Local news

දැරිය අපයෝජන සිද්ධියේ පල්ලේගම හිමිට අද මොකද වෙන්නේ.?

දැරිය අපයෝජන සිද්ධියේ පල්ලේගම හිමිට අද මොකද වෙන්නේ.?

අද (16) දින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න පසුගිය (12) වනදා නියෝග කළේය.

අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි (04) වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සඳහා යවන ලද, දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත් රුධිරය තැවරුණ බවට සැක කෙරෙන ඇදුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව නිට්ටඹුව පොලිසිය පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේය.

නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බවත් දැරියගේ ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණ වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

එනිසා අදාළ DNA ඇලීල සමග සැසඳීමට සැකකාර පල්ලේගම හේමරතන හිමිගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බැවින් රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබාදෙන ලෙසට සැකකාර හිමිනමට නියෝග කරන ලෙසට පොලීසිය පසුගියදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, (16) වන දින රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් තම රුධිර සාම්පල DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට ලබාදෙන ලෙසට සැකකාර පල්ලේගම හේමරතන හිමිට නියෝග කළේය.

තවද හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ සිය රුධිර සාම්පල ලබා දීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේය.

අධිකරණයට අපහාස කළ දිලිත්, විමල්, ගම්මන්පිලට වැඩ වරදී

අධිකරණයට අපහාස කළ දිලිත්, විමල්, ගම්මන්පිලට වැඩ වරදී

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මාධ්‍ය තුළින් කළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහසයක් සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර, මහින්ද පතිරණ සහ අසංක නවරත්න සිදුකළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහසයක් සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මේ බව දැනුම් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් 2024 අංක 8 දරණ අධිකරණ විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහස කිරීමේ පනත අනුව ඉහත සඳහන් පුද්ගලයින් හට අභියාචානාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කිරීමට කටයුතු කරන බවද විමර්ශන නිළධාරීන් අධිකරණයට දන්වා ඇත.

ඉරාන – අමෙරිකා ගිවිසුමට ට්‍රම්ප් අත්සන් තබයි

ඉරාන – අමෙරිකා ගිවිසුමට ට්‍රම්ප් අත්සන් තබයි

ඉරානය සහ අමෙරිකාව අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් කලීබාෆ් විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිවිසුම මඟින් උපායමාර්ගිකව වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම ක්‍රියාත්මක වන පරිදි විවෘත කිරීමටත් ඉරානයට පනවා තිබූ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමටත් ප්‍රතිපාදන සැලසේ.

මෙම නව ගිවිසුමට අදාළ සම්පූර්ණ විස්තර ඉදිරි පැය 24 ත් 48 ත් අතර කාලය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

පුද්ගලයින් 5ක් ඝාතනය කිරීමට පිල්ලෙයාන් අධිකරණයට

පුද්ගලයින් 5ක් ඝාතනය කිරීමට පිල්ලෙයාන් අධිකරණයට

T-56 ගිනිඅවි වලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (15) කරුණු වාර්තා කර ඇත.

පසුගිය 2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශන වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇත.

*2008 ජනවාරි (09) වනදා මඩකලපුව, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩා පිටියේදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු T-56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.

*2008 මැයි (22) වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

*2008 අගෝස්තු (20) වනදා වව්නතිව් පොලිස් වසමේ කොත්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී අවිගත් පිරිසක් විසින් තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

මෙම අපරාධයන්ට අදාළව සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර පළමු සැකකරු විමර්ශන ආරම්භ වන විටත් මෙරටින් පලාගොස් විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන 2025 අගෝස්තු (13) සහ නොවැම්බර් (13) වන දිනවල සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා අද (15) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එම ඝාතන පහේම තුන්වන සැකකරු ලෙස ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නම් කර ඇත.

මෙම නඩුව නැවත කැඳවන දිනකදී සැකකාර පිල්ලෙයාන්ව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත.

