Local news

කොළඹ වරාය නගරයේ චීන ගැටුම ඝාතනයකින් නතර වෙයි

කොළඹ වරාය නගරයේ චීන ගැටුම ඝාතනයකින් නතර වෙයි

කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇතිවු ගැටුම සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය සහ ඇහැලියගොඩ පොලීසිය එක්ව විමර්ශණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු වුට්ලර් සඳහන් කරයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනාගෙන් මේ වනවිට ප්‍රශ්න කිරිම ආරම්භ කර ඇති බවත් සිදුකරන එම විමර්ශන සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිවරයාට සහ මෙරට චීන තානාපති කාර්යාලයට කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කොළඹ වරාය නගරය ඇතුළු කොළඹ ප්‍රදේශයේ ජිවත්වන චින ජාතිකයිනගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ අතර කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් තිදෙනෙකු පැහැරගෙන ගිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පැහැරගෙන ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබියදී සොයාගෙන ඇත.

පසුගිය (22) වැනිදා රාත්‍රියේ චීන ජාතිකයන් තිදෙනෙකු කුලී කැබ් රථයකින් කොළඹ වරාය නගරයට පැමිණ මසුන් අල්ලමින් සිටියදී, මුහුණු ආවරණය කරගත් චීන ජාතිකයන් පිරිසක් ඔවුන්ට පහරදී වෑන් රථ දෙකකින් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මරණ දඬුවම් නියම වූ හසීනා එද්දි වත්මන් ජනපති ඉල්ලා අස්වෙයි

මරණ දඬුවම් නියම වූ හසීනා එද්දි වත්මන් ජනපති ඉල්ලා අස්වෙයි

පසුගිය 2024 වසරේදී පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණ හේතුවෙන් ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බව වාර්තා වේ.

ශිෂ්‍ය උද්ඝෝෂණ මර්දනය කරමින් පුද්ගලයන් 1,400කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තරායකර අපරාධ අධිකරණය විසින් හිටපු අගමැතිනි හසීනාට අයිතිවාසිකම් අහිමි කරමින් මරණ දඬුවම නියම කර ඇත.

හිටපු අගමැතිනි ෂීක් හසීනා නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ඇගේ හිතවාදි, වත්මන් බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් (Mohammed Shahabuddin) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත ගොස් සිටින පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දින් අහමඩ් (Hafiz Uddin Ahmad) නැවත රටට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට නියමිත බව වාර්තා වේ.

SLIATE අලුත් කරන්න සැරසෙයි

SLIATE අලුත් කරන්න සැරසෙයි

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගමගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

මෙහිදී පර්යේෂණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ආයතනික මෙහෙයුම් කමිටුව (Institutional Operations Committee) සහ සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත සම්බන්ධීකරණ කණ්ඩායම (Six-member Coordination Team) පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම පර්යේෂණය සඳහා යොදා ගැනීමට නියමිත මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය (Mixed-Methods Design), ප්‍රශ්නාවලි (Questionnaires) සකස් කිරීම සහ දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස අවධානය යොමු විය.

තවද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුකාරක සභාව වෙත මහජන අදහස් ලබාගැනීමේ ප්‍රගතියද මෙහිදී සාකච්ඡා කෙරුණි.

පර්යේෂණයට අදාළ මානව සම්පත් සහ කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) අංශවල දායකත්වය ලබාගැනීම, පර්යේෂණයේ ක්‍රියාකාරී කාලසටහන (Gantt Chart) සකස් කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද මෙහිදී කරුණු සලකා බැලීය.

වාණිජ මණ්ඩල, කර්මාන්ත සංගම් සහ වෘත්තීය ආයතන ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ සහ රටපුරා පිහිටි තෝරාගත් SLIATE ආයතනවල ක්ෂේත්‍ර නිරීක්ෂණ (Field Visits) සිදුකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

පර්යේෂණයේ ඉදිරි ක්‍රියාමාර්ග නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කරමින් මීළඟ රැස්වීමට අවශ්‍ය ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට ද අනුකාරක සභාවේදී තීරණය කෙරිණි.

