Local news

kW 132,000 රන්දෙණිගල රැහන් පද්ධතිය කඩා වැටෙයි.. බලාගාර නැවැත්වීමට තීරණයක්.!

kW 132,000 රන්දෙණිගල රැහන් පද්ධතිය කඩා වැටෙයි.. බලාගාර නැවැත්වීමට තීරණයක්.!

කිලෝවෝට් 132,000ක ධාරිතාවයෙන් යුත් රන්දෙණිගල, රන්ටැඹේ, මහියංගනය අතර ඇති රැහැන් මාර්ගයද මේ වන විට කඩා වැටී අතර එය යථා තත්ත්වට පත් කිරීම සඳහාද ළඟා විය නොහැකි මට්ටමක් දක්වා පැමිණ ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා පවසයි.

පවතින අයහපත් කාලගුණය හමුවේ මේ වනවිට සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

තවද පවතින තත්ත්වය යටතේ කොත්මලේ ජල විදුලි බලාගාරය සහ රන්ටැඹේ ජල විදුලි බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

අද (28) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ පවතින තත්ත්වය හමුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමද දුෂ්කර කාර්යක් වී ඇති බවය.

එම විදුලි විසන්දි වීම් යටතේ නැගෙනහිර, මධ්‍යම, උතුරු පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් විසන්දි වීම් වාර්තා වී ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා,

“ඒ රැහැන් මාර්ගයේ කුළුනක් කඩාගෙන ගිහින් තියෙනවා. එක අලුත්වැඩියා කරනකන් අපිට මහියංගනය, අම්පාර, වවුනියාව ප්‍රදේශවලට විදුලි සැපයීම අපහසුවෙලා තියෙනවා. තවම ටවර් එක වතුරෙන් යටවෙලා තියෙන්නේ ඒ නිසා අලුත්වැඩියා කරගන්න බැහැ අපිට. මීට අමතරව බෝවතැන්න බලාගාරයේ ඉඳලා උකුවෙල දක්වා දිවෙන රැහැන් මාර්ගයේත් කුළුනක් ගැලවිලා ගිහින් තියෙනවා. මේ නිසා බෝවතැන්නෙන් පිටවන ජලය පිටකර ගන්න බැරි නිසා බෝවතැන්න බලාගාරයත් ආරක්ෂිතව තියාගන්න ඕන නිසා විදුලිය විසන්දි කරලා තියෙනවා. මීට අමතරව ඉහළ කොත්මලේ බලාගාරය ඕෆ් කරන්න වෙලා තියෙනවා හේතුව ඒකට එන ජලය මඩ සහිත සහ රෙඩු ගොඩක් එක්ක එන්නේ ඒ නිසා ඒ පවර්ස්ටේෂන් එකත් ඕෆ් කරන්න වෙලා තියෙනවා. 

මේ වගේම කොත්මලේ බලාගාරයේ ජෙනරේටර්ස් තුනෙන් එකක් අපිට ඕෆ් කරන්න වුණා වතුර කාන්දුවක් හේතුවෙන් අනිත් දෙක මේ වන විට ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව අනෙකුත් සියලුම බලාගාර මේ වෙනකොට උපරිමයෙන් වැඩ කරනවා. මීට අමතරව රන්ටැඹේ බලාගාරයත් අපිට ඕෆ් කරන්න වෙලා තියෙනවා. 

25%-30% ක ප්‍රමාණයකට මේ වෙනකොට විදුලිය නැහැ.  නමුත් මේක අපිට හරියටම ගණනය කරගන්න බැහැ මොකද අපි හැමෝම යම් යම් ප්‍රදේශ ආශ්‍රිතව කොටුවෙලා ඉන්නේ. ඒ වගේම නුවර ගත්තාම අපේ ප්‍රාථමික උප පොළක් තියෙනවා ගැටඹේ පන්සල කිට්ටුව ඒක සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙලා තියෙන්නේ. ඒ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාල ප්‍රදේශයට සහ නුවර නගරය ප්‍රදේශයට විදුලිය සැපයීම කරගන්න බැරි වෙලා තියෙනවා. 

ඒ වගේම අපි තවත් රැහැන් මාර්ග කිහිපයක්ම අපි ඕෆ් කරලා තියෙනවා. මොකද රැහැන් මාර්ග ජලයට කාන්දු වීමක් සිදුවුණොත් ජීවිත අනතුරු වෙන්න පුළුවන්, අපේ උපකරණවලට හානි වෙන්න පුළුවන් ඒ නිසා අපිට මහජන ආරක්ෂාව පතා විදුලිය විසන්දි කරන්න වෙලා තියෙනවා.

