Local news

සලේගේ පෙත්සම තීරණාත්මක දිනයකට

සලේගේ පෙත්සම තීරණාත්මක දිනයකට

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (21) දින අභියාචනාධිකරණයේදී කැඳවයි.

පෙත්සම අද (21) දින කැඳවූ අවස්ථාවේදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සිය දේශන ඉදිරිපත් කිරීම අවසන් කළේය.

අනතුරුව වැඩිදුර පෙත්සම සලකා බැලීම ලබන (27) වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එදින නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් විසින් කරුණු දැක්වීමට නියමිතය.

රාජ්‍ය ආයතන කිහිපයක ලොක්කන් රැසකට වැඩ වරදී

රාජ්‍ය ආයතන කිහිපයක ලොක්කන් රැසකට වැඩ වරදී

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් සිදුකරන ලද විමර්ශන වලට අදාළ වාර්තා කිහිපයක් නීතිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.

කෝප් කාරක සභාව විසින් සිදුකළ විමර්ශන වලදී හඳුනාගත් සිද්ධි සම්බන්ධයෙන් සභාගත කරන ලද වාර්තාවල ඇතුළත් කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමටද පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ලංකා සතොස ලිමිටඩ්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලට අදාළ වාර්තා අල්ලස් කොමිසම වෙත යොමු කිරීමට නියමිතව ඇත.

හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙක් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙක් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන රජය ගත් තීරණය

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන රජය ගත් තීරණය

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුව ඇති බවත් විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම තුළින් රජය බලාපොරොත්තු වනුයේ උසාවිවල ගොඩ ගැසී ඇති නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරීම බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ තුළින් රටේ ජනතාවට අධිකරණය සහ නීතිය සම්බන්ධව විශ්වාසය තහවුරු කිරීමට රජයේ අපේක්ෂාව බවද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“ඒ ගැන සාකච්ඡාවක් හැමතැනකම පවතිනවා. මීට වසරකට කලින් පාර්ලිමේන්තුවෙත් කමිටුවක් දාලා මේ ගැන යෝජනා අරගෙන තිබුණා. එහිදීත් යෝජනා අරන් තිබුණා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන්.

මේක සමාජයේ පවතින පොදු කතා බහක්. මගේ ක්ෂේත්‍රය ගත්තොත් මම දැක්කා හෙද සංගම් දෙකක් කියලා තියෙනවා හෙද නිලධාරීන්ගේ වයස වැඩි කරන්න ඕනේ කියලා. සමහර පරිපාලන නිලධාරීන්ගේ ඒ පැත්තෙන් ඉල්ලීම් ඇවිත් තියෙනවා.

විවිධ ක්ෂේත්‍රවලින් මේ සම්බන්ධව ඉල්ලීම් ඇවිල්ලා තිබෙනවා සංගම් හැටියට, පුද්ගලයින් හැටියට. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබෙනවා මේ නඩු කටයුතු අවසන් කරලා ජනතාවට අධිකරණ වලින් වන සේවය ඉහළින්ම ලබාදිය යුතුයි කියන එක.

අපිට මේ මොහොතේ කළ හැකි එක කාරණයක් තමයි විනිසුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කිරීම. ඒකට අපි කටයුතු කරමින් පවතිනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සිට අග්‍රවිනිශ්චයකාරයාගේ සිට මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවන් දක්වා වයස වැඩි කිරීම සම්බන්ධව යෝජනාවක් ඇවිත් තිබෙනවා.

මේකේ අවසාන පරමාර්ථය වෙන්නේ උසාවිවල ගොඩගැහිලා තිබෙන නඩු ඉක්මන් කරලා ජනතාවට පහසුවක්, සහනයක් සැලසීම සහ ජනතාවට අධිකරණය සහ නීතිය සම්බන්ධව තිබෙන විශ්වාස තහවුරු කිරීම.”

එජාපය හෙන්ඩුව අතට ගනී.. පොලීසියට වහාම අනතුරු අඟවයි.?

එජාපය හෙන්ඩුව අතට ගනී.. පොලීසියට වහාම අනතුරු අඟවයි.?

ශ්‍රී ලංකා පොලීසිය විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් හෝ සුඛෝපභෝගී ජීවන රටාවක් ගතකරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස පසුගිය ජූලි (09) වනදා නිකුත් කළ නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර ඇත.

