Out of the box

ඉරානය හෝමූස් විවෘත කරයි

ඉරානය හෝමූස් විවෘත කරයි

ඉරානය විසින් සියලුම වාණිජ නෞකාවන්ට ගමන් කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර ඇත.

ලෙබනනයේ සටන් විරාමයට අනුකූලව මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

සටන් විරාම කාලය තුළ ඉරානය විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්බන්ධීකරණ මාර්ගයක් ඔස්සේ හෝමූස් හරහා සියලුම වාණිජ නෞකාවන්ට ගමන් කිරීමට අවස්ථාව උදාවේ.

‘අමෙරිකාවට අපි බය නෑ.. ගැහුවොත් ගහනවා’ ට්‍රම්ප්ට අභියෝගයක්

‘අමෙරිකාවට අපි බය නෑ.. ගැහුවොත් ගහනවා’ ට්‍රම්ප්ට අභියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාව “අල්ලා ගැනීමට” සහ ඔහු කරන තර්ජන ගැන තමාට “කිසිදු බියක්” නොමැති බව කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් සඳහන් කරයි.

තම රට අමෙරිකා ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට රජය සූදානම් බවත් ඒ වෙනුවෙන් තමන් මිය යාමට කැමැත්තෙන් සිටින බවද කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් සඳහන් කරයි.

කොන්දේසි නොමැතිව අමෙරිකාව සමඟ සංවාදයට විවෘත බවත් නමුත් වොෂින්ටනය ඉල්ලා සිටියහොත් ඉල්ලා අස්වන ලෙසට වන කිසිදු යෝජනාවක් ප්‍රතික්ෂේප කරන බවද කියුබානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

“එහෙම උනොත් සටන් ඇති වෙයි, අරගලයක් ඇති වෙයි, අපි අපිවම ආරක්ෂා කරගන්නවා, අපිට මැරෙන්න ඕන උනොත් අපි මැරෙයි, මොකද අපේ ජාතික ගීය කියන විදියට, නිජබිම වෙනුවෙන් මැරීම ජීවත් වීමටයි.”

කියුබානු ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ, අමෙරිකානු NBC රූපවාහිනි නාලිකාවේ පැවැත් වූ Meet the Press වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

දිට්වා බලපෑම හමුවේ වුවත් රජයේ ආර්ථිකය විනය නිසා 5%ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගත හැකියි.!

දිට්වා බලපෑම හමුවේ වුවත් රජයේ ආර්ථිකය විනය නිසා 5%ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගත හැකියි.!

කෘත්‍රීම බුද්ධි සහ ඩිජිටල් යුගයේ ආර්ථික වර්ධනය මැයෙන් අද (06) කොළඹදී පැවැත්වුණු සමුළුවක් අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසූවේ දිට්වා සුළිකුණාටුවේ බලපෑම හමුවේ වුවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මනා විනයකින් යුතුව පවත්වාගෙන යමින් සිටිනා බවත් බන වසරේ සිට 5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනා බවත් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ අතිරේක වියදම්, රජයේ ණය ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලපෑම් කරන බවට විවාදයක් පවතින නමුත් පසුගිය වසර කිහිපයේ පැවති යහපත් ආදායම් උපයාගැනීම සහ මූල්‍ය විනය හේතුවෙන් රජයේ බැංකු දෙකෙහිම රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් පවත්වාගැනීමට හැකිව ඇති බවයි.

මෙරට මුහුනදුන් ආර්ථික අර්බුදයට පෙර රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක හිඟයක් පැවතියත් එය දැන් අතිරික්තයක් බවට පත්ව ඇති අතර මෙවන් ආර්ථික පීඩනයකට මුහුණදීමේදී එම මුදල් ප්‍රයෝජනවත් වූ බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙම ඉතුරුම් නිසා රජයට තවත් ණය ගැනීමට සිදු නොවුණු බවත් මෙම වසර තුළ බිලියන 8ක ආරක්ෂිත සංචිතයක් ගොඩනංවා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

