේ අධිකරණය සිරගත කරලා තියෙන්නේ.

තමන් බාරයට අරගෙන තියෙන්නේ. ඒ තමන් බාරයට අරගෙන තමන්ට ඕන විදිහට නටවන අධිකරණ පද්ධතිය නිදහස් කර ගැනීම අද සියලු මත දරන දේශපාලන බලවේග වල පොදු ඕනෑකමක්. එනිසා තමයි විපක්ෂ නායකතුමාගේ ආරාධනාව පරිදි අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ.“

විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව විමල් වීරවංශ මේ බව සඳහන් කරයි.

දෙවන පාසල් වාරය අදින් අවසන්

දෙවන පාසල් වාරය අදින් අවසන්

මෙම වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අද (24) දිනයේ අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම වසරේ තෙවන පාසල් වාරයේ පළමු වන අදියර එළැඹෙන (27) වනදා ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූලි (31) වැනිදා අවසන් වන බවත් තෙවන පාසල් වාරයේ පළමු වන අදියර අගෝස්තු (03) වනදා ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මීගමුව බන්ධනාගාර ගැටුම – 17කට වෙඩි තබා ඝාතනය කරයි

මීගමුව බන්ධනාගාර ගැටුම – 17කට වෙඩි තබා ඝාතනය කරයි

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී අපරාධයක් සිදුවී ඇති බවත් මියගිය සිරකරුවන් කවුරුන් ද යන්න අධිකරණය වර්ගීකරණය නොකරන්නේ සියලු දෙනාගේ ජීවිත අධිකරණයට එක හා සමානව වටින නිසා බව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා සඳහන් කළාය.

මියගිය පුද්ගලයින් 28 දෙනෙකුගෙන් 17 දෙනෙකුගේ මරණ වලට හේතුව වෙඩි වැදීම බවත් අනෙකුත් 11 දෙනාගේ මරණ වලට හේතුව මොට ආයුධ වලින් පහරදීම බව එම මරණකරුවන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණ වලදී තහවුරු කර ඇති බවද ​ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය පිළිබඳව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සහකාර පොලිස් අධිකාරීවරුන් හතර දෙනෙකු යටතේ වෙන් වෙන් වශයෙන් විමර්ශන කිහිපයක් පුළුල් ලෙස තවදුරටත් සිදු කරමින් පවතින බවයි.

එහිදී විමර්ශන වල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ,

“ස්වාමිනි, විමර්ශනයට අදාළව මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන් 200ක්, රැඳවියන් 563ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 130ක්, පොලිස් නිලධාරීන් 11ක් සහ සිවිල් පුද්ගලයන් 65 දෙනෙකුගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ විමර්ශනය අපි සිදුකරන්නේ ජුලි (05) පළමු දිනයේ පහරදීම, ජුලි (06) දෙවැනි දිනයේ පහරදීම, පුද්ගලයන් මියයාම හා බන්ධනාගාර දේපළවලට හානිකිරීම කියන කොටස් 03කට අදාළවයි.“

බන්ධනාගාර ගැටුමට අදාළ නඩු භාණ්ඩ ලෙස නම් කරන ලද ගිනිඅවි, ජීව උණ්ඩ, හිස් කොපු, පොලු මුගුරු, කළුගල් කැට, කොන්ක්‍රීට් කැබලි සහ පිහි, කඩු ඇතුළු තියුණු ආයුධ රැසක් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

මහ රෑ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මරුට

මහ රෑ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මරුට

පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) අසල පිහිටි උත්සව ශාලාවකට අද (23) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර ඇත.

එම වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ උත්සව ශාලාවකට මෙම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීමෙි සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්

පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්

පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස (09) වන ඉරිදා දිනයේදී දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, අද (23) දිනයේ සිට අගෝස්තු (03) වන දින දක්වා මාර්ගගතව එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛන අදාළ පාසල් විසින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති බවත් එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු වල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම්, එම සංශෝධන අදාළ කාලසීමාව තුළ මාර්ගගතව සිදුකළ හැකි බවද සඳහන් කරයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස “අපගේ සේවා” යටතේ ඇති “Exam Information Centre” වෙත පිවිසීමෙන් හෝ onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අදාළ සංශෝධන සිදු කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දෙමටගොඩ වෙඩි තැබීමක්

දෙමටගොඩ වෙඩි තැබීමක්

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුකර ඇත.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.

අත්අඩංගුවට ගන්න එපා කියන ගෝඨා කඳුළු සඟවාගෙන ගෙදර යයි

අත්අඩංගුවට ගන්න එපා කියන ගෝඨා කඳුළු සඟවාගෙන ගෙදර යයි

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද (23) දින කැඳවයි.

අදාළ පෙත්සම අද (23) දින කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පිළිතුරු දේශන ඉදිරිපත් කළේය.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු (03) වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දින පෙත්සම් විභාගය දැක බලාගැනීම සඳහා අභියාචනාධිකරණය හමුවට පැමිණියේය.

තවද මෙම පෙත්සම් විභාගය දැක බලා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් අභියාචනාධිකරණය හමුවට පැමිණියේය.

බොරතෙල් මිල තවත් ඉහළ⁣ට

බොරතෙල් මිල තවත් ඉහළ⁣ට

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතියි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98 සීමාව ඉක්මවා ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත.

මුදල් මංකොල්ල කාපු ශාන්තගේ පුතාට දුන් නියෝගය

මුදල් මංකොල්ල කාපු ශාන්තගේ පුතාට දුන් නියෝගය

රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද බණ්ඩාර ඇතුළු සැකකරුවන් අද (23) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුද බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ලබන (27) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) නියෝග කළේය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විසින් පසුගිය (21) වැනිදා අනුද බණ්ඩාර අත්අඩංගුවට ගෙන ඊයේ (22) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.