නිසි මාර්ගෝපදේශ වලින් තොරව පොලීසිය නිකුත් කළ මෙම ප්‍රකාශය හේතුවෙන් ග්‍රාමීය ජනතාව දැඩි හිරිහැරයට හා බියගැන්වීමට ලක්වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එක්සත් රාජධානියේ ස්වාධීන පරීක්ෂණ වාර්තාවේ (Report of Independent Inquiry) එන ‘පොදු අරමුණු පිළිබඳ ප්‍රකාශයට’ (Statement of Common Purpose) අනුව පොලීසියේ ප්‍රධාන කාර්යය වන්නේ නීතිය හා සාමය සුරැකීම, නීතිවිරෝධීන් නීතිය හමුවට පැමිණවීම සහ සාමය පවත්වාගෙන යාම බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එහෙත් පොලීසියේ මෙම නිවේදනය මඟින් එකී මූලධර්මය උල්ලංඝනය වන බවත් ශ්‍රී ලංකාවේ වත්කම් බද්දක් (Wealth Tax) නොමැති අතර ගම්බද බොහෝ පිරිස් විදේශ රැකියා වැනි විවිධ නීත්‍යානුකූල මාර්ගවලින් වත්කම් උපයා ගන්නා බවත් බදු ක්‍රමය පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා ඇතැම් අය තමන් උපයාගත් වත්කම් ප්‍රකාශ කර නොතිබීමටද ඉඩ ඇති බවද සඳහන් කරයි.

පැහැදිලි නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව උපයාගත් වත්කම් මොනවාදැයි තීරණය කිරීමට භාවිත කළ හැකි නිශ්චිත ක්‍රියාපටිපාටියක් නොමැති අතර මෙය මහජනතාව හිරිහැරයට ලක් කිරීමේ මෙවලමක් විය හැකි බවට එක්සත් ජාතික පක්ෂය අනතුරු අඟවයි.

මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රථම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර වඩාත් නිශ්චිත මාර්ගෝපදේශ සකස් කළ යුතුව තිබූ බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

අධිකරණය මගහරින බැසිල් වහාම අත්අඩංගුවට ගන්න

අධිකරණය මගහරින බැසිල් වහාම අත්අඩංගුවට ගන්න

මාතර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ පොල් ඉඩමක් මිලදී ගැනීම සහ එහි සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමේ සිද්ධියකට අදාළව පවතින නඩුව (Browns Hill Case) අද (21) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවයි.

එම අක්කර එකහමාරක ඉඩම මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට ඔහු අද (21) දින පෙනී නොසිටීයේය.

මෙම නඩුවට දෙවෙනි වරටත් පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක පැනවූ වරෙන්තු අද (21) දින නැවතත් දීර්ඝ කර ඇත.

තවද බැසිල් රාජපක්ෂගේ ඇපකරුවන් සිව්දෙනාට අවවාද කළ මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරවන ලෙසත් එසේ නොවන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන්නැයි මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කළේය.

රජයේ මුදල් අවභාවිත කරමින් සහ අයථා ලෙස උපයාගත් මුදල් යොදවමින් මෙම දේපළ මිලදී ගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා මතුවූ දා සිට මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගැනෙයි.

මේ වනවිට බැසිල් රාජපක්ෂ දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටියි.

රටේ ජනතාව වෙනුවෙන් ලංගමට අලුත්ම වෙනසක්

රටේ ජනතාව වෙනුවෙන් ලංගමට අලුත්ම වෙනසක්

2026 වසරේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 49ත් 54ත් අතර ප්‍රමාණයකින් යුත් Standard මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

එහෙත් 2025–2026 මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මගී ප්‍රවාහන බස් රථ සඳහා නව ආරක්ෂිත පිරිවිතර හඳුන්වා දී ඇති අතර නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ යොදාගත යුතු බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ Standard මාදිලියේ බස් රථ 600ක් වෙනුවට වඩාත් සුවපහසු Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට ඉදිරි පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

“ලෝකයට ණය වී සමුගනිමි” ආසියාවේ සුපිරි ධාවකයාගේ සංවේදී සටහන

“ලෝකයට ණය වී සමුගනිමි” ආසියාවේ සුපිරි ධාවකයාගේ සංවේදී සටහන

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වූ කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත්කර ඇත.

“රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි” යනුවෙන් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් යුපුන් අබේකෝන් මේ බව දැනුම් දී ඇත.

“දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා කියන්නෙ මගේ ජයග්‍රහණයක් නෙවෙයි, අපේ ජයග්‍රහණයක් කියලා මං තේරුම්ගත්තෙ Sub 10 එක දුවපු දවසෙන් පස්සෙ. ඒ වෙනකල් මං හිතාගෙන හිටියේ ඒක මගේ කරගන්න ඕනෙ දිනුමක් කියලා.