උද්ධමනය මේ වනවිට 2%කට ආසන්න අගයක පවතින අතර සිය ඉලක්කය වන්නේ උද්ධමනය 5%ක මට්ටම ඉක්මවායාමට නොදී පවත්වාගැනීම වන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

”දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට කැපී පෙනෙන හානියක් සිදුව තිබෙනවා. නමුත් එම හානිය අපේක්ෂා කළ තරමට වඩා අවම අගයක්. ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා පවා වරෙක පැවසුවා එම හානි තක්සේරුව අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් කියලා. රජයට ඊට වඩා සියුම් තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව නැවත ගොඩනැගීමේ වියදම බොහෝදුරට අපේක්ෂා කළ අගයට වඩා අඩු වෙන්න පුළුවන්. දිට්වා හි බලපෑමෙන් ආර්ථික වර්ධන වේගය පහත වැටෙන්න පුළුවන්. එම සංඛ්‍යාලේඛන නුදුරේදි ලැබෙයි. ලබන වසරේ සිට අපේක්ෂිත ලෙස 5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න හැකිවෙයි…
 
2028දී නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමට හෝ කඩාවැටීමක් සිදුවෙයි කියලා කියනවා. රජයට සේවා වියදම් ගෙවීමටත් නොහැකි වෙයි කියනවා. මම ඒක පැහැදිලි කරන්නම්. අපිට ණය ප්‍රතිව්‍යුහගතකිරීමකට යන්න වුණේ අපි ඉතිහාසයේ කවදාවත් ඩොලරයක් වත් ණය නොගෙවා ඉඳලා නැති නිසා.2025 වසරේදි අපේ සංචිත භාවිත කරලා අපි ඩොලර් මිලියන 3,934 ගෙවා අවසන් කළා. මේ වගේ වැඩකට නැති කතා නිසා සිදුවන්නේ ආයෝජකයින්ගේ මනසේ රට ගැන අනවශ්‍ය සැකයක් ඇතිකරන එක. තවත් පිරිසක් කියනවා දිට්වා හානිය නිසා අපි ණය ගෙවන එක නවත්වන්න ඕන කියලා. මේ වගේ දේවල් ගැන තර්ක කරන්නේ ආර්ථිකය යළි කඩාවැටෙනවට කැමති අය වෙන්න ඕන. රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා. ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවතියාට වඩා හොඳ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අපේ ගිණුම්වල මුදල් තිබියදී හරියට ස්වෙච්ඡාවෙන්ම ණය පැහැරහරින්නෙක් වගේ අපි ගිහින් කියනවා නම් අපි නම් ණය වාරික ගෙවන්නේ නැහැ කියලා, එවන් රටවල කවුරුත් නැවතත් ණය ලබාදෙන්නේ නැහැ. සමහරු කියන්නේ නිසි දැනුමක් නැතිව, සමහරු මේවා කියන්නේ ආර්ථිකය කඩා වැටෙයි කියලා බලාගෙන. මම හේතුව දන්නේ නැහැ.”

ආපදාවෙන් හානිවූ ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනගන්න පොහොට්ටුවෙන් ව්‍යාපෘතියක්.!

ආපදාවෙන් හානිවූ ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනගන්න පොහොට්ටුවෙන් ව්‍යාපෘතියක්.!

ආපද‍ාවට ලක්ව සම්පූර්ණයෙන් විනාශ වූ සහ හානිවූ ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැගීමට හා පිළිසකර කර දීමට සහාය දෙන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය.

නෙළුම් මාවතේ පැවති සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතා මෙම දැනුම් දීම කළේය.

ආපද‍ා තත්වය නිසා බොහෝ ආගමික ස්ථාන වලටද දැඩි හානි සිදුව ඇති බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගේ අවධානයට ලක් කළේය.

පැල් රකිමින් සිටියදී මියගිය මාලිමා මන්ත්‍රීවරයාගේ සංවේදී කතාව.!

පැල් රකිමින් සිටියදී මියගිය මාලිමා මන්ත්‍රීවරයාගේ සංවේදී කතාව.!