චන්ඩි අර්ච්චුනාට වරෙන්තු

චන්ඩි අර්ච්චුනාට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) දින පියවර ගෙන ඇත.

කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇත.

මෙම නඩුවට අදාළව මන්ත්‍රීවරයා අද අධිකරණයේ පෙනී නොසිටි අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිට නොමැත.

ඒ අනුව මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන ඇත.

බො⁣රතෙල් මිල ඩොලර් 100 පනී

බො⁣රතෙල් මිල ඩොලර් 100 පනී

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.00 දක්වා ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 92.37 දක්වා ඉහළ ගොස් ඇති

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 107.02 දක්වා ඉහළ ගොස් ඇත.

අමෙරිකාව අද සිට ලංකාවට නව බදු පනවයි

අමෙරිකාව අද සිට ලංකාවට නව බදු පනවයි

අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.  

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 17කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10%ක බදු ප්‍රතිශතයක් පනවා ඇත.

එම සෙසු රටවල් වන්නේ ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝය.

ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ඔස්ට්‍රේලියාව, බහමාස්, බහරේන්, බ්‍රසීලය, චිලී, චීනය, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං, ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, කසකස්තානය, කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව,  නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය,  තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ, වෙනිසියුලාව, වියට්නාමය යන රට වලට 12.5%ක බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මකය.

අදාළ රටවල් තුළ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය, මෙම නව බදු පැනවීමට මූලිකම හේතුව වී ඇති බව වාර්තා වේ.

එක මිනිහෙක් රජ කරන්න ගිහිල්ලා කැඩිලා තිබ්බ විපක්ෂය එකතු කරා

එක මිනිහෙක් රජ කරන්න ගිහිල්ලා කැඩිලා තිබ්බ විපක්ෂය එකතු කරා

වත්මන් ආණ්ඩුව එක පුද්ගලයෙක්ගේ වයස දීර්ඝ කරන්න ගිහිල්ලා කැඩිලා තිබ්බ විපක්ෂය නැවතත් එකතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

“මට තියෙන්නේ මේකයි, මෙහෙමයි බලය තියෙනකොට මොලේ නෑනේ. හරිද.. එක මිනිහෙක් රජ කරන්න, එක මිනිහෙක්ගේ පැන්ෂන් එකක් හදන්න වයස දීර්ඝ කරන්න ගිහිල්ලා ආණ්ඩුවත් නැති කරගන්න යනවා වගේ වැඩක්නේ මේ.

කැඩිලා තිබ්බ විපක්ෂය එකතු කරේ එක මිනිහෙක් රජ කරන්න ගිහිල්ලා. එච්චරයි මගෙ වචන. එක මනුස්සයෙක්ගේ වයස දීර්ඝ කරන්න ගිහිල්ලා කැඩිලා තිබ්බ විපක්ෂයක් ආණ්ඩුව එකතු කරා. ආණ්ඩුවට බලය තියෙන කොට මොලේ නෑ.”

අපිට සජිත් ළඟට යන්න කීවේ ආණ්ඩුව.. නැත්නම් අපි යන්නෑ

අපිට සජිත් ළඟට යන්න කීවේ ආණ්ඩුව.. නැත්නම් අපි යන්නෑ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා සෑහෙන කාලෙකින් විපක්ෂයේ සියලු දේශපාලන කණ්ඩායම් වල නායකයින්ට විපක්ෂ නායක කාර්යාලය වෙත යාමට සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි.

