Local news

යුද ගැටුම් අවසන් කිරීමේ ගිවිසුමට තමන් තවමත් සූදානම් නෑ

යුද ගැටුම් අවසන් කිරීමේ ගිවිසුමට තමන් තවමත් සූදානම් නෑ

අමෙරිකාව විසින් ඉරානය සමඟ පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමකට අත්සන් තැබීමට තමන් තවමත් සූදානම් නැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ධවල මන්දිරයේදී සිය උපදේශකවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය ‘ටෲත් සෝෂල්’ ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට තාවකාලික එකඟතාවයකට පැමිණ තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත.

ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවා

ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවා

බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින්, ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි මම ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරමි.

බාහිර ලෝකය ආලෝකවත් කරන්නා සේම, තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකමත් කරගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතුය. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසලයන් දුරුකරමින්, සාමය හා සැනසීම උදා කරගන්නා වූ පින්බර කාලසීමාවක් බවට මෙය පත්කර ගනිමු.

​“අභිත්ථරෙථ කල්‍යාණේ” – පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු. මෙවර රාජ්‍ය වෙසක් තේමාව කාලීන සමාජ අවශ්‍යතාව මැනවින් නිරූපණය කරන්නකි. පෞද්ගලික පටු අරමුණුවලින් බැහැරව, පොදු යහපත උදෙසා කැපවෙන, ධර්මයේ බැබළෙන දේශයක් උදා කර ගැනීමට මෙම වෙසක් මංගල්‍යය අපට ආශිර්වාදයක් හා ශක්තියක් විය යුතුය.

​අතිපූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන රාජ්‍ය වෙසක් මහෝත්සවය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි.

රජය සහ බුදු දහම අතර පවතින ගැඹුරු බැඳීම තුළින්, දැහැමි පාලනයක් ඔස්සේ රටේ දියුණුව සහ සෞභාග්‍යය උදාකර ගත හැකිය. කුල, මල හෝ ආගම් භේදයකින් තොරව සැමට සාධාරණය ඉටුවන, “සියලු සත්වයෝ සුවපත් වෙත්වා” යන උදාර සංකල්පය මත පිහිටා රටක් ලෙස අප මුහුණ දෙන ආර්ථික හා සමාජීය අභියෝග ජයගැනීමට අවශ්‍ය ඉවසීම පුරුදු කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.

අන්තගාමීත්වය බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරමින්, සොබාදහමට හිතැති, පරිසර හිතකාමී වෙසක් සැමරුමකට එක්වන ලෙස මම ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ප්‍රතිපත්තිගරුක සමාජයක් උදෙසා එක්ව පෙරට යමු. සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා

සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා

සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් උත්සවය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.

බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමකි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සමස්ත ධර්මස්කන්ධයම ගොඩනැගී ඇත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයන් මූලික කරගනිමිනි.

එමෙන්ම සාමය, සහජීවනය සහ සංහිඳියාව පිළිබඳ පරමාදර්ශී පාඩම බුදුන් වහන්සේ මෙන්ම සියලු ශාස්තෘන් වහන්සේ අනුදැන වදාළ ධර්මයයි. බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බව බුදු දහම පෙන්වා දෙයි.

පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන මෙම අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව අප පසක් කොටගත යුතුය. පසුගියදා මෙරට පාද යාත්‍රාවේ නිරත වු වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින්ද ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූයේ එම පණිවිඩය බව මම විශ්වාස කරමි.

එමෙන්ම, වෙසක් සැමරුම ආගමික උත්සවයක් මෙන්ම වසර දහස් ගණනක් පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සාමූහිකත්වය සහ කලාත්මක නිර්මාණශීලීත්වය විදහා දක්වන විශිෂ්ට සංස්කෘතික මංගල්‍යයක්ද වේ.

වෙසක් සැමරුම හා සමගාමීව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන දාන, ශීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් මෙන්ම ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් සංවිධානය කෙරෙන දන්සැල්, බොදු බැති ගී, අලංකාරවත් පහන් කූඩු, දර්ශනීය තොරණ, සැරසිලි ආදිය බෞද්ධයන් පමණක් නොව සියලු ආගම් වලට අයත් ලාංකිකයන්ගේ එකමුතුවෙන් විචිත්‍රවත් වේ.

ඒ අනුව සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනය වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවද අවිවාදිතය.

අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදැරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් අප ජීවිතවලට එක් කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින් සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා’යි ශුභාශිංසනය කරමි.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම රුසියාවේදී අවධාරණය කරයි

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම රුසියාවේදී අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) රුසියාවේ මොස්කව් නුවර (28) පැවැත්වුණු “ආරක්ෂක කරුණු පිළිබඳ උසස් නිලධාරීන්ගේ 14 වන ජාත්‍යන්තර හමුව” (XIV International Meeting of High-Ranking Officials Responsible for Security Matters) සඳහා සහභාගී විය.

එහිදී ඔහු විසින් නව ගෝලීය ආරක්ෂක අභියෝග (Emerging Global Challenges) පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කළේය.

එම හමුවේදී, ආරක්ෂක ලේකම්වරයා ඉන්දියන් සාගර කලාපයේ ඇති භූ – දේශපාලනික වැදගත්කම පෙන්වා දුන් අතර, මෙම කලාපය සාමය, සහයෝගීතාවය සහ සාමුහික දියුණුවක් පවතින කලාපයක් ලෙස පවත්වා ගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.

එමෙන්ම, කලාපීය තරඟකාරීත්වයන්, ගැටුම් දක්වා දුරදිග යාම වැළැක්වීම සඳහා නාවික ගමනාගමනයේ නිදහස සුරැකීම, ජාත්‍යන්තර නීතිවලට ගරුකිරීම සහ රටවල් අතර සුහද සංවාද පැවැත්වීමෙහිලා ඇති වැදගත්කම පිළිබඳව ඔහු සඳහන් කළේය.

තවද, ත්‍රස්තවාදය, සයිබර් අපරාධ, මුහුදු සීමාවන්හි අනාරක්ෂිතභාවය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අවදානම් වැනි නූතන තර්ජන වලට මුහුණ දීම සඳහා අවැසි ජාත්‍යන්තර සහයෝගීතාවය, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ සාමූහිකව ක්‍රියා කිරීම ඉතා වැදගත් බවද ඔහු කියා සිටියේය.

සංකීර්ණ ගෝලීය වටපිටාවක විශ්වාසය සහ කලාපීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා කුඩා රටවලට විශාල කාර්යභාරයක් පැවරෙන බව පෙන්වා දුන් ආරක්ෂක ලේකම්වරයා, නොබැඳි පිළිවෙත සහ සාමකාමී සහජීවනය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම ද සිහිපත් කළේය.

ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න සූදානම්.. අපි අනාගතය ගැන හිතන ආණ්ඩුවක්

ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න සූදානම්.. අපි අනාගතය ගැන හිතන ආණ්ඩුවක්

වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පසුගිය ආණ්ඩු වාණිජ වෙළෙඳපොළෙන් අධික පොලියට ණය ලබා ගෙන තමන්ගේ අවුරුදු පහ ඇදගෙන ගියද, වත්මන් රජය යටතේ මේ වන විට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් ජයග්‍රහණ ලබා ඇති බවත් මේ ගමන් මාවත තුළ රට ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ට වී තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අද ලංකාවේ පළමු වතාවට අනාගතය ගැන හිතන ආණ්ඩුවක් බිහි වී තිබෙන බවත් ණය තිරසරභාවය සහ ණය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමේ පවත්වාගෙන යමින් රටට අවශ්‍ය සංවර්ධනය උදාකර දීමට රජය කැපවී සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝමිටර් 18.7ක කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී (29) පස්වරුවේ පැවති ජන හමුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය අරමුදල් සහ දේශීය කොන්ත්‍රාත් සමාගම්වල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා රුපියල් බිලියන 112.44ක් වැය කිරීමට නියමිතය.

මංතීරු 04 කින් සමන්විත මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් 2029-05-28 දින අවසන් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම මේ වන විට සිදු කෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ පළමු අදියරේ ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අද මේ මුලපුරන්නේ මහනුවර දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරගත් ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියකටයි. මෙම ව්‍යාපෘතිය අපේ රටේ සමාජ ජීවිතය ඉහළ නැංවීම සඳහා ප්‍රබල පිටුවහලක් වෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අපේ අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යවරු, ලේකම්තුමා සහ අදාළ නිලධාරීන් විශාල වෙහෙසක් දරා කටයුතු කළා.