මාලිමාවට බලය හිමි ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ රංගික ප්‍රගාද් ධර්මදාස මහතාගේ (34) හදිසි වියෝවෙන් කම්පාවට පත් ඔහුගේ පියා වන නන්හාමිගේ ධර්මදාස මහතා විසින් මාධ්‍ය වෙත සංවේදී අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

ඔහු පැවසුවේ, “මගේ පුතා ප්‍රාදේශීය සභාවේ සභාපති වුවත් ඔහු වැටුපක් ලබා ගත්තේ නැහැ. දුරකථන කාඩ්පත් පවා මිලදී ගෙන දුන්නේ මමයි. ඔහුගේ අසනීප තත්ත්වය වෙනුවෙන් මාසිකව රුපියල් අටදාහක් හෝ නවදාහක් පමණ බෙහෙත් සඳහා වැය වන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දුන්නෙත් මමයි. මගේ කුඹුරේ ගොයම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පුතා පැල් රකින්නට ගොස් සිටියදීයි අසනීප වී මිය ගියේ” යනුවෙනි.

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාද් ධර්මදාස මහතා ඉකුත් 21 වැනිදා පාන්දර වන සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කරමින් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයකින් වියෝ විය. ඔහුගේ අවසන් කටයුතු ඊයේ (23) සිදු කෙරිණි.

රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිධාරියකු වන රංගික ප්‍රගාද් ධර්මදාස මහතා, විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය අරගලවලින් ලද අත්දැකීම් මත පන්නරය ලබා, ඉකුත් මැයි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයට ගල්කඩවල කොට්ඨාසය නියෝජනය කරමින් මාලිමාව යටතේ තරග වැදී ප්‍රාදේශීය සභාවට තේරී පත් විය. ඉන් අනතුරුව ඔහු සභාපති ධුරයට පත් විය.

වෘත්තියෙන් ගොවිතැනෙහි නිරත වූ ඔහු සභාපතිවරයා බවට පත් වුවද සිය වෘත්තිය අත්හැරියේ නැත. ඉකුත් 20 වැනිදා රාත්‍රියේ සිය කුඹුර වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගසක් මත වූ පැලක රැකවල් කරමින් සිටියදී ඔහු එම පැලේදී මියගොස් තිබුණි.

මියගිය සභාපතිවරයාගේ පියා වන නන්හාමිගේ ධර්මදාස මහතා සිය පුත්‍රයාගේ හදිසි වියෝව පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මගේ පුතා විවාහ වී සිටියේ නැහැ. ඔහුගේ හෘදය වස්තුව ක්‍රියාත්මක වන්නේ 30% ක් පමණක් බව වෛද්‍යවරුන් විසින් දැනුම් දී තිබුණා. ඒ සඳහා ඔහු බෙහෙත් ලබා ගත්තා. මම අක්කර පහක කුඹුරු කරනවා. මම වකුගඩු රෝගියෙක්. පුතාගේ මව සීනි අමාරුවට බෙහෙත් බොනවා. අපේ අගහිඟකම් නිසා පුතාගේ අම්මා ගෝමරන්කඩවල පොළේ එළවළු විකුණනවා. මේ දිනවල වත්තේ එළවළු නැති නිසා ඒ ආදායමත් නැහැ. මාසයකුත් දින දහයක් පමණ වයසැති මගේ කුඹුරේ ගොයම වන සතුන්ගෙන් බේරා ගැනීම සඳහා පුතා පැල් රකින්නට ගොස් සිටියදීයි අසනීප වී මිය ගියේ”.

මියගිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරියක් සිටින බව වාර්තා වේ. වැඩිමහල් සහෝදරිය විවාහ වී සිටින අතර, අවිවාහක බාල සහෝදරිය ජෝර්දානයේ සේවය කර මීට දින විස්සකට පෙර ලංකාවට පැමිණ අනුරාධපුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරත වෙමින් සිටියි.

