Local news

හෙට සිට විශේෂ බස් රථ සේවාවක්.!

හෙට සිට විශේෂ බස් රථ සේවාවක්.!

දුම්රිය ප්‍රවේශ පත්‍ර මඟින් තම රාජකාරි බලා නුවර සිට කොළඹ සහ කුරුණෑගල සිට කොළඹ දක්වා යන මඟීන් වෙනුවෙන් හෙට (08) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

දැඩි ක්‍රියාමාර්ග ගන්න.. පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්.!

දැඩි ක්‍රියාමාර්ග ගන්න.. පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්.!

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදීමට රැගෙන යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අතරමගදි බලහත්කාරයෙන් පැහැර ගැනීම වලක්වන්නැයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත එම චක්‍රලේඛය නිකුත් කරමින් උපදෙස් ලබාදී ඇත.

පරිත්‍යාගශීලින් ලබාදෙන සහනාධාර අතරමග රැඳී සිටින පිරිස් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ දැනුම්දීමකට අනුව පොලිස්පතිවරයා එම පියවර ගෙන ඇත.

අතරමගදි එම භාණ්ඩ බලහත්කාරයෙන් පැහැර ගැනීම වැලැක්වීමට පොලිස් වසම් තුල උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු බව පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වුවහොත් නොපමාව විමර්ශන සිදුකර ඊට අදාල තැනැත්තන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කල යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වේ.

විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන පරිත්‍යාගශීලින් ආපදාවට ලක්ව සිටින ජනතාව වෙත භාණ්ඩ බෙදාහැරීම් සිදුකිරීමේදී එය ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය සහාය නොමදව ලබාදිය යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

හදිසි පාර්ලිමේන්තු රැස්වීමක්.!

හදිසි පාර්ලිමේන්තු රැස්වීමක්.!

අයහපත් කාලගුණයෙන් විනාශයට පත් වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් ‌කෝටි 5000ක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කර ගැනීම සඳහා පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන (19) වැනිදා පැවැත්වීමට නියමිතය.

දෙහිවල වෙඩි තැබීමක්.. අයෙක් මරුට.!

දෙහිවල වෙඩි තැබීමක්.. අයෙක් මරුට.!

අද (06) රාත්‍රියේ දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සුළි කුණාටුවෙන් හානි වූ ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් යථා තත්ත්වයට.!

සුළි කුණාටුවෙන් හානි වූ ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් යථා තත්ත්වයට.!

දිට්වා සුළි කුණාටුවේ බලපෑමත් සමග ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ,

“මේ සිද්ධ වෙච්චි ආපදාවත් සමඟ අපේ රටේ දිස්ත්‍රික්ක විසිපහේම පාහේ ජල සම්පාදන කටයුතු අඩාල වුණා. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය ගත්තහම සීයට සීයක් ජල සම්පාදන කටයුතු අඩාල වුණා. ජල සම්පාදන මණ්ඩලය සතුව තියෙනවා ජල පිරිපහදු මධ්‍යස්ථාන තුන්සිය හතළිස් තුනක්.

මේ ජල පිරිපහදු මධ්‍යස්ථාන තුන්සිය හතළිස් තුනෙන් එකසිය පනස් හයක්ම සම්පූර්ණ අක්‍රීය තත්වයට පත් වුණා. ආපදාවට ලක් වුණා. ජල සම්පාදන කටයුතු කරගන්න බැරුව ගියා.

එතනින් පස්සේ මේ වෙනකොට නැවත ජල සම්පාදන කටයුතුවලින් සීයට අනූවකට වැඩි ප්‍රමාණයක් නැවත සකස් කරලා ජනතාවට ජල සම්පාදන කටයුතු ලබාදෙන්න. ජල සම්පාදනය ලබා දෙන්න. පානීය ජලය ලබා දෙන්න, ජල සම්පාදන මණ්ඩලය සහ ඒ සේවකයන් කටයුතු කරලා තියෙනවා. 

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් දැක්වූ කැපවීම, ඔවුන් අනාරක්ෂිත ප්‍රදේශවලට, සමහරවිට බෝට්ටුවලින් ගිහිල්ලා, සමහරවිට වතුරේ ගිලිලා, ඒ තැන්වලට ළඟා වෙලා, මඩේ, වතුරේ දිවා රෑ නොබලා, මහන්සි වෙලා, කැපවීම් කරලා තමයි මේ සේවාව නැවත ලබාදීමට කටයුතු කරේ.

සමහර සේවකයෝ සේවය කරන්නේ වෙන දිස්ත්‍රික්කයක නමුත් මේ ආපදාවට ලක්වුණු දිස්ත්‍රික්කයකවලට ඔවුන් ගියා. ඔවුන්ගේ ස්වකැමැත්තෙන්. ඒ වගේම විශේෂත්වය තමයි ඔවුන් අමතර දීමනා කිසිවක් නැතුව ස්වේච්චාවෙන් තමයි ඉදිරිපත් වෙලා මේ වැඩ කටයුත්ත කරේ. ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෝ බොහෝ දෙනෙක් තවමත් ඉල්ලුම් කරනවා.

