Top Story

සෞඛ්‍ය ඇමති විමල්ගෙන් සහ ස්වර්ණවාහිනියෙන් රුපියල් බිලියන බැගින් ඉල්ලයි.!

සෞඛ්‍ය ඇමති විමල්ගෙන් සහ ස්වර්ණවාහිනියෙන් රුපියල් බිලියන බැගින් ඉල්ලයි.!

පසුගිය 2026 පෙබරවාරි 06 වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ අදාළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.

අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වනුයේ අමාත්‍යවරයාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සහ එය ප්‍රචාරය කිරීම යන චෝදනා මත මෙම පියවර ගෙන ඇති බවයි.

මෙරටදී අසාධු ලේඛනගත ඖෂධ සමාගම් හිමිකරුවෙකුට අයත් ණය කාඩ්පතක් භාවිතා කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහජනතාවට ඒත්තු යන ආකාරයෙන් සහ හැඟවෙන පරිදි හිටපු මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධියේ කරුණු දක්වා ඇති බව එම නිවේදනයේ සඳහන්.

මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් ස්වර්ණවාහිනී නාලිකාව විසින් 2026 පෙබරවාරි 07 වනදා රාත්‍රී 6.50 ප්‍රවෘත්ති විකාශය ඔස්සේ “Story of the Day” යනුවෙන් විශේෂාංගයක් ලෙස හැඳින්වීමක් ද සහිතව එම පුවත ප්‍රචාරය කර තිබේ.

අදාළ ප්‍රවෘත්තිය විකාශය කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව අමාත්‍යවරයාගෙන් කිසිදු විමසීමක් සිදු නොකළ බවත්, කරුණු දැක්වීමට අමාත්‍යවරයාට එම වැඩසටහන තුළ අවස්ථාවක් ලබා නොදුන් බවත් යොමු කළ එන්තරවාසියේ සඳහන් කර ඇත.

මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බවත්, එය හුදෙක් අමාත්‍යවරයාගේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට හානි කිරීමේ ද්වේශසහගත අරමුණින් සිදු කර ඇති බවත් නීතිඥවරයා මගින් යැවූ ලිපියේ අවධාරණය කර තිබේ.

එබැවින් සිදු වූ හානිය වෙනුවෙන් විමල් වීරවංශ මහතාගෙන් මෙන්ම ස්වර්ණවාහිනී නාලිකාවට හිමිකාරීත්වය දරන Ben Holdings (PVT) Ltd සහ EAP Broadcasting Company Limited යන ආයතනවලින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා ඇති අතර, එසේ නොමැති නම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් භයානක අනාවරණයක්.!

මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් භයානක අනාවරණයක්.!

ජාතික ළමාආරක්ෂක අධිකාරිය පවසන්නේ ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු 4,289ක් මේ වන විට පවරා ඇති බවයි.

ළමයින්ට අදාළව කරනු ලබන අසභ්‍ය පල කිරීම්, කුට්ටනයට ලක් කිරීම්, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුළියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෘෘරත්වයට භාජනය කිරීම, ස්ත්‍රී දූෂණය බරපතළ ලිංගික අපයෝජනය යන වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණවල අදාළ අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

එම අධිකාරිය පවසන්නේ 1998 අංක 28 දරණ අපරාධ නඩු විධිවිධාන සංශෝධන දන්ඩ නීති සංග්‍රහයට අනුව මෙම නඩු පැවරීම සිදුකර ඇති බවයි.

ඒ අතරින් නඩු 1,683ක් ජනවාරි මාසයේ කැඳවා තිබූ බව ද ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

තැපැල් ගාස්තු ඉහළට.!

තැපැල් ගාස්තු ඉහළට.!

තැපැල් ගාස්තු ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම නව මිල ගණන් හෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 50ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර ඇත.

ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේ ගාස්තුව, බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම් කලාපය ලෙස කොටස් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර, ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා ඉහළ නංවා ඇත.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි.!

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි.!

මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මත වී ඇත.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 02ක් පමණයි.

ඒ අනුව පනත් යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වම් අඩෛක්කලනාදන් ඊට විපක්ෂව ඡන්දය ලබා දුන්නේය.

ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 80 යෝජනා සම්මතය වැඩි ඡන්ද 104කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක දැනුම් දුන්නේය.

හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කරනවා.. අපි විරුද්ධයි.!

හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කරනවා.. අපි විරුද්ධයි.!

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන නිසා හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තම පක්‍ෂයේ තීරණය කළ බවයි.

එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වී සිටින පිරිස්වලට සහන සැලසීම සඳහා සියලු දෙනාම එකඟ බවත් හදිසි නීතිය ඒ සඳහා අවශ්‍යම ද යන්න කියා තමා ප්‍රශ්න කරන බවද රජිත් මද්දුමබණ්ඩාර ආණ්ඩුවෙන් විමසා සිටියේය.