මියගිය සභාපතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය රෝහලේදී ත්‍රිකුණාමලය වැඩ බලන නාගරික හදිසි මරණ පරීක්ෂක සහ කින්නියා හදිසි මරණ පරීක්ෂක මොහොම්මදු සුබෙයිර් සාපි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී සාක්ෂි ලබා දුන් මියගිය අයගේ මව වන ගෝමරන්කඩවල, තිරප්පනේ පදිංචි එච්. ඒ. සුධර්මා රංජනී මහත්මිය මෙසේ පැවසුවාය. “මියගොස් ඇත්තේ මගේ පුතායි. ඔහුට වයස අවුරුදු හයේ සිට පපුවේ අමාරුවක් තිබුණා. ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුර වැනි රෝහල්වලින් ඔහු විටින් විට ප්‍රතිකාර ලබා ගත්තා. 20 වැනිදා රාත්‍රී හතට පමණ පුතා කෑම වේලද රැගෙන පැල් රකින්නට කුඹුරට ගියා. රාත්‍රී 09.30 ට පමණ මම ඇමතුමක් ගත් විට පුතා කතා කළා. උදෑසන ඔහු නොපැමිණි නිසා අටයි තිහට පමණ නැවත ඇමතුමක් ගත්තත් ඔහු කතා කළේ නැහැ. ඒ නිසා වත්තේ වැඩ කරමින් සිටි අපි ඥාති පුත්‍රයකුට ‘පුතේ ගිහිල්ලා බලන්න මාමා තාම ආවේ නැත්තේ මොකද’ කියා පැවසුවා. ඉන් පසුවයි පුතා මියගිය බවට මට ආරංචි වුණේ.”

මියගිය සභාපතිවරයාගේ ඥාති පුත්‍රයකු වන සරත් මධුසංඛ ධර්මදාස මහතා මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසීය. “මාමා කතා කරන්නේ නැහැ කියා පැවසූ නිසා මම පැල වෙත ගියා. පැල තිබුණේ ගසක් උඩයි. බිම සිට කතා කළත් සද්දයක් නොලැබුණු නිසා මම පැලට උඩට නැග්ගා. බලන විට ඔහු සිහි නැතිව සිටියා. මම කීපදෙනෙක් එකතු කරගෙන මාමාව රෝහලට රැගෙන ගියා. වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහු මිය ගොස් ඇති බව පැවසුවා.”

සාක්ෂි මෙහෙයවීම ගෝමරංකඩවල පොලිසියේ සැරයන් (22930) එස්. එම්. ජේ. ජී. සමරකෝන් මහතා විසින් සිදු කරන ලද අතර, පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ බී. එල්. පී. එම්. බෝරුක්ගම මහතා විසින් සිදු කරනු ලැබීය.

මරණයට හේතුව නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා මළ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රිය කොටස් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යැවීමට මෙහිදී තීරණය විය.

ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් ත්‍රිකුණාමලය වැඩ බලන හදිසි නාගරික මරණ පරීක්ෂක මොහොම්මදු සුබෙයිර් සාපි මහතා, මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බව ඥාතීන් ප්‍රකාශ කිරීම අනුව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් අවසන් කටයුතු සඳහා මළ සිරුර ඥාතීන්ට භාරදීමට කටයුතු කළේය.

කඩුගන්නාව නායයෑමෙන් පසු සුන් බුන් අතර සිරවී මරණයෙන් ගැලවූනු කාන්තාවගේ සංවේදී අත්දැකීම.!

කඩුගන්නාව නායයෑමෙන් පසු සුන් බුන් අතර සිරවී මරණයෙන් ගැලවූනු කාන්තාවගේ සංවේදී අත්දැකීම.!

කඩුගන්නාව නායයෑම: මරණයෙන් ගැලවූ කාන්තාවගේ සංවේදී අත්දැකීම

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් සහ ආපනශාලාවක් මතට පසුගිය 22 උදෑසන ගල් පර්වතයක් සමඟ පස් කන්දක් කඩා වැටීමේ අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයන් 06 දෙනෙකුට දිවි අහිමි වූ අතර, 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

මෙම නායයෑමත් සමඟ සුන්බුන්වලට යටවී ජීවිතයත් මරණයත් අතර සටනේ නිරතවූ පිරිස අතරින් එක් කාන්තාවක් දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූවාය. මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ වී පැය 6කට පසුවත් නිරුපද්‍රිතව සිටි ඇය, තමන් මුහුණපෑ බිහිසුණු අත්දැකීම මාධ්‍ය වෙත අනාවරණය කළේ මෙලෙසිනි.