කොල්ලෙක් තමන්ගේ ගෙදරට/පවුලට අයිති වෙලා ඉඳලා මුළු රටකටම අයිති වෙනවා කියන්නෙ මහා පුදුමාකාර විරල අත්දැකීමක්. තිබූ තැනකින් සොර සතුන්ට ගන්නට බැරි දිනුමක්. මුලින්ම ඒ අත්දැකීම මට දුන්නට, මං මේ ජීවිතයට සහ මගේ රට දැයට මං මගේ කෘතඥතාවය දක්වනවා.

ඔබ හැම දෙනාම කවදාවත් සාමාන්‍ය රසිකයෝ හෝ සහයෝගය දක්වන්නන් විතරක් වුනේ නෑ. ඔබ සියලු දෙනා මගේ පවුල වුණා. මේ ගමන පුරාවටම මම ඇත්තටම ලබාගත්තෙත් ඒ ආදරයි ශක්තියයි විතරයි. මගේ තරග නරඹන්න නිදිමරාගෙන උන්න, පහන් පත්තු කරපු, යාච්ඤා කරපු හැමදෙනාටම ගොඩක් ආදරෙයි.

ඒ හැමදේම මට විශාල ශක්තියක් වුන බව මං මතක් කරන්න කැමතියි. මං මට පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරන්නත්, ඔයාලාගේ විශ්වාසය මිල මුදල් ඉදිරියේ පාවා නොදී රකින්නත්, ඔයාලගේ ගෞරවයට කැළැලක් නොකර විනයවත්ව හැසිරෙන්නත් වග බලාගැනීම මං ඔයාලට ඉටුකළ යුතුකමයි.

ඉතින් මගේ ක්‍රීඩා ජීවිතය අවසන් කරන අද දවසේ මට ස්තූති කරන්න පිරිසක් ඉන්නවා. මුලින්ම මාව මේ ලෝකෙට ගෙනැවිත් මට ජීවිතය දුන්න දෙමව්පියන්ට ස්තූතිවන්ත වෙනවා, මං ගැන මෙච්චර ආඩම්බර වෙනකොට මට හරිම සතුටක් දැනෙනවා.

මගේ පවුලේ අයට සහ මගේ යාළුවන්ට ස්තූතිවන්ත වෙනවා මට ලොකු හයියක් උනාට, ඒ වගේම මගේ පාසල් දෙකටම මට ක්‍රීඩාව හඳුන්වලා දුන්නාට. මාව ක්‍රීඩාවට හඳුන්වලා දුන්නාට මගේ සියලුම පුහුණුකරුවන් සහ ඉතාලියේ මගේ කණ්ඩායමට ස්තූතියි. ඒ අය නොහිටින්න මගේ ගමන මේ තරම් දුරක් නොපැමිණෙන්න තිබුණා.

ඒ වගේම මේ ගමනේ පටන්ගැන්මේදී යුද හමුදාව ලබාදුන්න ඒ සහයෝගය මට ලොකු පිටුවහලක් උනා. විශේෂයෙන්ම විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ එවක සිටි සහ අදත් සේවයේ සිටින සියලුම නිලධාරීන් සහ සෙසු නිල සියලු දෙනාටම ඒ ලබාදුන්න සහයෝග වලට මං මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.

ඒ එක්කම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන්ට මම ස්තූතිය පුද කරනවා. මගේ ජයග්‍රහණ (ලංකාවේ ජයග්‍රහණ) වෙනුවෙන් ශ්‍රමය, බලාපොරොත්තු, කාලය, මුදල් වියදම් කරපු සෑම ඉතාලි ජාතික වෘත්තීමය හැමදෙනාටම මම මේ අවස්ථාවේ ආචාර කරනවා.

රටේ ජයග්‍රහණය වෙනුවෙන් (අවංකව) කටයුතු කළ රජයේ අමාත්‍යාංශ වල සහ කමිටු වල සේවය කල සහ දැනට සේවය කරන පිරිසට ස්තූතියි. මා සමග එකට වැඩ කටයුතු කළ සහයෝගය ලබා දුන්න පෞද්ගලික අංශයේ සියලුම දෙනාටත් මම ස්තූතිය පුද කරන්න කැමතියි.

ලෝකයේ පුහුණුවීම් කරන්නට මට අනුග්‍රහය දැක්වූ ‘TV දෙරණ’ මාධ්‍ය නාලිකාවේ ප්‍රධානී දිලිත් ජයවීරට, ලක්සිරි වික්‍රමගේ ඇතුළු සියලුම දෙනාටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරීන් සියලු දෙනාටමත් විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.

අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන, නැගී එන සහොදර සහෝදරියන් හැමෝටම අපේ රටේ නම ලෝකයේ දිනවන්නටත්, අපේ රටේ මිනිසුන්ට ජයග්‍රහණයේ අභිමානයෙන් ඔසවා තබන්නටත් ජයග්‍රහණ ලැබෙන්නට කියා මං හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස, රට දැයට ගෙන දුන් ජයග්‍රහණයන් සහ අභිමානයෙන්, මාව ඇති දැඩි කළ මගේ රටට ණය ගෙවන්නට ලැබීම මා තෘප්තිමත් කරයි. එය මගේ අවසන් හුස්ම දාක්වා මා සමග එනු ඇත. එහෙත් මාව පුහුණු කළ මට තාක්ෂණය දුන්, අපේ රටට ආදරය කළ රටවල් සහ මිනිසුන්ට ණයකාරයෙක් වෙන්නට සිදුවීම ගැන මා කණගාටු වෙමි.

තවත් ක්‍රීඩා කරන්න කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය කිසිම විදිහකින් ගැනීමට පහසු තීරණයක් උනේ නෑ. ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක්ද සිද්ධ උනේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු.

ඔයාලා හැමෝටම ස්තූතියි , ආදරෙයි!
ශ්‍රී ලංකා මාතාවට ජය වේවා.
“

පාපන්දු ඉතිහාසය අලුත් වෙද්දි ලෝකයම ආදරය කළ සුපිරි තරුව

පාපන්දු ඉතිහාසය අලුත් වෙද්දි ලෝකයම ආදරය කළ සුපිරි තරුව

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ලැමීන් යමාල් පිටිය තුළ කැපී පෙනෙන අවධානයක් දිනා ගත්තද, වැඩිම අවධානය දිනාගෙන ඇත්තේ ඔහුගේ බාල සහෝදරයා වන කේන්ය.

ඔහුගේ තුන් හැවිරිදි සොහොයුරු කේන් ද පිටියෙන් පිටත සිදුකළ සුරතල් වැඩ නිසා ලොව පුරා රසිකයන්ගේ අවධානය නොඅඩුව දිනාගත් අතර ලැමීන් යමාල් සිය ලෝක කුසලාන රන් පදක්කම සිය කුඩා සොහොයුරාගේ කරට දැමුවේය.

එහිදී තුන් හැවිරිදි කේන් එය රසකැවිල්ලක් හෝ සෙල්ලම් බඩුවක් ලෙස සිතා දත්වලින් හපමින් සිටි ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරාම ලැව්ගින්නක් සේ ප්‍රසිද්ධ විය.

ස්පාඤ්ඤ කණ්ඩායම නිල ඡායාරූප ලබාගන්නා අවස්ථාවේදී, කේන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පවා මවිතයට පත් කරමින් කුසලානය අසල වාඩි වී, බිම පෙරළෙමින් සහ එහි උඩ කොටස අතගාමින් සිටියේය.

ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් සිය ජයග්‍රහණය අමතක කර කුඩා දරුවාගේ සුරතල් දෙස බලා සිනාසෙන අයුරු දක්නට ලැබුණ අතර යමාල් සිය සහෝදරයා වඩාගෙන පිටිය වටා යන අවස්ථාවේදී, කේන් ස්පාඤ්ඤ රසිකයින් දෙසට අත වනමින් ප්‍රතිචාර දක්වා ඇත. 

මෙම දර්ශන ඇතුළත් වීඩියෝ පට මිලියන ගණනින් නැරඹුම් වාර ලබා ගනිමින් TikTok සහ Instagram හි ජනප්‍රිය වීමට පටන් ගත් අතර පසුව රසිකයින් පවසන්නේ ලමීන් පිටිය තුළ සැබෑ වීරයෙක් බවත් ඔහුගේ මල්ලි පිටියෙන් පිටත “සුපිරි තරුවක්” බවයි.

කටුවාන ගින්නෙන් 5ක් මරුට.. සිරවූ පුද්ගලයින් සොයා මෙහෙයුම්

කටුවාන ගින්නෙන් 5ක් මරුට.. සිරවූ පුද්ගලයින් සොයා මෙහෙයුම්

අද (21) දින හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් මේ වනවිට පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය සඳහන් කරයි.

මෙම ගින්න හටගත් අවස්ථාවේ සේවකයින් 80කට අධික පිරිසක් එම ස්ථානයේ සිට ඇති අතර ඔවුන් සිරවී ඇත්දැයි සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවද සඳහන් කරයි.

ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවද හෝමාගම පොලීසිය සඳහන් කරයි.