Local news

තරුණයින් 11ක් පැහැරගැනීම – හිටපු නාවික හමුදාපතිට දුන් නියෝගය

තරුණයින් 11ක් පැහැරගැනීම – හිටපු නාවික හමුදාපතිට දුන් නියෝගය

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්, සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

අනතුරුව නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස (09) වනදා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ශන්ත බණ්ඩාර වගේම වූ මංකොල්ල කාපු පුතා

ශන්ත බණ්ඩාර වගේම වූ මංකොල්ල කාපු පුතා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර ඊයේ (21) දින පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද (22) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

ඔහු ඊයේ (21) කොල්ලුපිටිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රතිපත්ති පොලී අනුපාතික ගැන මහ බැංකුව තීරණයක් ගනී

ප්‍රතිපත්ති පොලී අනුපාතික ගැන මහ බැංකුව තීරණයක් ගනී

දේශීය සහ ගෝලීය ආර්ථික තත්ත්වයන්හි සිදුවන වෙනස්කම් සහ ඉදිරි දැක්ම සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණයක් ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) දින පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක වත්මන් මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර ඇත.

මේ දිනවල මැදපෙරදිග කලාපයේ යළි උත්සන්න වී ඇති බලපෑම හේතුවෙන් ගෝලීය භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන් ඛනිජ තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත.

එම තත්ත්වය ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් ඇති කළ හැකි අතර විවිධ මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් එල්ල විය හැකි බවද මහ බැංකුව සඳහන් කරයි.

2026 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය වාර්ෂික පදනම මත 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊට ප්‍රධාන වශයෙන් දේශීය බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම බලපා ඇත.

ඉදිරි කෙටි කාලය තුළ උද්ධමනය 5%ක ඉලක්කයට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි නමුත්, ක්‍රමයෙන් ඉලක්කගත මට්ටම වෙත යළි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

අද (22) දින අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අද පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පැය 4ක් පහත සඳහන් සේවා ජලාශ මගින් ආවරණය වන ප්‍රදේශවලට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

මහනුවර ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුන්නක් සිදුවන බැවින් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

රජපිහිල්ල සේවා ජලාශය – උඩුවාවල, පොල්වත්ත පාර, ග්ලෙවත්ත, වස්ගේවත්ත, උඩ බොකලවල, පල්ලේ බොකලවල, පිහාඔයේවත්ත, අහස්ලියද්ද, කොටුවේවත්ත, නාගහමුල පාර, තවලන්ගොඩ, බලගොල්ල, හපුගොඩ, පට්ටියාවත්ත, රජපිහිල්ල, මොරගහවෙල, අත්තරගම, උල්ලදුපිටිය පාර, පොහොරබේතැන්න පාර සහ අත්තරගම දෙකිඳ පාර

මැදවල (පැරණි) සේවා ජලාශය – කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැටේ, පල්කුඹුර, ඉඩමේගම, අඹේගම, ගොරොක්ගස්අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්ට සහ තලපැලැල්ලේගොඩ පාර

මැදවල (නව) සේවා ජලාශය – බටුගොඩ, ඇහඅළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සුරියකුඹුර, අඹරුප්ප, හරන්කහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද

ගලගෙදර සේවා ජලාශය – ගලගෙදර, වෑබඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර

මාවතගම සේවා ප්‍රදේශය – මාවතගම, බරන්දන පාර, රඹුක්කන

නාමල් ඉදිරියේදී හිරගෙදර ජනාධිපති වෙයිද දන්නෑ

නාමල් ඉදිරියේදී හිරගෙදර ජනාධිපති වෙයිද දන්නෑ

ජනාධිපති සිහිනය ඕන කෙනෙක්ට දකින්න පුළුවන් බවත් නාමල් රාජපක්ෂට තියෙන නඩු නිසා ඉදිරියේදී හිරගෙදර ජනාධිපති වෙන්න වෙයිද දන්නේ නැති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කරයි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“ඉස්සර නං අවුරුදු 15ක් 16ක් නඩු ඇහුවලු දැන් ඉක්මනට නඩු අහනවා. ටිකක් බය වෙලා වගේ මේ කෙඳරි ගානකොට. කලින් කිවුවනේ අර හොරු ඇල්ලුවද, කෝ අරවද මේවද කියලා. දැන් ඒව කියන්නේ නෑ.