අපි මේ වෙලාවේ තනිකර යොදවලා තියෙන්නේ විදුලි අලුත්වැඩියාව සඳහා. අපි මේ වෙලාවේ සලකා බලන්නෙත් අත්‍යවශ්‍ය ස්ථාන සඳහා විදුලිය සැපයීම ප්‍රමුඛතාව යටතේ. ඉන් අනතුරුව තමා අපිට ගෘහස්තයින් සම්බන්ධව බලන්න වෙන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ සමහර ප්‍රමාදයන් සිදුවේවි අපිට ප්‍රමුඛතාවයන් මත තමා විදුලිය සැපයීම් සිදුකරන්න වෙන්නේ. අපිට ලක්ෂ 70ක් පාරිභෝගිකයින් ඉන්නවා. මේ වෙනකොට විශාල පාරිභෝගිකයින් ප්‍රමාණයකට විදුලිය සැපයීම අහිමි වෙලා තියෙනවා. මේවා අලුත්වැඩියා කරන්න වතුර තත්ත්වය බැහැලා යනකන් ඉන්න වෙනවා.”

ගම්පහ නගරයට ගංවතුර අනතුරු ඇඟවීමක්.!

ගම්පහ නගරයට ගංවතුර අනතුරු ඇඟවීමක්.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉදිරි පැය 6ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීමට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම නගරයේ වෙළෙඳසැල් හිමිකරුවන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින සඳහන් කරයි.

මව පියා දරුවන් මතට ගසක් කඩා වැටීමෙන් පියා ජීවිතක්ෂයට.!

මව පියා දරුවන් මතට ගසක් කඩා වැටීමෙන් පියා ජීවිතක්ෂයට.!

අධික සුළං සමඟ යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩා වැටී එකම පවුලේ හතරක් යට වී ඇත.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතිලිවැව මහආරගම ප්‍රදේශයේ දී අද (28) උදෑසන එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි යතුරුපැදියක් මතට මෙලෙස ගස කඩා වැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

අනතුරට ලක්වූවන් කඩිනමින් මුදාගෙන රෝහල් ඇති අතර පසුව පියා මියගොස් ඇත.

තුවාල ලැබූ මව දියණිය සහ පුත්‍රයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වැඩිදුර සඳහන් වෙයි.

හසලක නායයෑමකින් 08ක් ජීවිතක්ෂයට.. 09ක් අතුරුදන්.!

හසලක නායයෑමකින් 08ක් ජීවිතක්ෂයට.. 09ක් අතුරුදන්.!

හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 08දෙනෙකු මියගොස් තවත් 09දෙනෙකු අතුරුදන්ව තිබේ.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බව වාර්තා වෙයි.

මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස පෙළක් නායයෑමකට ලක්ව තිබේ.

දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා සදහන් කළේ නිවාස 05ක් මෙලෙස නායයෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව එම නිවෙස්වල සිටි පුද්ගලයින් අතුරුදන්වී සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් එකට වැඩ කරමු.!

මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් එකට වැඩ කරමු.!

මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කාර්යක්ෂම කටයුතු කරමු’යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ට පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමඟ අද (28) ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුලස්ථානයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

රට තුළ මතුව ඇති අවදානම් තත්ත්වය සහ මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කළ අතර ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ඔවුහු ප්‍රකාශ කළහ.

විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මුදල් කිසිදු බාධාවක් නොවන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදා කළමනාකරණ දිස්ත්‍රික් කමිටු මේ වන විට කැඳවා තිබෙන අතර, දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශතාව පරිදි වැය කිරීමට මුදල් ප්‍රමාණයක් නිදහස් කර තිබෙන බවත්, කිසිදු චක්‍රලේඛයක් එම මුදල් වැය කිරීමට බාධාවක් ඇති නොකරන බවත්, එසේ බාධාවක් වන අවස්ථාවන් තිබේ නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ එකඟතාව ඇතිව එම මුදල් වැය කිරීමට දැනුම් දී තිබෙන බවත් පැවසීය.

මේ අතර සහන සේවා කණ්ඩායම්වලට ළගා විය නොහැකි ස්ථානවල සිරවී සිටින ජනතාව මුදා ගැනීම වෙනුවෙන් අවශ්‍ය හෙලිකොප්ටර් යානා යොමු කර ජනතාව මුදා ගැනීමේ කටයුතු සිදු කෙරෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය නම් හෙලිකොප්ටර් පහසුකම් ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ වන විට එකඟතාව පළ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්ෂිත කඳවුරු වෙත පැමිණ සිටින ජනතාව, තම නිවෙස්වල රැඳී සිටින ජනතාව සහ නිවාසවලින් පිට වෙනත් ස්ථානවල සිටින ජනතාව වෙනුවෙන් අවශ්‍ය පිසු ආහාර, සෞඛ්‍ය පහසුකම් ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම මේ වන විට සිදු කෙරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා තම දිස්ත්‍රික්කවල සහන සේවා ළගා නොවන ස්ථාන තිබේ නම් ඒ පිළිබඳ වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත තොරතුරු ලබා දෙන ලෙසද මහජන නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම බස්නාහිර පළාත තුළ වර්ධනය වෙමින් පවතින අවදානම් සහගත තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය වැඩසටහන් මේ වන විට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තම දිස්ත්‍රික්කවල පවතින තත්ත්වය සහ අවශ්‍යතා පිළිබඳව මෙහිදී මහජන නියෝජිතයෝ වැඩිදුරටත් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීහු ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයෝද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු ඇතුළු අමාත්‍යාශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහුද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනතාව මුදා ගැනීමට ඉන්දීය හෙලිකොප්ටර් යානා.!

