Local news

ගුවන් සමාගමේ නිලධාරියා මැරුවද.? අපි දන්නෑ.. අගමැති සිහිනය නිසා කෙළවුණා

ගුවන් සමාගමේ නිලධාරියා මැරුවද.? අපි දන්නෑ.. අගමැති සිහිනය නිසා කෙළවුණා

2029 වසරේදී නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාලනයක් යළි පිහිටුවීම තම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

පසුගිය කාලසීමාවේ තම දේශපාලන කඳවුර පසුබෑමකට ලක්වූයේ පක්ෂ අභ්‍යන්තරයේ ඇතැම් පිරිස් තුළ පැවති ‘අගමැති සිහිනය’ හේතුවෙන් බවද ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

ගුවන් සමාගමේ නිලධාරියගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් එම නිලධාරියා සියදිවි නසා ගත්තද.? මැරුවද.? අපි දන්නේ නැති බවද ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

එනිසා රජය විසින් සිදුකරන චෝදනා හමුවේ පුද්ගලයන්ට සමාජයට මුහුණ දිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

ඉන්දික අනුරුද්ධ තවදුරටත් සඳහන් කළේ,

“ඔබ තමුන්නාන්සේලා දන්නවා අර ගුවන් සමාගමේ එක නිලධාරියෙක් සියදිවි නසා ගත්තද.? මැරුවද.? අපි දන්නේ නෑ. මේ ආණ්ඩුවේ බොරු වල ප්‍රමාණය කොච්චරද කියනවනම් මේ මහපොළොවට ගෙනත් තියපු නැති ගුවන් යානයකට අල්ලස් ගත්තයි කියලා නඩු දාලා. අද මිනිස්සුන්ට සමාජයට මුහුණ දෙන්න බැරි කරලා තියෙනවා. මේ ආණ්ඩුව ගැන තියෙන අවිශ්වාසය හින්දා ජනතාව නැවත කඳවුරට ඒකරාශී වෙනවා.”

සියයක පිරිසක් සමග මහින්ද එන්න සූදානම්

සියයක පිරිසක් සමග මහින්ද එන්න සූදානම්

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එළැඹෙන (12) වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ලිපියක් මගින් දැනුම් දී තිබුණේය.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිදුකර තිබූ කැඳවීම පිළිගන්නා අතර අදාළ දිනයේදී ඒ සඳහා පෙනී සිටීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

එම ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළැඹෙන (12) වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

මේ අතර එළඹෙන (12) වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණෙන විට, එම ස්ථානයට සියයක පමණ පිරිසක් රැගෙන පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ජනප්‍රිය නළු විජේ මහ ඇමති ධුරයේ දිවුරුම් දෙයි

ජනප්‍රිය නළු විජේ මහ ඇමති ධුරයේ දිවුරුම් දෙයි

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයගත් (TVK) පක්ෂයේ නායක, ජනප්‍රිය නළු ජෝසප් විජේ චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී ආණ්ඩුකාරවරයා ඉදිරියේදී ප්‍රාන්ත මහ ඇමති ධුරයේ අද (10) දින දිවුරුම් දුන්නේය.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව ජය ගැනීමට ජෝෂප් විජේ සමත් වුවත් ඉන්දීය ප්‍රාන්ත බලය තහවුරු කරගැනීමට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සපුරා ගැනීමට ඔහුට නොහැකි විය.

ඒ අනුව ඉන්දීය ජාතික කොංග්‍රසය, VCK පක්ෂය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විජේගේ TVK පක්ෂය සමග එක්වීමත් සමගින් ඔහුට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සම්පූර්ණ විය.

කාලගුණය කැළඹෙයි.. පළාත් රැසකට තද වැසි

කාලගුණය කැළඹෙයි.. පළාත් රැසකට තද වැසි

අද (10) දින පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස (11) දින පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් කිහිපය තවත් දින දෙකක් වසා දමයි

පාසල් කිහිපය තවත් දින දෙකක් වසා දමයි

පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය හේතුවෙන් තවදුරටත් පාසල් කිහිපයක් වසා තැබීමට තීරණය කර ඇත.

ඒ අනුව සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ සඳහන් කළාය.

ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස හෙට (11) සහ අනිද්දා (12) දිනයේ වසා තැබීමට පියවර ගෙන ඇත.

කපිලගේ මරණය ගැන අරවින්දගෙන් ප්‍රකාශයක්

කපිලගේ මරණය ගැන අරවින්දගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

තවද කොළඹ අපරාධ කොට්ඨාශය අරවින්ද ද සිල්වාගේ බිරිඳගෙන් සහ එම නිවසේ සිටි තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අරවින්ද ද සිල්වාගේ බිරිඳ වන අනුෂ්කා විජේනායකගේ බාල සහෝදරියක වන නියෝමාලි විජේනායකගේ සැමියා වන්නේ කපිල චන්ද්‍රසේනයි.

මහජන සේවා සැපයීම කාර්යක්ෂම කිරීමට “PIC -Net” බලකායක්

මහජන සේවා සැපයීම කාර්යක්ෂම කිරීමට “PIC -Net” බලකායක්

රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස, රාජ්‍ය අංශය තුළ ආයතනික මට්ටමින් ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා “මහජන සේවා ප්‍රශස්තකරණය සඳහා බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network PIC-Net) ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙහි අරමුණ වන අතර, මේ පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරුන්, කොමසාරිස් ජනරාල්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් දැනුවත් කරනු ලැබ තිබේ.

PIC-Net වැඩසටහන යටතේ, තෝරාගත් සෑම රාජ්‍ය ආයතනයක්ම ඩිජිටල් යුගයේ සේවා විශිෂ්ටත්වය ප්‍රවර්ධනය සඳහා සාමුහිකව වගකියන නියමුවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමස්ත සේවක පිරිස අතරින් තෝරා පත්කර ගත යුතුය.

තාක්ෂණික භාවිතය, සේවා අත්දැකීම්, ක්‍රියාවලි කාර්යක්ෂමතාව සහ ආයතනික වෙනස්කම් යන අංශ ඒකාබද්ධව හා මනා සම්බන්ධීකරණයකින් වැඩිදියුණු කිරීමට මෙම කණ්ඩායම සාමුහිකව කටයුතු කරනු ඇත.

මෙම නියමුවන් ඔවුන්ගේ ආයතන තුළ ක්‍රියාවට නැංවෙන ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියෙහි කේන්ද්‍රීය බලවේගය ලෙස කටයුතු කරනු ඇති අතර, මෙම වැඩසටහන මගින් රාජ්‍ය අංශය පුරා විසිරුණු 400 දෙනෙකුගෙන් පමණ සමන්විත ඩිජිටල් පරිවර්තන නියමුවන්ගේ ජාතික කණ්ඩායමක් නිර්මාණය වේ.

තෝරාගනු ලබන නියමුවන්ට ඩිජිටල් පරිවර්තනය, සේවා ප්‍රතිසැලසුම්කරණය, ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, වෙනස්කම් කළමනාකරණය ආදී කරුණු පිළිබඳ ප්‍රායෝගික කුසලතා ගොඩනැංවීම සඳහා විධිමත් පුහුණුවක් ලබා දීම, ප්‍රායෝගික වැඩමුළු පැවැත්වීම සහ විශේෂඥ මගපෙන්වීම් ලබා දීම ආදිය සිදු කෙරෙනු ඇත.

මෙම නියමුවන් ඩිජිටල් පරිවර්තනය සඳහා වන ආයතනික කේන්ද්‍රීය නිලධාරීන් ලෙස වැඩසටහනේ ක්‍රියාත්මක කාල සීමාවෙන් ඔබ්බට ක්‍රියා කරමින්, ආයතන තුළ සහ ආයතන අතර දැනුම් හා අත්දැකීම් බෙදා ගැනීම හා අඛණ්ඩව වර්ධනය සඳහාද සක්‍රියව සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සමස්ත ක්‍රියාවලිය තුළ අවශ්‍ය මඟපෙන්වීම සහ සම්බන්ධීකරණ සහාය ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka ආයතනය එක්ව ලබා දෙනු ඇත. ආසියානු සංවර්ධන බංකුවේ (ADB) සහාය ඇතිව වැඩසටහනේ කළමනාකරණ උපදේශකයින් පත් කරනු ලැබ ඇති අතර ආයතන ප්‍රධානීන් විසින් යෝජනා කරනු ලබන නියමුවන් තේරීමේ ක්‍රියාවලිය සඳහාද ඔවුන් සහාය වනු ඇත.

කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත

කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳ නිශ්චිතව සොයාගැනීම සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇත. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී (08) දින උදෑසන හමුවිය.

මේ අතර කපිල චන්ද්‍රසේනගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්නගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කර ඇත.

සලේගේ අවදානම් ජීවිතය ගැන විමල් කියයි

සලේගේ අවදානම් ජීවිතය ගැන විමල් කියයි

වත්මන් රජයේ ක්‍රියාමාර්ග හේතුවෙන් රටවැසියන් සහ ඉහළ නිලධාරීන් ඉතා අනාරක්ෂිත මානසිකත්වයකට ඇද දමා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ වැනි පුද්ගලයකුට පවා අද පවතින දේශපාලන වාතාවරණය තුළ සිය ජීවිතය පිළිබඳ බරපතල අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවද විමල් වීරවංශ සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂවරයාගේ මරණය මෙන්ම මෑතකදී වාර්තා වූ සිදුවීම් පිළිබඳවද සමාජය තුළ බරපතල සැකයක් පවතින බවද විමල් වීරවංශ සඳහන් කරයි.

යම් පුද්ගලයෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වූ පමණින් සියදිවි නසාගැනීමට පෙළඹෙන්නේ නැති බවත් නීතිය පසිඳලීමේ ක්‍රියාවලිය නිවැරදිව හා සාධාරණව ඉටු වන්නේ නම්, විමර්ශන පවතින අතරතුර සියදිවි නසාගැනීම් වාර්තා වීමට ඉඩක් නොමැති බවද විමල් වීරවංශ සඳහන් කරයි.

එහෙත් රජය දේශපාලන අරමුණු වෙනුවෙන් පුද්ගලයන් දඩයම් කිරීමට උත්සාහ කරන බවත් මෙවැනි වාතාවරණයක් තුළ සුරේෂ් සලේ වැනි අයෙකුට ඇප ලබා දුන්නද, ඉන් අනතුරුව ඔහුට කුමක් සිදු වනු ඇතිද යන්න පිළිබඳව බරපතල සැකයක් පවතින බවද විමල් වීරවංශ සඳහන් කරයි.

මහින්දට අත තියලා ආණ්ඩුව වැඩ වරද්ද ගන්නවා

මහින්දට අත තියලා ආණ්ඩුව වැඩ වරද්ද ගන්නවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දේශපාලන දඩයමක් දියත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම්, ඊට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මීළඟ අරගලය කුමක්දැයි ආණ්ඩුවට බලාගත හැකි බව මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සඳහන් කරයි.

ආණ්ඩුවේ වැරදි හෙළි කරන හෝ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස සිටින පුද්ගලයන් අසාමාන්‍ය ලෙස මියයෑමේ ප්‍රවණතාවක් පවතින බවත් කන්ටේනර් 323 වංචාව සහ භාණ්ඩාගාර වංචා වලට අදාළ පුද්ගලයන්ගේ මරණ මීට නිදසුන් බවද මනෝජ් ගමගේ සඳහන් කරයි.

අල්ලස් කොමිසම පැලවත්තේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන බවත් ස්වාධීන කොමිසමක් ලෙස මහජන මුදල් කොල්ලකෑ සැබෑ වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසට බලධාරීන්ට අභියෝග කරන බවද මනෝජ් ගමගේ සඳහන් කරයි.

රාජපක්ෂලාගේ කිසිදු හොරකමක් ඔප්පු කර ගැනීමට නොහැකිව ආණ්ඩුව අන්ත අසරණ වී සිටින බවත් මහින්ද රාජපක්ෂට අත තැබීමට උත්සාහ කරමින් ආණ්ඩුව වරද්දා නොගත යුතු බවද මනෝජ් ගමගේ සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් (09) දින මනෝජ් ගමගේ මේ බව සඳහන් කරයි.