ඇයගේ වාසනාවන්ත ගැලවීමට හේතු වූ සිදුවීම විස්තර කරමින් ඇය මෙසේ පැවසුවාය:

“අපිට උදේ වරුව ටිකක් කාර්‍යබහුල වුණා. අංකල් සාමාන්‍යයෙන් මට කියනවා, දුව තේ එකක් හදන්නකෝ අපිට බොන්න කියලා. මම තේ එක හදලා ඉවර වෙලා කිව්වා, අංකල් තේ එක හැදුවා බොමු කියලා. තේ එක බීලා මම වෙනදා වොෂ් රූම් එකට යනවා. ඒත් මම ඊයේ වොෂ් රූම් එකට ගියේ නැහැ. ඒක මගේ වාසනාව. වොෂ් රූම් ගියා නම් මම අද ජීවතුන් අතර නැහැ. ටික වෙලාවක් යද්දි ඒ අයියා ඇවිල්ලා මොකක් හරි ඉල්ලුවා මගෙන්. හරි අයියේ දෙන්නම් කියලා මං උඩ බැලුවා. බලද්දී මට තේරුණා ගහක් මේ පැත්තට එනවා වගේ. ඊට පස්සේ මං එතනින් කෑ ගහගෙන දුවගෙන ආවා, අංකල් ගහක් එනවා දුවමු.. දුවමු.. කියලා. දුවන්න හම්බුණේ නැහැ, මම හිර වෙලා හිටියේ.”

ඉන් අනතුරුව එම බිහිසුණු අත්දැකීම සම්බන්ධයෙන් ඇය තවදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසිනි:

“මං හිරවෙලා ඉන්න අතරතුරේ, මට හිතාගන්න බැහැ දැන් මට මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මං හිත තද කරගෙන මගේ දරුවයි මහත්තයාවයි මතක් කරගත්තා. මේ දෙන්නගේ වාසනාවක් තියෙනවා නම් මං බේරෙනවා කියලා. ටික වෙලාවක් යද්දි මට එළියෙන් සද්ද ඇහෙනවා. එක්කෙනෙක් මට කියනවා ඇහුණා නංගි ඇතුළේ.. නංගි ඇතුළේ.. කියලා. ඊට පස්සේ පිටින් ඇවිල්ලා කියනවා කට්ටිය බැකෝ දාලා මේ පැත්තෙන් කඩමු, පඩි පේළිය කඩමු එහෙම කියලා. ඒවත් මට හොඳට ඇහෙනවා. මං කතා කරන එක එළියට ඇහෙන්නේ නැහැ. මං අන්තිමේදී ඇස් දෙක පියාගත්තා… ගෑස් සිලින්ඩරයක් උඩ තමා කොන්ක්‍රිට් තට්ටුව හිර වෙලා තියෙන්නේ. ඒ නිසා මට ඉඩ පරතරයක් ආවා. බැකෝ දාලා කඩමු කියද්දී මට හිත ටිකක් අවුල් ගියා.. මොකද එහෙම කරොත් කෑලි ඇඟටනේ වැටෙන්නේ. ඊට පස්සෙ කිව්වා බූම් එක දාලා කොන්ක්‍රිට් එක උස්සමු කියලා. එතකොට මගේ හිත ටිකක් හරි ගියා. එක මල්ලි කෙනෙක් පෙනුණා කවුද දන්නේ නැහැ.. ආමි එකේද පොලිසියෙද කියලා.. මම “බුදු මල්ලී.. මං ඇතුලේ ඉන්නවා” කිව්වා. එතකොට එයා කිව්වා “අනේ මගේ අක්කේ.. ඔයා බය වෙන්න එපා අපි ඔයාව ගන්නවා” කියලා. ඊට පස්සේ මං අත දාලා මං ඉන්න තැන සංඥා කළා එයාට. ඊට පස්සේ එයා ටෝච් එකක් ගහලා බැලුවා. ඊට පස්සේ එයාල මාව ඇදලා අර ගත්තා.” යනුවෙන් ඇය එම අත්දැකීම විස්තර කළාය.