Local news

ලාෆ් ගෑස් සමාගමෙන් දැනුම්දීමක්.!

ලාෆ් ගෑස් සමාගමෙන් දැනුම්දීමක්.!

ලාෆ් ගෑස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ලාෆ් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම සඳහන් කරයි.

ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා අද සිට එම ගෑස් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කරන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

අද සිට සාමාන්‍ය පරිදි ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා අවශ්‍ය ගෑස් සිලන්ඩර මිලදී ගැනීමේ හැකියාව පවතින බවද ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

සුරේෂ් සලේගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි.!

සුරේෂ් සලේගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් දින 90ක කාලයක් රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අවසර හිමිව ඇත.

පසුගිය (25) පෙරවරුවේ පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා යමින් සිටියදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට පත්විය.

පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කරයි.!

පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කරයි.!

පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත ලබාදෙන පාවහන් තිළිණපත් ලබාදීමේ කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව එම තිළිණපත් වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.03.15 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන්, සීලමාතාවන් වෙත රුපියල් 3000ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදෙයි.

කමාන්ඩෝ සලින්තට දුන් නියෝගය.!

කමාන්ඩෝ සලින්තට දුන් නියෝගය.!

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කළ කමාන්ඩෝ සලින්ත නමැත්තා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගමගේ නිල මදිරිය තුළට අද (27) දින ඉදිරිපත් කළේය.

එහිදී විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රත්වරයා පාතාල ක්‍රියාකාරිකයකු බව කියන කමාන්ඩෝ සලින්ත නමැත්තා ලබන මස (12) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

පාකිස්තාන ප්‍රහාරයෙන් 130කට වැඩි පිරිසක් මරුට.!

පාකිස්තාන ප්‍රහාරයෙන් 130කට වැඩි පිරිසක් මරුට.!

තලේබාන් සටන්කරුවන් ඉලක්ක කරමින් පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් තලේබාන් සටන්කරුවන් 130කට වැඩි පිරිසක් මියගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව පකිස්තානය තහවුරු කරයි.

දේශසීමා ගැටලුවක් හේතුවෙන් ඇෆ්ගනිස්තානය විසින් පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර වලට පළිගැනීමක් ලෙස පාකිස්තානය ඊයේ (26) රාත්‍රියේ මෙම ප්‍රහාර මාලාව එල්ල කළේය.

‘ගසබ් ලිල් හක්’ ලෙසින් නම් කර ඇති මෙම මෙහෙයුම යටතේ පාකිස්තාන ගුවන් හමුදාව කාබුල්හි තලේබාන් හමුදා මූලස්ථානය ඇතුළු ස්ථාන රැසකට බෝම්බ හෙළා ඇත.

ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ආක්‍රමණයට සිය සන්නද්ධ හමුදා දැඩි ප්‍රතිචාරයක් දක්වන බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් සඳහන් කරයි.

ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගයට දින නියම කරයි.!

ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගයට දින නියම කරයි.!

ශ්‍රී ලංකන් කේටරින් සමාගම විසින් එම සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ විසි දහසක මුදලක් මුදා හැරීම තුළින් රජයට පාඩු සිදු කර දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම නඩුවක් ගොනු කර ඇත. 

ඒ අනුව හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

අනතුරුව එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරුට සාක්ෂි දීම සඳහා මාර්තු මස (24) වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

අනතුරුව සාක්ෂි විභාගය මාර්තු (24) වනදා කැඳවීමට දින නියම කෙරුණි.

මර්වින් සහ ප්‍රසන්නට අධිචෝදනා.!

මර්වින් සහ ප්‍රසන්නට අධිචෝදනා.!

රජයේ ඉඩම් අනිසි ලෙස පරිශීලනය කිරීම සඳහා කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණේය.

ඒ අනුව කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ලේඛන සකස් කළ බවට එල්ල වූ චෝදනා මත මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට ගම්පහ මහාධිකරණයේදී අද (27) අධිචෝදනා භාරදී ඇත.

ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන තිබුණ අතර එම අවස්ථාවේදී විත්තිකරුවන් සියලු දෙනාටම විදේශගත වීම තහනම් කර, ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වහාම අධිකරණ භාරයට ගන්නා ලෙස නියෝග කළාය.

අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ අතිරේක ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළාය.

කන බත් පතටවත් සාධාරණයක් කරන්නේ නැති සිංහ පෝතකයින්.!