ඒ වගේම අපි දේශීය කොන්ත්‍රාත්කරුවන් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා උසස් ප්‍රමිතියෙන් සහ තාක්ෂණයෙන් යුතුව මෙහි වැඩකටයුතු නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කරනු ඇතැයි කියලා. ඩොලරයේ උච්චාවචනය සමඟ රට තුළ විශාල සංවාදයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුව බිඳ වැටෙයි, උපදෙස් ගන්න වගේ ඒවා කියනවා.

අපේ ආර්ථිකයේ ඇති විය හැකි අර්බුදයන් සහ ගමන් කළ යුතු දිශාව පිළිබඳව දැක්මක් සහ සැලැස්මක් ඇතිව අපි වැඩ කරමින් සිටිනවා. ඒ නිසා ඕනෑම මොහොතක ඇතිවන කුණාටුවක්, ඕනෑම මොහොතක ඇති විය හැකි අස්ථාවරභාවයක් ඉතා ඉක්මනින් යළි ස්ථාවරත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය වන ශක්තිමත් ආර්ථිකයක් අපිට අවශ්‍යයි.

අපි තවමත් ආර්ථිකයේ සියලු දිශාවල ශක්තින් එක් රැස් කරගෙන නොමැති බව සත්‍යයක්. අපිට අවශ්‍ය ආයෝජන අවශ්‍ය ප්‍රමාණයන් තවම කැඳවාගෙන නැහැ. නව තාක්ෂණය සමග වැඩ කළ හැකි දැනුම තිබෙන නව පරම්පාරවක් අපි තවම නිර්මාණය කරගෙන නැහැ.

ලෝකයේ වෙළෙඳපොළ ජයග්‍රහණය කළ හැකි ආර්ථික හැකියාවක් අපි තවමත් අත්පත් කරගෙන නැහැ. හැබැයි අපේ අභියෝගය සහ අපේක්ෂාව වන්නේ ඕනෑම කුණාටුවකට, ඕනෑම අර්බුදයකට මුහුණ දෙමින් නොසැලී සිටින ආර්ථිකයක් ගොඩනැගීමයි. දේශීය වශයෙන් ඇති වන ආර්ථික කම්පනයන්ට අද අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් මුහුණ දෙන්න පුළුවන්.

පසුගිය දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට මහා භාණ්ඩාගාරයෙන් කෝටි 50,000ක් වෙන් කිරීමට අපිට හැකියාව ලැබුණා. ලංකා ඉතිහාසයේ ව්‍යසනයක් හමුවේ වැඩිම මුදලක් වෙන් කළ පළමු අවස්ථාව මෙයයි.මේ අයුරින් අභ්‍යන්තර ව්‍යසනයන්ට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව අපිට ලැබී තිබෙනවා.

දේශීය වශයෙන් ඇති වන කම්පනයන්ට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ඇති වන කම්පනයන්ටත් ඔරොත්තු දිය හැකි මට්ටමට අපේ ආර්ථිකය ගෙන යා යුතුයි. බලවත් රාජ්‍යයන්ට සෙම්ප්‍රතිශ්‍යාවක් හැදු‍ණොත් අපිට නිවුමෝනියාව හැදෙනවා කියලා කියමනක් තිබෙනවා. එසේ නම් බලවත් රාජ්‍යවල ඇති වන ආර්ථික අර්බුදයක් අපිට විශාල ව්‍යසනයක් ගෙනවිත් දෙනවා කියලා.

බාහිර කම්පනයන්ට ඕනෑම අවස්ථාවක ඇති විය හැකියි. එවැනි තත්ත්වයකට ඔරොත්තුදීම සඳහා අපි ආර්ථිකය ගෙන යන්නේ කෙසේද.?අද අපි ආර්ථිකයේ වැදගත් සාධක විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙනවා. අපි අපේ ජාතික ආදායම දශක තුනකට පසු 16.7%ට ගෙන ආවා. මෙය වැදගත් තත්ත්වයක්.

ඒ හේතු කර ගෙන භාණ්ඩාගාරයේ අතිරික්ත මුදල් ප්‍රමාණයක් එක් වෙන්න පටන් ගත්තා. 2022, 2023 සමයේ භාණ්ඩාගාර ගිණුම පැවතුනේ බිලියන 800ක බැංකු අයිරාවකින්. භාණ්ඩාගාරයේ මුදල් නැහැ. ඒ නිසා බැංකුවලට පෞද්ගලික අංශයට, ව්‍යාපාරිකයන්ට ණය ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ. මුල්‍ය වෙළෙඳපොළ හැකිළීමට පටන් ගත්තා. හැබැයි අපි භාණ්ඩාගාර ගිණුම කෝටි 120,000ක ධන අතිරික්තයකට ගෙන ඒමට හැකි වුණා.