දැන් මේ නඩු අහනවා, බය වෙනවා. අපි බය නෑ. ඒගොල්ලන්ට බය නැතුව ඉන්න කියන්න. තමන්ගේ බාප්පලාට, ලොකු තාත්තලාට, ඔය හැංගිලා ඉන්න අයට. ඔය ඔක්කොටෝම ඇවිල්ලා උසාවිවල නඩු වලට මුහුණ දීලා මේ රටේ නීතියට මුහුණ දෙන්න කියන්න.

විශේෂයෙන්ම ජනාධිපති සිහින ඕන කෙනෙක්ට දකින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් කොහේ ජනාධිපති වෙන්න වෙයිද දන්නෑ මේ තියෙන නඩු ගැන බලපුවාම. ඉතින් නාමල්ලට ඉස්සරහට කොහේ ජනාධිපති වෙන්න වෙයිද දන්නේ නෑ. සමහරවිට හිරගෙදර ජනාධිපති වෙන්න වෙයිද දන්නෑ.”

ඉදිරි ගමන සාකච්ඡා කරන්න සජිත් ප්‍රමුඛ කණ්ඩායම රැස්වෙයි

ඉදිරි ගමන සාකච්ඡා කරන්න සජිත් ප්‍රමුඛ කණ්ඩායම රැස්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් (21) දින පැවැත්වුණි.

සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, එස්. එම්. මරික්කාර්, චිත්‍රාල් ප්‍රනාන්දු සහ රෝහණ බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වී ඇත.

මෙම රැස්වීමේදී සමගි ජන බලවේග පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත.

ටග් යාත්‍රා බලඇණිය ඉහළ⁣ නංවයි

ටග් යාත්‍රා බලඇණිය ඉහළ⁣ නංවයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවශ්‍යතාව පුළුල් ලෙස ඇගයීමෙන් අනතුරුව, එම අධිකාරියේ ටග් යාත්‍රා බලඇණිය ඉහළ නැංවීමේ අරමුණින් ටොන් 70 Bollard Pull (BP) Twin Azimuth Stern Drive වර්ගයේ වරාය ටග් යාත්‍රා 02ක් නිශ්චිත කාලයක් සඳහා කුලියට ගැනීම පිණිස 2025-01-06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

එම අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇත.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/S Sri Lanka Shipping Company Limited වෙතින් වසර 05ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17.16ක මුදලකට (අදාළ බදු සහ තීරු ගාස්තු රහිත) එම ටග් යාත්‍රා 02 සපයා ගැනීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉදිරියේදී ලංකාවට එන එල්-නිනෝ.. ඇතිවිය හැකි අවධානම

ඉදිරියේදී ලංකාවට එන එල්-නිනෝ.. ඇතිවිය හැකි අවධානම

එල්-නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් ජනාධිපති කාර්යාලයේදී (20) පස්වරුවේ රැස්විය.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සභාපතීත්වයෙන් රැස් වූ මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව විසින් ඉදිරියේදී ඇති වන එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මේ වනවිට ලෝකයට එල්- නිනෝ තත්ත්වයක් ඇති විය හැකි අවධානම 81%ක් බවට ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකථනය කර තිබෙන බව මෙහිදී අවධාරණය කෙරිණි.

ඒ අනුව සමාජයීය වශයෙන් සෘජුවම බලපෑමට ලක්විය හැකි කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය, බලශක්ති යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ඒ අනුව එක් එක් අංශවලට අයත් රාජ්‍ය ආයතන විසින් එල්නිනෝ තත්ත්වයකට මුහුණ දීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීනව සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.