ඔවුනුත් එන්නම්. ඔවුන් සහභාගි වෙන්නම් යන්න කියලා. එතරම් කැපවීමක් එතරම් උනන්දුවක් ඔවුන්ගේ තිබෙනවා. මේ ආපදාවට ලක් වෙච්ච, බිඳ වැටිච්ච, ජල සම්පාදන කටයුතු නැවත ආරම්භ කරන්න. ඒ නිසා මං අමාත්‍යවරයා විදිහට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න කැමතියි ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන්ට විශේෂයෙන්ම තාක්ෂණික සේවකයන්ට මේ දක්වපු කැපකිරීම. 

මේ දක්වපු දායකත්වය මේ ඔවුන්ගේ මහන්සිය සඳහා මගේ විශේෂ ස්තූතිය කරන්න කැමතියි. ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විදුලිබල මණ්ඩලය, මාස්ටර් ඩයිවර්ස් වැනි ආයතන ඒ වගේම ස්වේච්ඡා සංවිධාන, ගම්මු, ප්‍රදේශවාසීන් සියලු දෙනා විශේෂ සහයෝගයක් ලබා දුන්නා මේ ජල සම්පාදන කටයුතු නැවත ස්ථාපනය කරන්න.

අපි බලාපොරොත්තු වෙනවා නොබෝ දිනකින්ම සීයට සීයක් ජල සම්පාදන කටයුතු නැවත ස්ථාපිත කරන්න අපේ රටේ. දැනට ඉතුරුවෙලා තිබෙන ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයේ ජල සම්පාදන කටයුතු කරන්න බැරි තරමට හානි වෙලා තිබෙනවා. සමහර නළ පද්ධති කිලෝමීටර් දෙකක් යනකම් හානි වෙලා තිබෙනවා.

සමහර ජල සම්පාදන පිරිපහදු මධ්‍යස්ථාන වලට විදුලි බලය නැහැ. බොහෝ ස්ථාන වලට යන්න පාරවල් තාම නැහැ. ඒ නිසා ඒ අසීරුතාවය නිසා මේ ප්‍රමාද වෙනවා මිස, ජල සම්පාදන සේවකයන්ගේ කැපවීම අගය කරන්න ඕනේ. ඔවුන් සූදානමින් ඉන්නවා මේවා නැවත ප්‍රතිස්ථාපනය කරන්න.”

ජනපති අස්ගිරි මහා නා හිමි බැහැදකී.!

ජනපති අස්ගිරි මහා නා හිමි බැහැදකී.!

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ අස්ගිරි මහා නා හිමියෝ දැනුවත් කළ ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.

ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනු නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත විය.

ගංවතුරෙන් වී වගා භූමි අක්කර ලක්ෂ 7ක් විනාසයි.!

ගංවතුරෙන් වී වගා භූමි අක්කර ලක්ෂ 7ක් විනාසයි.!

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසූවේ පැවති ගංවතුර තත්වය හේතුවෙන් වී වගාකළ අක්කර 253, 125 ක් පූර්ණ ලෙස සහ අක්කර 420,000 ක් අර්ධ ලෙස හානියට ලක්ව ඇති බවයි.

නිරාවිය පාලම ආසන්නයෙන් කලා ඔය පිටාර ගැලීම හේතුවෙන් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් තිස්පණේපුර ප්‍රදේශයේ කුඹුරු අක්කර දෙසීයකට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශයට පත්ව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම පැවති ගංවතුර හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක්ද ජලයෙන් යටවී විනාශයට පත්ව තිබේ.

මේ අතර ගංවතුර තත්වය හේතුවෙන් ත්‍රිකුණාමල, සේරුනුවර ප්‍රදේශයේ ගවයින් විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ගොවීන් පවසයි.

පවතින අධික වර්ෂාපතනයත් සමග තම අමු මිරිස් වගාවන් විනාශ වී ඇති බව තිරප්පනේ ගොවීන් පවසති.

දිස්ත්‍රික්ක 5කට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කරයි.!

දිස්ත්‍රික්ක 5කට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කරයි.!

නායයෑම් අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

මෙමගින් දිස්ත්‍රික්ක 05 ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය. 