අද ආණ්ඩුව ප්‍රධාන ණය ලබා ගන්නා වෙනුවට පෞද්ගලික අංශයට ණය ලබා දෙනවා. 2024 බැංකු පද්ධතිය කර්මාන්ත සඳහා වෙන්කර තිබුණේ බිලියන 700යි. 2025 වසරේ පෞද්ගලික අංශයට බිලියන 2000ක් ණය ලබා දී තිබෙනවා. මෙය ආර්ථිකය ඉතා වේගයෙන් චලනය වීමේ ලක්ෂණයක්. මේ අප්‍රේල් මාසයේ පෞද්ගලික අංශයට බිලියන 250ක් ණය ලබා දී තිබෙනවා.

මෙය අර්ථිකයේ විශාල වැදගත් හැරවුමක්. ඒ වගේම 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස ට්‍රිලියන 02ක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අධිවේගී මාර්ගයට බිලියන 112ක් යනවා වසර තුනකට. ආසන්න වශයෙන් ගත්තොත් වසරකට බිලියන 35ක් වෙන් කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ කුරුණෑගල – දඹුල්ල මාර්ගයේත් වැඩ පටන් ගන්න, අපිට ඒ සඳහා මුදල් වෙන් කළ හැකියි කියලා.

ඒ වගේම දුම්රිය විද්‍යුත්කරණය සඳහා මුදල් වෙන් කළ හැකියි. මෙම වෙන් කරන මුදල් නිසි කාලයට වැය නොකිරීමේ ප්‍රශ්නයට අපි මුහුණ දෙනවා. ඒ නිසා ප්‍රමාදය හැම විටම ගාස්තුවක් වී තිබෙනවා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නිසි කාලය තුළ මෙය නිමා කළ යුතුමයි. අධිවේගී මාර්ග සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් අපි ඇති කරනවා.

බල ශක්තිය සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම්, දුම්රිය මාර්ග සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් අපි ගොඩනගනවා. එවැනි සැලසුම් සහගත දැක්මක් සහිත සංවර්ධන මාවතකට අපි දැන් ප්‍රවිෂ්ට වෙලා ඉන්නවා. ලංකාවේ පළමුවතාවට අනාගතය ගැන හිතන ආණ්ඩුවක් බිහිවෙලා තිබෙනවා.

අද අපි ණය ගන්නේ 2040දී අපිට ගෙවන්න පුළුවන්ද කියල බලලා. අපේ ණය ගැනීම් ජාතික නිෂ්පාදනයෙන් 4%ක සීමාවේ රඳවා ගන්න ඕන. ඊට වඩා ආර්ථිකයට මුහුණ දෙන්න බැහැ. අපි එවැනි ස්ථාවරයක ඉන්නවා. ඒ නිසා අද අපි ණය ගන්නේ 2035දීත්, 2040දීත් එම සීමාව ඉක්මවනවාද කියලා බලලා. එහෙම තමයි ණය තිරසරභාවය හදන්නේ.

එහෙම නැතුව එහෙන් අරන් මෙහෙන් අරන් රටක් හදන්න බැහැ. ණය කළමනාකරණය ප්‍රශස්ත මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය කරන සැලසුම් සමග අපි වැඩ කරමින් සිටිනවා. මේ ගමන් මාවත අපේ රටේ ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් කරා වැටී තිබෙන බව අපට විශ්වාසයි.”

රැවටෙන්න එපා.. පොලීසියෙන් උපදෙස් මාලාවක්

රැවටෙන්න එපා.. පොලීසියෙන් උපදෙස් මාලාවක්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නමින් රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට පවතින බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩ කෙරෙහි නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සයිබර් තර්ජන සම්බන්ධයෙන් පැමිණිලි රැසක් වාර්තා වී ඇති බවත් මෙවැනි නොමඟ යවන සුලු පණිවිඩ සහ සයිබර් තර්ජනවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද පොලිසිය මහජනතාවට උපදෙස් ලබාදී ඇත.

