Local news

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

තඹුත්තේගම, තලාව, ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි 91,810ක ජනතාවකට සෙත සැළසෙන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) දින පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.

චීන සංවර්ධන බැංකුව (CDB) ලබා දුන් සහන ණයක් යටතේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය 2022 මැයි මස සිට 2024 මැයි දක්වා කාල සීමාව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් අතරමග නැවතී තිබුණද, මෙහි ජාතික වැදගත්කම හඳුනා ගනිමින් ශ්‍රී ලංකා රජයේ අරමුදල්ද යොදා ගනිමින් වත්මන් රජය යටතේ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව නිම කෙරිණි.

ප්‍රදේශයේ ව්‍යාප්ත වී ඇති කාලීන වකුගඩු රෝගයට පිළියමක් ලෙස ඉදි කෙරුණු මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ප්‍රදේශයේ ජනතාවගේ සමාජ, ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමටද ඉවහල් වනු ඇත.

මෙමගින් නිවාස ඒකක 25,000ක් සඳහා නව ජල සම්බන්ධතා ලබා දීමට සැලසුම් කර තිබේ.

රුපියල් බිලියන 32ක ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු මම ව්‍යාපෘතිය දිනකට ඝන මීටර් 18,000ක ජල පවිත්‍රාගාරයකින්, ඝන මීටර් 1,500ක ධාරිතාවෙන් යුත් ජල කුලුනු 03කින්, කි.මි 12.75කින් යුත් ජල සම්ප්‍රේෂණ නළ මාර්ග පද්ධතියකින්, කි.මි 158කින් සමන්විත බෙදාහැරීම් ජල නළ පද්ධතියකින් සමන්විතය.

මෙහිදි අදහස් දැක්වූ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ,

“අද ජනාධිපතිතුමාගේ අතින් විවෘත වූ මේ තඹුත්තේගම ජල ව්‍යාපෘතියෙන් පවුල් ඒකක 25000කට පානීය ජලය සැපයීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 32ක් වැය වී තිබෙනවා. චීන සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කළ මේ ව්‍යාපෘතිය පසුගිය කාලයේ ආර්ථික අර්බුදය නිසා ගැටලු රැසක් ඇතිවී ඉදිකිරීම් අතරමග නැවතුන ව්‍යාපෘතියක්. අපි පසුගිය වසර දෙකේම අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණා. ගොවින් ඊට විරුද්ධව උද්ඝෝෂණය කළා. නමුත් අද මේ ව්‍යාපෘතිය විවෘත වන්නේ රාජාංගනය ගොවි නායකයන්ගේ ආශිර්වාදයත් සමඟයි. අද ඔවුන් මෙතනට සහභාගි වී සිටිනවා. ඔවුන් තමන්ගේ ඉල්ලීම් අපට ඉදිරිපත් කළා. අපි ඒවා ඉටු කරන්න සූදානම්.

එකක් තමයි මේ ව්‍යාපෘතියට ජලය ලබා ගැනීම නිසා රාජාංගනයේ ගොවියෝ කිසිවෙකුට ජල හිඟයක් ඇතිවෙන්න ඉඩ තියන්න එපා කියන එක. ස්ථිරවම කියනවා එක බිංදුවක්වත් ඒ ගැන සැකයක් තියාගන්න එපා. ගොවි ජනතාවට ජලය නොදී කෘෂිකර්මාන්තයට ජලය නොදී පානීය ජලය සඳහා පමණක් ජලය ලබා ගැනීම සිදු වන්නේ නැහැ. අපි මේ ජලය සම්පාදනය කරන්නෙත් ගොවි පවුල්වලට.”

මැගසින් බන්ධනාගාරයේ ගැටුමක්.. රැඳවියන් දෙදෙනෙක් රෝහලට

මැගසින් බන්ධනාගාරයේ ගැටුමක්.. රැඳවියන් දෙදෙනෙක් රෝහලට

අද (10) දින පස්වරුවේදී නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙකු අතර ගැටුමක් හටගෙන ඇත.

මෙම ගැටුමින් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇත.

අධිකරණ ඇමතිට එරෙහිව සජිත් ප්‍රමුඛ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

අධිකරණ ඇමතිට එරෙහිව සජිත් ප්‍රමුඛ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවකට අත්සන් කර ඇත.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අද (10) පාර්ලිමේන්තුවේදී අත්සන් තබා ඇත.

