Local news

මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා බලධාරීන්ට මාර්ගෝපදේශ 

මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා බලධාරීන්ට මාර්ගෝපදේශ 

මේ දිනවල පැතිර යන මෙනින්ජයිටීස් නම් රෝගය පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත.

එම රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බැවින් මෙම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාසල් දැනුවත් කළ යුතු බව දන්වමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

සියලු රාජ්‍ය ආයතනවල දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක්

සියලු රාජ්‍ය ආයතනවල දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක්

රාජ්‍ය ආයතන පද්ධතිය ගුණාත්මක සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම උදෙසා “මහජන සේවා ප්‍රශස්තකරණයට බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network PIC-NET) පිහිටුවීමේ පළමු පියවර වශයෙන් රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් (27) කොළඹ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේදී (ICTA) පැවැත්විණ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද 3/2026 චක්‍රලේඛය අනුව ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු නිලධාරීන් අතරින් ” Champions Network” නියෝජනය කිරීමට ශක්‍යතාව සහ ධාරිතාව සහිත නිලධාරීන්ගේ අයදුම්පත් යොමු කරන ලෙස සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් විජේසූරිය මෙහිදී සඳහන් කළේ, මේ වන විට 3% ක මට්ටමක පවතින ලංකාවේ ඩිජිටල් ආර්ථික සවිබල ගැන්වීම 2030 වසර වනවිට 12% ක් දක්වා වර්ධනය කිරීම රජයේ අරමුණ බවයි.

ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් ආර්ථික ක්‍රියාකාරකම් සිදුකිරීම මඟින් ඒවායේ කාර්යක්ෂමතාවය, ගුණාත්මකභාවය සහ ආදායම් වර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගත් ක්‍රියාවලියක් බවද ඔහු පෙන්වා දුන්නේය.

සංවර්ධිත සෑම රාජ්‍යයකම ඩිජිටල් ආර්ථිකය ප්‍රසාරණය වී ඇති අන්දම පෙන්වා දුන් හාන්ස් විජේසුරිය ඩිජිටල් ආර්ථිකයේ මන්දගාමී වර්ධනය 3 වන ලෝකයේ රාජ්‍යයන් මුහුණ දෙන බරපතල අභියෝගයක් බවද සඳහන් කළේය. නමුත් ඉන්දියාව මේ වන විට ඩිජිටල් ආර්ථික සංවර්ධනය පිළිබඳ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් සිටින බවත්, ඒ හා සමගාමීව ලංකාවේ ඩිජිටල් ආර්ථිකය කැපී පෙනෙන තලයකට ඔසවා තැබීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම ඩිජිටල් ආර්ථික වර්ධනය රාජ්‍ය ආයතන සියල්ලකම පාහේ සමාන්තරව සිදුවිය යුතු ක්‍රියාවලියක් බවත්, ඒ අනුව ඉදිරි වසර තුනක පමණ කාලය තුළ බැංකු කටයුතු ජාලගතව සිදුවන ආකාරයටම රාජ්‍ය ආයතන අතර සියලු ගනුදෙනු සම්බන්ධීකරණය සහ මෙහෙයවීම සිදුවනු ඇති බවත් ආචාර්ය හාන්ස් විජේසූරිය පෙන්වා දෙන ලදී.

ඉදිරි වසර කිහිපය තුළ රටේ සියලු රාජ්‍ය ආයතනවල සිදුවන මෙම අති දැවැන්ත තාක්ෂණික පරිවර්තනය වෙනුවෙන් රාජ්‍ය ආයතනවල මෙන්ම රටේ සමස්ත පුරවැසියන්ගේ සහයෝගය ඉතාම වැදගත් බව ආචාර්‍ය හාන්ස් විජේසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය රනිල් පීරිස් PIC-NET වැඩසටහනේ මූලික පදනම සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කළේය.

අනාගතයේදී පුරවැසියන්ට නිවසේ සිටම විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම, බලපත්‍ර අලුත් කිරීම ආදී සේවාවන් සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වන බව පෙන්වා දුන් ඔහු එමගින් පුරවැසියන්ට එකම තොරතුර නැවත නැවත ලබා දීමට සිදු නොවන පද්ධතියක් ගොඩනැගීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දෙන ලදී.

ජනාධිපති කාර්යාලය, GovTech Sri Lanka සහ KPMG ආයතනයේ නියෝජිතයෝ මෙහිදී නිලධාරීන් තෝරා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලදී.

රාජ්‍ය අංශ ඩිජිටල්කරණය සඳහා වූ මෙම වැඩසටහනට අවශ්‍ය මඟපෙන්වීම සහ සම්බන්ධීකරණ සහය ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ගව්ටෙක් ශ්‍රී ලංකා ආයතනය (GovTech Sri Lanka) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය මත සිදු කෙරේ.