ජනතාව මුදා ගැනීමට ඉන්දීය හෙලිකොප්ටර් යානා.!

දිවයින පුරා පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ජනතාව මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා ලබාදීමට ඉන්දියාව සිය කැමැත්ත පළ කර ඇත.

ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාව මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන් කරයි.

ගුවන්යානා ප්‍රවාහනය කරනු ලබන ඉන්දීය නෞකාවක් මේ වනවිට කොළඹ වරාය තුළ නැංගුරම්ලා ඇති අතර එම නෞකාවේ ඇති හෙලිකොප්ටර් යානා මේ සඳහා ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ඉතිහාසයේ මෙතෙක් ඇති නොවුණු ආකාරයේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක්.!

ඉතිහාසයේ මෙතෙක් ඇති නොවුණු ආකාරයේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක්.!

කැලණි ගංඟා ද්‍රෝණියට ඉතිහාසයේ මෙතෙක් ඇති නොවුණු ආකාරයේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම රතු නිවේදනය අද (28) සවස 1.00ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 තුළ මෙම තත්ත්වය ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ තැන්වලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එනිසා ජීවිත ආරක්ෂා කරගැනීමට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් උපරිමයෙන් ආරක්ෂිත ස්ථානයන් කරා හැකි ඉක්මනින් ළඟා වෙන ලෙසත් ජනතාවට දැනුම්දීමක් කරයි.

පාර්ලිමේන්තුව යටවෙන්න තව අඩි දෙකයි.!

පාර්ලිමේන්තුව යටවෙන්න තව අඩි දෙකයි.!

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයද යටවීමේ අවදානමක් මතුව ඇති බවයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයට වතුර දැමීමට තව ඇත්තේ අඩියක් දෙකක් පමණක් බවද වාර්තා වෙයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ පහළ මාලයේ ඇති බඩු භාණ්ඩ එහි ප්‍රධානීන්ගේ උපදෙස් මත සේවකයන් විසින් ඉහළ මාලයට රැගෙන යනු ලැබීය.

ජල ගැල්මක් ඇති වුවහොත් පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂයෙන්ම පහළම පිහිටි කමිටු කාමර ප්‍රථමයෙන්ම ජලයෙන් යට වීමට වැඩි ඉඩකඩක් පවතින හෙයින් ඒවායේ පොත්පත් ගෘහ උපකරණ ඇතුළු බඩු භාණ්ඩ මෙසේ ඉවත් කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා වැලි කොට්‌ට ඇතිරීමටද කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තාවේ.

දියවන්නා ඔයේ ජල මට්ටම ගැන අවධානයෙන් සිටීමට නාවික හමුදා කණ්ඩායමක්ද යොමු කරනු ලැබ සිටී.

වැසි සහිත කාලවලදී ඉහළ ප්‍රදේශවල ජලය ගලා ඒමෙන් දියවන්නා ඔය ඉතා ඉක්මනින්ම පිරී යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි.!

ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි.!

ගල් ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙයි.

තවද මී ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර ඇඟවීම ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රට වටා ස්ථාන 65,000ක ලයිට් කැපෙයි.!

රට වටා ස්ථාන 65,000ක ලයිට් කැපෙයි.!

අයහපත් කාලගුණය නිසා අද උදෑසන විට විදුලි බිඳ වැටීම් 65,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

එම විදුලි බිඳවැටීම් වලින් මේ වන විට 26,000කට ආසන්න ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

හැම තැනකම වර්ෂාව බොහෝ ඉහලින් වාර්තා වෙන අතර සියලුම බලාගාර ආශ්‍රිත ජලාශ බහුතරයක් වාන් දමමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමටත් කාලගුණ තත්ත්වය බලපෑම් එල්ල කරමින් තිබෙන බව කී අමාත්‍යවරයා දැඩි සුලඟ සහ වර්ෂාව නිසා ගස් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු යම් මට්ටමකට ප්‍රමාද වෙමින් පැවතියත් උපරිම සේවාව ජනතාව වෙත ලබාදීමට කටයුතු කරමින් පවතින බව කීය.