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, කුන්ඩසාලේ, පාතහේවාහැට, පානවිල, මැදදුම්බර, දොළුව, තුම්පනේ, උඩුනුවර, දෙල්තොට, ගඟඉහළ කොරලය, පස්බාගේ කොරළය, යටිනුවර, හතරලියද්ද, උඩුදුම්බර, මිනිපේ, උඩපළාත, ගඟවට කෝරළය, අකුරණ, පූජාපිටිය, හාරිස්පත්තුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, රඹුක්කන, යටියන්තොට, වරකාපොල, 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, රිදීගම, පොල්ගහවෙල, මල්ලවපිටිය, මාවතගම, නාරම්මල

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, නෙළුව, යටියන්තොට, ලග්ගල, පල්ලේගම, පල්ලේපොල, මාතලේ, රත්තොට, අඹන්ගඟ කොරළය, විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරක්කෙත, මතුරට, නිල්දණ්ඩාහේන, වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉවත් වෙන ලෙස දන්වා රතු නිවේදන නිකුත් කර තිබේ.

තවද බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණාතොට, හාලිඇළ, මීගහකිවුල, පස්සර, 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, නෝවුඩ්, අඹගමුව කොරළය, තලවාකැලේ, කොත්මලේ නැගෙනහිර, නුවරඑළිය, 

රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල, කහවත්ත, කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවධානයෙන් සිටින ලෙසත් අනතුරු ඇඟවීම් කර තිබේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, 

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, යක්කලමුල්ල, 

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, දිවුලපිටිය, 

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, 

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, බලන්ගොඩ, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, කල්තොට, කලවාන, ඕපනායක, අයගම, නිවිතිගල, ඉඹුල්පේ, ඇලපාත, රත්නපුර, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්බවින් සිටින ලෙසත් අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

ශ්‍රී ලංකාවට ආධාර රැගත් 09 වන ඉන්දීය යානයත් කටුනායකට ගොඩ බහී.!

ශ්‍රී ලංකාවට ආධාර රැගත් 09 වන ඉන්දීය යානයත් කටුනායකට ගොඩ බහී.!

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බව වාර්තා වෙයි.

මෙම ගුවන් යානය තුළ අඩි 110ක් දිගැති, මෙට්‍රික් ටොන් 65ක් බරැති බේලි පාළමක්, ජේ.සී.බී.බැකෝ යන්ත්‍රයක් ද ඒ අතර වන බව වාර්තා වෙයි.

ඒ සමඟ ඉන්දියාවේ යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවරුන් 13දෙනෙකු ද සහාය දැක්වීම සඳහා මෙරටට පැමිණි බව වාර්තා වෙයි.

මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ජනතාවට සුරක්ෂිත ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ජනපති වැඩ අරඹයි.!

ජනතාවට සුරක්ෂිත ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ජනපති වැඩ අරඹයි.!

ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

දිස්ත්‍රීක්කයේ මහා මාර්ග, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම වාරිමාර්ග සහ සන්නිවේදන පද්ධතිය යථාවත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කඩිනම් වැඩසටහන්වල ප්‍රගතිය සහ අවසන් කෙරෙන කාලය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙන් වෙන්ව විමසා බැලීය.

ස්ථීර ලෙස මාර්ග පද්ධතිය ඉදිකරන තුරු ඉදිරි දින 25 සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මාර්ග පිළිසකර කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රීක්කයේ ජල සැපයුම් දින 03ක් තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිවරයා එතෙක් බවුසර් මගින් ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමටත්, එම කටයුතුවලදී සාමාන්‍ය ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් හදිසි අවශ්‍යතාවක් සේ සලකා ප්‍රසම්පදාන කටයුතු සිදු කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික සහාය ලබා ගැනීමටත් උපදෙස් දුන්නේය.

එමෙන්ම නිවාස වල ළිං සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්වීමෙන් සිදු කිරීමටද උපදෙස් දුන් අතර විශාල ප්‍රතිසංස්කරණ කටයුතු දෙවන අදියරට තබා ගනිමින් තාවකාලික පිළිසකර කිරීම් තුළින් මෙම දෙසැම්බර් (31) වනදා වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමටද උපදෙස් දුන්නේය.

එමෙන්ම වගා කළ හැකි බිම් හඳුනාගෙන ඒවා වගා කිරීමට ප්‍රමඛතාව ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉක්මණින් වගා කළ හැකි කුඹුරු හඳුනාගෙන ඒවාට අවශ්‍ය වාරි ජලය සැපයීමටත්, එහිදී මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කමත් අවධාරණය කළේය.

එමෙන්ම ඉක්මණින් වගාකළ හැකි ගොවීන් ප්‍රමාණය සහ ගොවි බිම් ප්‍රමාණය හඳුනාගෙන ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ 02ක වන්දි මුදල කඩිනමින් ලබා දීමටද උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාවෙන් හානියට පත් දිස්ත්‍රික්කයේ එළවළු වගාව පිළිබඳවද සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා ගනිමින් ඔවුන් වෙනුවෙන් ලබා දෙන හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක් වූ වන්දි මුදල් ලබා දීමටත්, කෙසෙල් වගාවට සිදු වූ හානි සඳහා එළවළු වගාවට ලබා දෙන වන්දි මුදලම ලබා දීමට හැකි වන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කිරීමත් උපදෙස් දුන්නේය.