ආණ්ඩුව දැන් මේ රටේ අධිකරණය සිරගත කර තිබෙන බවත් එයින් අධිකරණ පද්ධතිය නිදහස් කර ගැනීමට සියලු මත දරන විපක්ෂයේ දේශපාලන බලවේග වලට අවශ්‍ය බවද විමල් වීරවංශ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ සඳහන් කළේ,

“මේ සෑහෙන කාලෙකින් විපක්ෂ නායක කාර්යාලයට අපිට යන්න කියලා තියෙනනේ ආණ්ඩුව. නැත්නම් විපක්ෂ නායක සමග ප්‍රධාන වශයෙන් එකතු වෙලා සාකච්ඡාවක් පවත්වන්න ඕන කමක් මතුවෙලා තිබ්බේ නෑ. ආණ්ඩුව දැන් මේ රටේ අධිකරණය සිරගත කරලා තියෙන්නේ.

තමන් බාරයට අරගෙන තියෙන්නේ. ඒ තමන් බාරයට අරගෙන තමන්ට ඕන විදිහට නටවන අධිකරණ පද්ධතිය නිදහස් කර ගැනීම අද සියලු මත දරන දේශපාලන බලවේග වල පොදු ඕනෑකමක්. එනිසා තමයි විපක්ෂ නායකතුමාගේ ආරාධනාව පරිදි අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ.“

විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව විමල් වීරවංශ මේ බව සඳහන් කරයි.

දෙවන පාසල් වාරය අදින් අවසන්

දෙවන පාසල් වාරය අදින් අවසන්

මෙම වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අද (24) දිනයේ අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම වසරේ තෙවන පාසල් වාරයේ පළමු වන අදියර එළැඹෙන (27) වනදා ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූලි (31) වැනිදා අවසන් වන බවත් තෙවන පාසල් වාරයේ පළමු වන අදියර අගෝස්තු (03) වනදා ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මීගමුව බන්ධනාගාර ගැටුම – 17කට වෙඩි තබා ඝාතනය කරයි

මීගමුව බන්ධනාගාර ගැටුම – 17කට වෙඩි තබා ඝාතනය කරයි

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී අපරාධයක් සිදුවී ඇති බවත් මියගිය සිරකරුවන් කවුරුන් ද යන්න අධිකරණය වර්ගීකරණය නොකරන්නේ සියලු දෙනාගේ ජීවිත අධිකරණයට එක හා සමානව වටින නිසා බව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා සඳහන් කළාය.

මියගිය පුද්ගලයින් 28 දෙනෙකුගෙන් 17 දෙනෙකුගේ මරණ වලට හේතුව වෙඩි වැදීම බවත් අනෙකුත් 11 දෙනාගේ මරණ වලට හේතුව මොට ආයුධ වලින් පහරදීම බව එම මරණකරුවන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණ වලදී තහවුරු කර ඇති බවද ​ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය පිළිබඳව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සහකාර පොලිස් අධිකාරීවරුන් හතර දෙනෙකු යටතේ වෙන් වෙන් වශයෙන් විමර්ශන කිහිපයක් පුළුල් ලෙස තවදුරටත් සිදු කරමින් පවතින බවයි.

එහිදී විමර්ශන වල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ,

“ස්වාමිනි, විමර්ශනයට අදාළව මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන් 200ක්, රැඳවියන් 563ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 130ක්, පොලිස් නිලධාරීන් 11ක් සහ සිවිල් පුද්ගලයන් 65 දෙනෙකුගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ විමර්ශනය අපි සිදුකරන්නේ ජුලි (05) පළමු දිනයේ පහරදීම, ජුලි (06) දෙවැනි දිනයේ පහරදීම, පුද්ගලයන් මියයාම හා බන්ධනාගාර දේපළවලට හානිකිරීම කියන කොටස් 03කට අදාළවයි.“

බන්ධනාගාර ගැටුමට අදාළ නඩු භාණ්ඩ ලෙස නම් කරන ලද ගිනිඅවි, ජීව උණ්ඩ, හිස් කොපු, පොලු මුගුරු, කළුගල් කැට, කොන්ක්‍රීට් කැබලි සහ පිහි, කඩු ඇතුළු තියුණු ආයුධ රැසක් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.