කන බත් පතටවත් සාධාරණයක් කරන්නේ නැති සිංහ පෝතකයින්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ කාගෙවත් බූදලයක්, කාටවත් සල්ලි හම්බ කරන්න ගොඩනගපු බිස්නස් එකක් නෙමෙයි. එහෙත් දැන් ක්‍රිකට් කරවන මහත්තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් තම අල්ලේ නටවන තත්ත්වය පත්කරගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කරවන මහත්තුරු කරපු දුෂණ අක්‍රමිකතා ගැන රටටම හෙළිකර තිබියදී සහ කෝප් කමිටුවේදී මේ සම්බන්ධව හෙළිදරව් කළද තවමත් ඔවුන් ක්‍රිකට් හරහා බිස්නස් කරමින් සිටියි.

දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ මුලසුන දරන සභාපති ඇතුළු අනෙකුත් තනතුරු දරන සියලුම දෙනා බලය තහවුරු කරගැනීමට ක්‍රීඩා පනත් පවා වෙනස් කළේය. රට ගැන කිසිදු හැගීමක් නැති ඔවුන් මේ වනවිටත් ක්‍රිකට් හරහා බිස්නස් කරමින් සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ රටේ ජනතාවට ආගමක් වගේ. ජනතාවට සතුටු වෙන්න තිබුණ එකම අවස්ථාව තමයි ක්‍රිකට්. මෙතරම් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කළ මහත්තුරු කියන පුද්ගලයින් තවමත් එම තනතුරුවල සිටිය යුතුද.?

එම පුද්ගලයින්ගේ පදේට නටන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නාමය විනාශ කරමින් රට ගැන නොසිතා තම ආදායම් ගැන පමණක් සිතා ක්‍රීඩා කරමින් රටේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ බොරුවට කිඹුල් කඳුලු හලයි.

ක්‍රීඩකයින්ගේ මෙම රගපෑම සහ රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම නිසා වැටෙන්න ඕන උපරිම පහළට ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී අවසන්. එනිසා තවදුරටත් ලංකාවේ ක්‍රිකට් වැටෙන්න නොදී අඩියක් හරි ඉදිරියට ගන්න යම්කිසි තීන්දු තීරණ ගත යුතුයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයිනි, රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ඔබේ වගකීමක්. ඔබ රටට සෙල්ලම් කරන්නේ අපේ රටේ බත් කාලා. එනිසා කන බත් පතටවත් නිගා නොකර, සල්ලි පස්සේ පන්නන්නේ නැතිව රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න.

ලංකාවේ දක්ෂ ක්‍රිඩකයින් ඉන්නවා ජාතික කණ්ඩායමට සෙල්ලම් කිරීමට බලාපොරොත්තුවෙන්. එනිසා තමන් හරියට ක්‍රීඩා කරන්නේ නැතිනම්, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න බැරිනම් දක්ෂයින්ට ඒ තැන ලබාදී කණ්ඩායමෙන් ඉවත් වෙලා ගෙදර යන්න.

මේ අතර හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සඳහන් කළේ, රොෂාන් මහනාම, අරවින්ද ද සිල්වා හෝ ජනාධිපතිවරයෙක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් නිලවරණය සඳහා තරඟ වැදුනහොත් කිසිදු ආකාරයකින් ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඒ සඳහා කිසිඳු කෙනෙකුට අඟිලි ගැසිය නොහැකි බවත් එවැනි ස්වාධීන තත්වයක් යටතේ පත් වූ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කිසිදු ආණ්ඩුවකට හැකියාවක් නොමැති බවද හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සඳහන් කරයි.

ලෝක රන් මිල ඉහළට.!

ලෝක රන් මිල ඉහළට.!

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල අද (27) දින ඉහළ ගොස් ඇත.

ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5187යි සත 50ක් ලෙස සටහන් වුණි.

රන් අවුන්සයක මිල, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් 4981යි සත 70ක් ලෙස සටහන් වුණි.

දිවයිනට රැගෙන ආ ‘පොඩි ලැසී’ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට.!

දිවයිනට රැගෙන ආ ‘පොඩි ලැසී’ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට.!

අත්අඩංගුවට ගෙන අද (27) දින අලුයම මෙරටට ගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට පොලිසියට අවශ්‍යව සිටින ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නමැති සැකකරු කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙනවිත් ඇත.

මෙම සැකකාර “පොඩි ලැසී” නැමැත්තා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරන ගුවන් යානයෙන් දිවයිනට රැගෙන ආවේය.

මෙම සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.