ඒකාබද්ධ සේවාවන්හි වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්

ඒකාබද්ධ සේවාවන්හි වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්

ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු විවිධ හේතූන් මත ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අදාළ නිලධාරීන් විසින් සිදුකර ඇති විමසීම් සැලකිල්ලට ගනිමින් මෙම උපදෙස් හා මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කළ ස්ථාන මාරු පටිපාටිය අනුව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය නිකුත් කරනු ලබයි.

මෙම වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය මඟින් නිලධාරීන්ට විවිධ සේවා ස්ථානවල සේවය කිරීමේ අවස්ථාව හිමිවන අතර එමඟින් නිලධාරීන්ගේ අභිප්‍රේරණය ඉහළ නැංවීම සහ ආයතනවල සේවා අවශ්‍යතා සපුරාලීම අපේක්ෂා කරයි.

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට නියෝගයක්

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට නියෝගයක්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද (29) දින අවසන් කෙරිණි.

අනතුරුව නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුලි මස (07) වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

බැසිල්ට තවත් නඩුවක්.. වහාම අත්අඩංගුවට ගන්න නියෝග

බැසිල්ට තවත් නඩුවක්.. වහාම අත්අඩංගුවට ගන්න නියෝග

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරන කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, එහි සභාපති භාෂ්වර ගුණරත්න, කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර්, ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නීතිපති උපදෙස් මත පොදුදේපොළ පනත යටතේ සැකකරුවන් ලෙස නම් කරන බව අද (29) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මොසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

එම සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචිව සිටින ස්ථාන වලට ගිය නමුත් එම ස්ථානවල ඔවුන් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

අනතුරුව සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට නියෝග කළේය.

පැවිදි වෙන්න ආසාවෙන් පන්සලට ආ 14 හැවිරිදි දරුවා අපයෝජනය කළ භික්ෂුවට දුන් දඬුවම

පැවිදි වෙන්න ආසාවෙන් පන්සලට ආ 14 හැවිරිදි දරුවා අපයෝජනය කළ භික්ෂුවට දුන් දඬුවම

14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු පැවිදිවීම සඳහා විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව එදින රාත්‍රියේම එම දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 65 හැවිරිදි භික්ෂුවකට වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

තඹුත්තේගම, හුරිගස්වැව, තලාකොළවැව ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමාධිපති මුල්ලේරියාවේ විමලතිස්ස නමැති 65 හැවිරිදි හිමි නමකට මෙලෙස වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

අදාළ භික්ෂුවට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා 3ක් ගොනු කර තිබූ අතර භික්ෂුව එකී අධිචෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විත්තිකාර හිමිනමට එම දඬුවම නියම කළේය.

වින්දිත බාලවයස්කාර දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන ලෙසටත් එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියහොත් විත්තිකාර භික්ෂුවට තවත් මාස 6ක සිර දඩුවමක්ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

විත්තිකාර හිමිනමට පළමු චෝදනාවට රුපියල් 5000ක්, දෙවන සහ තුන්වන චෝදනාවලට රුපියල් 15,000 බැගින් දඩ ගෙවන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් චෝදනා 3ට වෙන් වෙන් වශයෙන් තවත් මාස 4 බැගින් සිර දඬුවම් නියම කළේය.

ඒ අනුව එක් අධිචෝදනාවකට දස වසර බැගින් වෙන් වෙන් වශයෙන් මෙම 30 වසරක සිර දඬුවම නියම කළේය.

එහිදී තම සේවාදායක විත්තිකාර හිමිනම විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන අයෙකු බව මහාධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත 30 වසරක සිර දඬුවම දස වසරකින් එක් වර ගෙවී යා යුතු බවට නියම කළේය.

රට ගොඩගන්න රනිල් සූදානම්.. මාසයකින් සුවය ලබා නැවතත් එනවා

රට ගොඩගන්න රනිල් සූදානම්.. මාසයකින් සුවය ලබා නැවතත් එනවා

සැත්කමකින් පසුව වෛද්‍ය උපදෙස් මත මාස තුනක විවේක කාලයක් ගත කරන රනිල් වික්‍රමසිංහ තව මාසයකින් පමණ සම්පූර්ණයෙන්ම සුවය ලබා නැවත සක්‍රීය දේශපාලන කරලියට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

දැනටමත් ඒකාබද්ධ විපක්ෂය සහ විවිධ පිරිස් ඔහුව මුණගැසී උපදෙස් ලබාගන්නා බවත් රට ආර්ථික වශයෙන් අමාරුවේ වැටෙන විට මිනිසුන්ට රට ගොඩනැඟූ නායකයාව මතක් වීම සාධාරණ බවද සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

එහෙත් පාර්ලිමේන්තු පැමිණීමට රනිල් වික්‍රමසිංහට කිසිදු හදිස්සියක් නොමැති අතර රටටම එතුමාව අත්‍යවශ්‍ය වන බරපතළ මොහොතක් උදාවුවහොත් එම වගකීම පැහැර හැරීමට ඔහු සූදානම් නැති බවද සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

ආණ්ඩුවේ ප්‍රබලතම සාමාජිකයෙකු විසින් රනිල් වික්‍රමසිංහට වෙත දුරකථන ඇමතුමක් ලබාදී සාකච්ඡාවක් පවත්වා ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු වල සත්‍යයක් පවතින බවද සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

රූපවාහිනි නාලිකාවක (28) පැවති දේශපාලන වැඩසටහනකදී සමන් රත්නප්‍රිය මේ බව සඳහන් කරයි.