මීගමුව බන්ධනාගාරයේදී ඝාතනය වූ නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකීම සහ වගවීම ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.

මුහුදු කූඩැල්ලන් ජාවාරමක් – සැකකරුවන් 26ක් කොටු වෙයි

මුහුදු කූඩැල්ලන් ජාවාරමක් – සැකකරුවන් 26ක් කොටු වෙයි

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් 60,448කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රා 12ක් සහ සැකකරුවන් 26 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර එම ඩිංගි යාත්‍රා කිහිපයක් පරීක්ෂා කර ඇත.

එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ අදාළ මුහුදු කූඩැල්ලන් තොගය නාවික හමුදාව විසින් භාරයට ගෙන ඇත.

සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් කැඳවීමට නියෝග

සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් කැඳවීමට නියෝග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට සහාය පළකරමින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් අද (10) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවනු ලැබීය.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, ඇතුළු පාර්ශව කීපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණේය.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට සහාය පළකරමින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් සියල්ල ලබන (17) වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

එහිදී, මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීමට හැකියාව තිබෙන්නේ මුල් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය නොතීසි නිකුත් කරනු ලැබුවොත් පමණක් බව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළාය.

කෙසේ වෙතත්, මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනගේ කරුණු දැක්වීම් අවසන් වීමෙන් පසුව බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සදහන් කළේය.

බන්ධනාගාර ගැටුමෙන් පසු අස්ථානගත වූ ගිනි අවිය සොයාගනී

බන්ධනාගාර ගැටුමෙන් පසු අස්ථානගත වූ ගිනි අවිය සොයාගනී

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අනතුරුව අස්ථානගත වූ ගිනි අවිය සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එලෙස අස්ථානගත වූ ගිනි අවිය රිපිටර් වර්ගයේ ගිනි අවියක් වන එය බන්ධනාගාරය තුළ තිබී සොයාගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගියදා මීගමුව බන්ධනගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කණ්ඩායම් 02ක් අතර ඇති වූ ගැටුමත් සමග එම ගිනි අවිය අස්ථානගත විය.

මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හදිසියේම මාරු කරයි

මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හදිසියේම මාරු කරයි

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ඉසුරු නෙත්තිකුමාරව හදිසියේම හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ලෙස මාරු කර යවා ඇත.

මීට වසර කිහිපයකට පෙර හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ඉසුරු නෙත්තිකුමාර පසුව ගාල්ල සහ කොටුව යන අධිකරණවල මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කර තිබුණේය.

ඉසුරු නෙත්තිකුමාර කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ කාලසීමාව තුළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගය සහ රනිල් වික්‍රමසිංහගේ සංචාරය සම්බන්ධ නඩුව ඇතුළු ප්‍රමුඛ පෙළේ නඩු රැසක් විභාගයට ගනු ලැබුවෙිය.

අද දිස්ත්‍රික්ක රැසකට වැසි

අද දිස්ත්‍රික්ක රැසකට වැසි

අද (10) දින දිස්ත්‍රික්ක රැසකට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ඉරාන උත්තරීතර නායක කමේනිගේ දේහය මිහිදන් කෙරේ

ඉරාන උත්තරීතර නායක කමේනිගේ දේහය මිහිදන් කෙරේ

ඉරාන හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරාන ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය සහ අසල්වැසි ඉරාකයේ නගර කිහිපයක දින හයක් පුරා පැවැති මහජන ශෝක උත්සවයන්ගෙන් අනතුරුව අවසන් ආගමික කටයුතුවලින් පසුව මෙම මිහිදන් කිරීම සිදු කළේය.

ඉරාන හිටපු උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ටෙහෙරානය සහ කොම් නගරවල පැවැති අවමංගල්‍ය උත්සවවලට සහභාගි නොවූ අතර මෂ්හද්හි පැවැති මිහිදන් කිරීමේ අවස්ථාවටද ඔහු සහභාගි වූ බවට කිසිදු නිල තහවුරු කිරීමක් නොමැත.

ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක ජීවිතයෙන් සමුගනී

ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක ජීවිතයෙන් සමුගනී

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර ඇත.

ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මියයන විට 68 වියෙහි පසුවිය.