එල්නිනෝ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර බලපෑමකට ලක්වන අංශවලට අවශ්‍ය විසඳුම් සකස් කිරීමට අදාළ යෝජනා සම්බන්ධව ද මෙහිදී අවධානය යොමුවිය.

දියර කිරි වලට අලුත්ම නීති.. විකිණීම තහනම්

දියර කිරි වලට අලුත්ම නීති.. විකිණීම තහනම්

පාරිභෝගික භාණ්ඩ කිහිපයකට අදාළව නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇති අතර ඒ අනුව සැකසූ දියර කිරි සම්බන්ධව නව රෙගුලාසි කිහිපයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙරට ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සහ පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් සකස් කරන ලද දියර කිරි සඳහා නව ප්‍රමිතී හඳුන්වා දීමට පාරි‍භෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇත.

එම අධිකාරිය නිකුත් කරන ලද අංක 98 දරන විධානය අනුව, සැකසු දියර කිරිවල අඩංගු ඇෆ්ලැටොක්සින් (Aflatoxin) මට්ටම සඳහා දැඩි සීමාවක් හඳුන්වා දී ඇත.

නව නීතිය අනුව ශ්‍රී ලංකාව තුළ විකුණනු ලබන හෝ බෙදා හරිනු ලබන සියලුම සකස් කරන ලද දියර කිරි, SLS 1815 ප්‍රමිතියට අනුව, කිලෝග්‍රෑමයකට මයික්‍රොග්‍රෑම් 0.5 (0.5 µg/kg හෙවත් ppb) ක උපරිම ඇෆ්ලැටොක්සින් මට්ටමට අනුකූල විය යුතුය.

මෙම ආරක්ෂිත සීමාව ඉක්මවා සකස් කරන ලද දියර කිරි නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ඇසිරීම, ගබඩා කිරීම සහ විකිණීම සම්පුර්ණයෙන්ම තහනම් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

මෙම නව විධානය 2027 වසරේ ජනවාරි (08) වැනිදා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක අතර සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන් සහ සිල්ලර වෙළෙන්දන් එම දිනයට පෙර අදාළ ප්‍රමිතීන්ට අනුකූල වීම තහවුරු කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

හිරේ යන්න ඉන්න දූෂිතයින්ට සැරෙන් ඇමතූ අධිකරණ ඇමති

හිරේ යන්න ඉන්න දූෂිතයින්ට සැරෙන් ඇමතූ අධිකරණ ඇමති

මොනම ආකාරයකින්වත් අධිකරණයේ ස්වාධීනත්වයට හෝ විනිසුරුවරයාගේ ස්වාධීනත්වයට හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

තවද හිරේ යන්න බලාපොරොත්තුවෙන් සිටින සහ ඇප පිට සිටින වංචනිකයන්ට, දූෂිතයින්ට අධිකරණ පද්ධතියට තර්ජනය කිරීමට ඉඩ දෙන්නේ නැති බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි

අද (21) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

“අපි මොනම ආකාරයකින්වත් අධිකරණයේ ස්වාධීනත්වයට හෝ විනිශ්වකාරවරයාගේ ස්වාධීනත්වයට හානියක් වෙන්න දෙන්නේ නෑ. ඒ වගේම හිරේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්න, ඇප පිට ඉන්න වංචනිකයන්ට, දූෂිතයන්ට එහෙම අධිකරණ පද්ධතියට තර්ජනය කරන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.

ඔවුන් බොහෝ විට මේ පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද භාවිතා කරමින් එසේ කරන බව පේනවා. ඉතින් මම ඉල්ලා හිටිනවා ඔය කරන දේවල් වලින් වැඩිහරියක් ඔබලා එලියේ කරානම් බොහෝ වෙලාවට ඒවට වෙනම පියවර අප⁣ට ගන්න පුළුවන්. නමුත් වරප්‍රසාද වලට කට්ටිය මුවා වෙලා ඉන්නේ.”