දිවයින පුරා නව ආදර්ශ නගර ඉදිකරයි

දිවයින පුරා නව ආදර්ශ නගර ඉදිකරයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය යටතේ සමාජීය සහ පාරිසරික වශයෙන් උසස් මට්ටමක පවතින, ඩිජිටල් සේවා පහසුකම් සහිත නව ආදර්ශ නගර (Model Cities) නිර්මාණය සඳහා සැලසුම් සකස් කරමින් පවතියි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් (28) ජනාධිපති කාර්යාලයේදී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කාර්යසාධක බලකාය රැස් වූ අවස්ථාවේදී ඒ පිළිබඳ වැදගත් තීරණ රැසකට එළැඹිණි.

මෙම නගර සංවර්ධන වැඩසටහන වඩාත් ප්‍රායෝගික සහ විද්‍යාත්මක පදනමකින් ක්‍රියාත්මක කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පූර්ණ තාක්ෂණික සහාය ලබා ගැනීමට එහිදී තීරණය විය.

මීට සමගාමීව, නගර නිර්මාණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිතුමිණි රත්නමලලගේ ප්‍රධානත්වයෙන්ද, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කාර්යසාධක බලකායේ ක්‍රියාකාරී සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන් සහ ක්ෂේත්‍රයේ විද්වතුන් කිහිප දෙනෙකුගෙන්ද යුතු විශේෂ විද්වත් කමිටුවක් පත් කෙරිණි.

මෙම ව්‍යාපෘතියේ මූලික අදියරේදී, ලෝකයේ සාර්ථක නගර නිර්මාණ ආකෘතීන් අධ්‍යයනය කර මෙම කමිටුව විසින් සකස් කරනු ලබන විද්‍යානුකූල මාර්ගෝපදේශ පදනම් කරගෙන, ආදර්ශ නගර කිහිපයක් ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට අපේක්ෂිතය. අනතුරුව, දිවයිනේ අනෙකුත් නගර නවීකරණය සඳහා වන විද්‍යාත්මක මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ආදර්ශ නගර ව්‍යාපෘතිය හුදෙක් භෞතික සංවර්ධනයට පමණක් සීමා නොවන අතර, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩපිළිවෙළෙහි මූලික අරමුණු අනුව යමින්, එම නගරවල වෙසෙන ජනතාව ආචාරධාර්මික වශයෙන් උසස් ප්‍රජාවක් බවට පත් කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කෙරේ.

ඒ අනුව, උසස් මානුෂීය සහ සමාජීය සාරධර්මවලින් අනූන, එකිනෙකාට ගරු කරන යහපත් නාගරික ප්‍රජාවක් ගොඩනැගීමට මෙන්ම, පරිසර හිතකාමී සංකල්ප මත පදනම් වූ, පිරිසිදු නාගරික පරිසරයක් නිර්මාණය කිරීමටද අපේක්ෂා කෙරේ.

එසේම, මහජනතාවට අවශ්‍ය සේවා කඩිනමින් සහ විනිවිදභාවයෙන් යුතුව ලබා දීම සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු පුළුල් ඊ-සේවා ජාලයක් නගරය තුළ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ. කැළිකසළ කළමනාකරණය, විද්‍යානුකුලව සහ ක්‍රමවත්ව සිදු කිරීමට උපදෙස් ලබා දීම සඳහා විද්වත් කමිටුවක් පත් කර, එම උපදෙස් දීපව්‍යාප්තව ක්‍රියාවේ යෙදවීමටද සැලසුම් කර තිබේ.

මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා බලධාරීන්ට මාර්ගෝපදේශ 

මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා බලධාරීන්ට මාර්ගෝපදේශ 

මේ දිනවල පැතිර යන මෙනින්ජයිටීස් නම් රෝගය පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත.

එම රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බැවින් මෙම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාසල් දැනුවත් කළ යුතු බව දන්වමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

සියලු රාජ්‍ය ආයතනවල දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක්

සියලු රාජ්‍ය ආයතනවල දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක්

රාජ්‍ය ආයතන පද්ධතිය ගුණාත්මක සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම උදෙසා “මහජන සේවා ප්‍රශස්තකරණයට බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network PIC-NET) පිහිටුවීමේ පළමු පියවර වශයෙන් රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් (27) කොළඹ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේදී (ICTA) පැවැත්විණ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද 3/2026 චක්‍රලේඛය අනුව ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු නිලධාරීන් අතරින් ” Champions Network” නියෝජනය කිරීමට ශක්‍යතාව සහ ධාරිතාව සහිත නිලධාරීන්ගේ අයදුම්පත් යොමු කරන ලෙස සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් විජේසූරිය මෙහිදී සඳහන් කළේ, මේ වන විට 3% ක මට්ටමක පවතින ලංකාවේ ඩිජිටල් ආර්ථික සවිබල ගැන්වීම 2030 වසර වනවිට 12% ක් දක්වා වර්ධනය කිරීම රජයේ අරමුණ බවයි.

ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් ආර්ථික ක්‍රියාකාරකම් සිදුකිරීම මඟින් ඒවායේ කාර්යක්ෂමතාවය, ගුණාත්මකභාවය සහ ආදායම් වර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගත් ක්‍රියාවලියක් බවද ඔහු පෙන්වා දුන්නේය.

සංවර්ධිත සෑම රාජ්‍යයකම ඩිජිටල් ආර්ථිකය ප්‍රසාරණය වී ඇති අන්දම පෙන්වා දුන් හාන්ස් විජේසුරිය ඩිජිටල් ආර්ථිකයේ මන්දගාමී වර්ධනය 3 වන ලෝකයේ රාජ්‍යයන් මුහුණ දෙන බරපතල අභියෝගයක් බවද සඳහන් කළේය. නමුත් ඉන්දියාව මේ වන විට ඩිජිටල් ආර්ථික සංවර්ධනය පිළිබඳ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් සිටින බවත්, ඒ හා සමගාමීව ලංකාවේ ඩිජිටල් ආර්ථිකය කැපී පෙනෙන තලයකට ඔසවා තැබීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම ඩිජිටල් ආර්ථික වර්ධනය රාජ්‍ය ආයතන සියල්ලකම පාහේ සමාන්තරව සිදුවිය යුතු ක්‍රියාවලියක් බවත්, ඒ අනුව ඉදිරි වසර තුනක පමණ කාලය තුළ බැංකු කටයුතු ජාලගතව සිදුවන ආකාරයටම රාජ්‍ය ආයතන අතර සියලු ගනුදෙනු සම්බන්ධීකරණය සහ මෙහෙයවීම සිදුවනු ඇති බවත් ආචාර්ය හාන්ස් විජේසූරිය පෙන්වා දෙන ලදී.

ඉදිරි වසර කිහිපය තුළ රටේ සියලු රාජ්‍ය ආයතනවල සිදුවන මෙම අති දැවැන්ත තාක්ෂණික පරිවර්තනය වෙනුවෙන් රාජ්‍ය ආයතනවල මෙන්ම රටේ සමස්ත පුරවැසියන්ගේ සහයෝගය ඉතාම වැදගත් බව ආචාර්‍ය හාන්ස් විජේසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය රනිල් පීරිස් PIC-NET වැඩසටහනේ මූලික පදනම සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කළේය.

අනාගතයේදී පුරවැසියන්ට නිවසේ සිටම විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම, බලපත්‍ර අලුත් කිරීම ආදී සේවාවන් සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වන බව පෙන්වා දුන් ඔහු එමගින් පුරවැසියන්ට එකම තොරතුර නැවත නැවත ලබා දීමට සිදු නොවන පද්ධතියක් ගොඩනැගීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දෙන ලදී.

ජනාධිපති කාර්යාලය, GovTech Sri Lanka සහ KPMG ආයතනයේ නියෝජිතයෝ මෙහිදී නිලධාරීන් තෝරා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලදී.

රාජ්‍ය අංශ ඩිජිටල්කරණය සඳහා වූ මෙම වැඩසටහනට අවශ්‍ය මඟපෙන්වීම සහ සම්බන්ධීකරණ සහය ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ගව්ටෙක් ශ්‍රී ලංකා ආයතනය (GovTech Sri Lanka) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය මත සිදු කෙරේ.

ඒකාබද්ධ සේවාවන්හි වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්

ඒකාබද්ධ සේවාවන්හි වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්

ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු විවිධ හේතූන් මත ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අදාළ නිලධාරීන් විසින් සිදුකර ඇති විමසීම් සැලකිල්ලට ගනිමින් මෙම උපදෙස් හා මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කළ ස්ථාන මාරු පටිපාටිය අනුව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය නිකුත් කරනු ලබයි.

මෙම වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය මඟින් නිලධාරීන්ට විවිධ සේවා ස්ථානවල සේවය කිරීමේ අවස්ථාව හිමිවන අතර එමඟින් නිලධාරීන්ගේ අභිප්‍රේරණය ඉහළ නැංවීම සහ ආයතනවල සේවා අවශ්‍යතා සපුරාලීම අපේක්ෂා කරයි.