ප්‍රවාහන හා මහාමාර්ග ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන හා මහාමාර්ග ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහිව තීන්දුවක් ලබාදී ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුම්වත් කර ඇති බවත් ලේකම් ධුරයෙන් ඉවත් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

ඉන්ධන මිල වැඩි කරයි.?

ඉන්ධන මිල වැඩි කරයි.?

මාර්තු සහ අප්‍රේල් මාසයන්ට සාපේක්ෂව මේ වන විට ඉන්ධන මිල ගණන්වල යම් අඩුවීමක් පෙන්නුම් කරන නමුත් මැදපෙරදිග යුද්ධයට පෙර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පැවැති මිලට වඩා වැඩි මිලකට තවදුරටත් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

එනිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ඉදිරියේදී මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනයේදී  මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ,

“ලෝක වෙළෙඳපොළේ තිබුණා ඉතාම ඉහළ මිලක්. නමුත් මේ මිල මේ වෙනකොට පහළ මට්ටමකට ඇවිත් තියෙනවා. නමුත් අපි ගත්තොත් යුද්ධය ආරම්භයට පෙර තිබුණ මිලට වැඩිය වැඩි මිලක තමයි තාමත් ලෝක වෙළෙඳපොළේ මිල තියෙන්නේ.

ඒ නිසා පැහැදිලිව කියන්න පුළුවන් මිල අඩුවීමක් වෙන්නේ නම් නෑ කිසිසේත්ම. මේ මාසයේ හෝ ඊළඟ මාසයේ. බොහෝ දුරට සැප්තැම්බර් වෙනකන් මිලේ අඩුවීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් වැඩි වීමක් තියෙනවාද කියන එක මේ වෙනකොට අපිට කියන්න පුළුවන් කමක් නෑ.

අපි ඒක මේ වෙනකොටත් අධ්‍යනය කරමින් ඉන්නේ. අද හවස් වෙද්දි තමයි ජාත්‍යන්තර මිල ප්‍රකාශයට පත් කරන්නේ. ඒ මිලත් බලලා සාමාන්‍යයෙන් අපි (31) වැනිදා තමයි මිල ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් මෙවර (31) ඉරිදා දිනයක් නිසා. අද හවස වෙද්දි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල කොහොමද කියලා ප්‍රකාශයට පත් වෙනවා අද දවසට අනුව. ඒ සියල්ල බලලා ඒ සම්බන්ධව තීරණයක් ගන්නවා.”

‘මහ බැංකුව පොල් ගෑවද’ අපි ඉගෙන ගත්තු තිත්ත පාඩම

‘මහ බැංකුව පොල් ගෑවද’ අපි ඉගෙන ගත්තු තිත්ත පාඩම

ඩොලරය ස්ථාවර කිරීමට මහ බැංකුව යෙදුවේ තාවකාලික පිළියම් බවත් විනිමය, පොලී අනුපාතිකය සහ උද්ධමනයත් ස්ථාවර කිරීමේ වගකීමේ තිබෙන්නේ මහ බැංකුවට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

එවැනි පසුබිමක නූල කැඩුණු සරුංගලේ වගේ රුපියල පාවෙන තුරු මහ බැංකුව පොල් ගෑවාද කියලා ප්‍රශ්න කිරීමට සිදුවන බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල සඳහන් කළේ,

“විනිමය අනුපාතිකය, පොලී අනුපාතිකය වගේම උද්ධමනයත් ස්ථාවර කිරීමේ වගකීමේ තිබෙන්නේ මහ බැංකුවට. එවැනි පසු බිමක නූල කැඩුණු සරුංගලේ වගේ රුපියල පාවෙන තුරු මහ බැංකුව පොල් ගෑවාද කියලා අපට ප්‍රශ්න කරන්න වෙනවා.

මහ බැංකුව මුල් අවස්ථාවේම විදේශ විනිමය අනුපාතය පාලනය කරන්න මැදිහත් නොවුණු නිසා  අවසානයේ ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයකින් අපේ විදේශ විනිමය සංචිතය අඩු කර ගන්න වුණා කියන චෝදනාව අපි කරනවා.

ඒ වගේම මහ බැංකුව බලහත්කාරයෙන් විනිමය අනුපාතය පහත තියා ගන්න උත්සාහ කළොත් ඒකෙන් වෙන්නේ දැවැන්ත කළු වෙළෙඳපොළක් නිර්මාණය වීමයි කියන එක තමයි 2022 දී අපි ඉගෙන ගත්තු තිත්ත පාඩම.”