කටුනායක ගුවන් තොටුපළේ පළමු පර්යන්තය නවීකරණයට

කටුනායක ගුවන් තොටුපළේ පළමු පර්යන්තය නවීකරණයට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පවතින මගී තදබදයට දිගුකාලීන විසඳුමක් ලෙස, පැරණි පළමු පර්යන්තය (Terminal 1) සම්පූර්ණයෙන් නවීකරණය කිරීමේ රුපියල් බිලියන 15ක ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා විදේශීය ණය ලබා නොගෙන, සම්පූර්ණයෙන්ම දේශීය රාජ්‍ය ප්‍රතිපාදන හා අරමුදල් භාවිත කිරීමයි.

මෙම නවීකරණ සැලැස්ම යටතේ,
*මගී පිටත්වීමේ ශාලාව පුළුල් කිරීම
*ආරක්ෂක හා ආගමන-විගමන පෝලිම් අවම කිරීම
*මගී පැමිණීමේ අංශය ප්‍රතිනිර්මාණය කිරීම
*ගමන් මලු හැසිරවීමේ පද්ධති නවීකරණය කිරීම

ජපාන ආධාර යටතේ ඉදිවන දෙවැනි පර්යන්තයේ කටයුතු අවසන් වීමට තවත් වසර කිහිපයක් ගතවිය හැකි බැවින්, වර්ධනය වන සංචාරක ඉල්ලුමට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම පියවර ගත් බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මගී තදබදය අවම කිරීම සඳහා දැනටමත් පුද්ගලික අංශයේ දායකත්වයෙන් තාවකාලික මණ්ඩපයක් (Marquee) ස්ථාපිත කර ඇති අතර ඒ හරහා අතිරේක චෙක්-ඉන් කවුන්ටර 14ක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් දිනකට අමතර ගුවන් යානා වාර 10ත් 20ත් අතර ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ලැබී ඇත.

මෙම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු පළමු පර්යන්තයේ වාර්ෂික මගී ධාරිතාව මිලියන 6 සිට (දැනට අසීරුවෙන් මිලියන 10 දක්වා සිදුකරයි) මිලියන 15 දක්වා ඉහළ යනු ඇති අතර ශ්‍රී ලංකාව කලාපීය ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමට එය ඉවහල් වනු ඇත.

ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අත්අඩංගුවට

ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අත්අඩංගුවට

රුපියල් මිලියන 16.5ක මුදලක් රජයට පාඩු කිරීම තුළින් දූෂණ වරද සිදු කිරීමේ චෝදනාව යටතේ අද (15) දින දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම, දකුණු පළා‌තේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකු වෙත එම මිලදී ගන්නා ලද පුටු 16,361ක් නිවාස හෝ කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීම ඔහුට එල්ල වී ඇති චෝදනාව වේ. 

අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාසල් ඇඳුම් ලෙයින් තෙත් කළ බිහිසුණු අනතුර.. සිසුන් 17ක් රෝහලට

පාසල් ඇඳුම් ලෙයින් තෙත් කළ බිහිසුණු අනතුර.. සිසුන් 17ක් රෝහලට

අද (15) පස්වරුවේ මහනුවර – යාපනය A-9 මාර්ගයේ කටුගස්තොට, කලුගල ප්‍රදේශයේදී පාසල් වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත.

මෙම බිහිසුණු අනතුරින් පාසල් සිසු සිසුවියන් 17 දෙනෙකු හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූවන් කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

යෝෂිතගේ පෙත්සම හෙට විභාගයට

යෝෂිතගේ පෙත්සම හෙට විභාගයට

තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන නඩුවේ ‘කුමන්ත්‍රණය’ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම හෙට (16) දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය.

රන් මිල තවත් ඉහළ⁣ට

රන් මිල තවත් ඉහළ⁣ට

මෙරට රත්‍රං මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

අද උදෑසන මෙරට රන් මිල රුපියල් 6,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,600ක් ලෙස සටහන් වී ඇත.

කැරට් 24 රන් පවුමක මිල රුපියල් 392,000 දක්වා ඉහළ ගොස් ඇත.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු බොරතෙල් මිල පහළට

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු බොරතෙල් මිල පහළට

අමෙරිකාව සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.91 දක්වා පහත වැටී ඇත. 

තවද WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.89 දක්වා පහත වැටී ඇත.