ආපදාව හමුවේ පශු සම්පත් ක්ෂේත්‍රයට සිදු වූ බලපැම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ගොවිපොළ ප්‍රමාණය මෙන්ම සතුන් ප්‍රමාණය පිළිබඳ යාවත්කාලීන දත්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

විනාශ වී ගිය සත්ත්ව ගොවිපොළ නැවත කඩිනමින් ආරම්භ කරමින් එම ගොවීන්ගේ ආදායම් මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සහ කිරි, කුකුළු මස්, බිත්තර ඇතුළු රටේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ඉන්ධන සැපයුම යථාවත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර මාර්ග අවහිර වීම හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වී ඇති පුස්සැල්ල සහ මීතලාව යන ප්‍රදේශවලට මාර්ග සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සම්බන්ධීකරණයෙන් අද සවස් වන විට ඉන්ධන සැපයීමටද උපදෙස් දුන්නේය.

එමෙන්ම මහනුවර දිස්ත්‍රීක්කයේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබදවද සාකච්ඡා කෙරුණු අතර නියමිත පරිදි විභාග පැවැත්වීම වෙනුවෙන් පාසල් ආරම්භ කිරීමේදී කාල පරතරය අවම කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

දිස්ත්‍රීක්කයේ සෞඛ්‍ය, දුම්රිය මාර්ග, සහ සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවරද මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

නිවාස හානි සහ එම ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද සාකච්ඡා වූ අතර එම කටයුතුවලදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කාර්යභාරය සහ කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරා ගැනීම පිළිබඳ සාකච්ඡා විය.

එමෙන්ම ජනතාව යළි පදිංචි කිරීම වෙනුවෙන් ඒ ආසන්න ප්‍රදේශවල ඇති රජයේ ඉඩම් හඳුනාගෙන ඉදිරිපත් කරන ලෙසත් අදාළ ආයතන සමග සාකච්ඡා කරමින් එම ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනතාව වඩා සුරක්ෂිතව යළි පදිංචි කිරීම රජයේ අරමුණ බවත්, විනාශ වූ සහ අර්ධ හානි සිදු වූ නිවාස වෙනුවෙන් ලබා දෙන වන්දි නිසි අයුරින්ම එම කටයුතු සඳහා යොදවන්නේද යන්න පිළිබඳ නිරන්තර පසු විපරමක් සිදු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම සියලු වන්දි මුදල් 2025 අයවැය යටතේ ලබා දීම සිදුවන බැවින් 2026 අයවැය බරක් නොවීමට නම් දෙසැම්බර් 31 වනදාට පෙර මෙම සියලු වන්දි ලබා දීම් අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය.

ගම්පොළ ප්‍රදේශයේ කුණු බැහැර කිරීමේ ගැටලුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර ඊට දීර්ඝකාලීන විසදුමක් ලෙස මහවැලියට අයත් ඉඩම නිදහස් කරන තුරු විදුලිබල මණ්ඩලයට අයත් ඉඩම තාවකාලිකව ලබා දීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් රාජ්‍ය ආයතනවල සිදුව ඇති හානිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ගංවතුර, සුළි කුණාටු සහ නාය යාම් වැනි ස්වභාවික ආපදාවන් වැළැක්විය නොහැකි නමුත්, එමගින් ජීවිත සහ දේපළවලට සිදුවන හානි වළක්වා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මධ්‍ය කඳුකරය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර දිරාපත් වෙමින් පවතින මධ්‍ය කඳුකරය යළි සුවපත් කිරීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

නැවත මෙවන් ව්‍යසනයන් ඇති වීම වළක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවල බලතල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනවසර ඉදිකිරීම් සඳහා මින් ඉදිරියට ඉඩ නොදිය යුතු බවත්, එම ස්ථානවලට විදුලි සැපයුම ලබා නොදීමට විදුලිබල මණ්ඩලයටද වගබලා ගත යුතු බවත් පෙන්වා දුන්නේය.

ව්‍යසනයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළද ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට රජයට හැකියාව ලැබී තිබෙන බවත්, තවත් කෙටි කාලයක් සියලුදෙනා එකට වැඩ කිරීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව සිදු කරන කැපවීම මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මුදිත හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ, තනුර දිසානායක, රියාස් මොහොමඩ්, මොහොමඩ් පස්මීන්, තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ ප්‍රේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරිප්පෙරුම මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලිබල මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු සියලු රේඛීය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

✕
⌃ News
📰 Free News Subscription?