ඔහු වැඩිදුරටත් ප්‍රශ්නකර සිටියේ දිට්වා සුළි කුණාටුව පැමිණ මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් හදිසි නීතිය ගෙන එන්නේ තවමත් රට යථා තත්ත්වයට පත් වී නොමැති නිසාද යන වගයි.

එදා 1988 දී ජනතා විමුක්ති පෙරමුණ මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා. ඒ වගේම එල්ටීටීඊ සංවිධානය මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා.

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ හතර නමක් සිරගත කරලා තියෙන්නේ හදිසි නීතිය යොදාගෙන. ඒ නීතිය අනුව තමයි ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගත්තේ.

දැන් පොලිසිය කියනවා ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගන්නවා නම් විතරයි හාමුදුරුවන්ට ඇප දෙන්නේ කියලා .මේකද රටේ නීතිය කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.

විරුද්ධ පක්ෂයේ පිරිස්, ආණ්ඩුවට එරෙහි පිරිස් මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන නිසා තමයි හදිසි නීතියට එරෙහිව ඡන්දය දීමට අපි තීරණය කළේ යනුවෙන්ද රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

කවුරු කවදා කුමන තනතුරේ වැජඹුනද ඒ සියලුම දෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරනවා.!

කවුරු කවදා කුමන තනතුරේ වැජඹුනද ඒ සියලුම දෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරනවා.!

රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් කර, සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ මෙරට ආර්ථික වශයෙන් පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

එමෙන්ම, කවුරු කවදා කුමන තනතුරේ කොපමණ විරාජමානව වැජඹුනද ඒ සියලුදෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ අනුව මෙරට යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම අවධානය සහ විශ්වාසය දිනා ගන්නා වසර බවට මෙම වසර පත්වනු ඇති බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන්ට සහ කර්මාන්තකරුවන්ට වන්දි ප්‍රදානය වෙනුවෙන් අද (06) මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.

කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ප්‍රතිලාභීන් 150 දෙනෙක් වෙනුවෙන් මෙම වන්දි ප්‍රදානය සිදු කෙරුණු අතර සංකේතාත්මකව ජනාධිපතිවරයා ඒ සඳහා එක් විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඕනෑම ආණ්ඩුවකට පැවරෙන මූලික වගකීමක්. ආර්ථිකයක් බිඳ වැටුණු විට අපි මොනතරම් ව්‍යසනයකට සහ කරදරයකට පත් වනවාද යන්න පිළිබඳ මනා අත්දැකීමකට අපි මීට වසර දෙක තුනකට පෙර මුහුණ දුන්නා. රෝහල්වල බෙහෙත් නැතිව, තෙල් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල මේ රටේ ජනතාව දුක් වින්දා. රටක ආර්ථික බිඳවැටීම සමාජයේ සියලු කොටස් ව්‍යසනයකට පත් කරනවා. ඒ නිසා රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම අපේ ප්‍රධාන වගකීම බවට පත් වුණා.

දීර්ඝ කාලක් අපේ රට අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තීන් සහ එම ප්‍රතිපත්තින් සමඟ ගැට ගැසී තිබු අල්ලස, වංචා දූෂණ හේතුවෙන් අපේ රට විශාල ආර්ථික බිඳ වැටීමකට ලක් වුණා. එදා මේ රටේ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සිදු වුණේ ආර්ථික අවශ්‍යතාව මත නොවෙයි. දේශපාලන අවශ්‍යතා සහ අයථා ගනුදෙනු වෙනුවෙන්.

මෑතකදී සිදු කළ වාර්තාවක සඳහන් වෙනවා ඉදි කිරීම් ආරම්භ කර අතරමග නතර කළ සහ ඉදිකිරීම් අවසන් කර අතහැර දැමූ රජයේ ගොඩනැගිලි 1800ක් පමණ තිබෙන බවට. එම ඉදිකිරීම් ආරම්භ කළේ රටේ අවශ්‍යතාව මත නොවෙයි. පළාත් ඇමතිවරයාගේ අවශ්‍යතාව හෝ හිතවතුන්ට කොන්ත්‍රාත් ලබා දීම වෙනුවෙන්. ඇතැම් ගොඩනැගිලි තිබෙනවා හැදුවට පස්සේ එහි නඩත්තු කටයුතු සිදු කරන්න බැහැ.

නිසි ආර්ථික සැලසුම් නොමැති වීම සහ ඒ ඒ මොහොතේ සිටින දේශපාලනඥයාගේ අවශ්‍යතාව සහ අල්ලස දූෂණය මෙම බිඳ වැටීමට හේතු වුණා. මේ බිඳ වැටීම තවමත් අවසන් වී නැහැ. මෑතකදී මම වාර්තාවක් කැඳවුවා ආර්ථික බිඳ වැටීම නිසා නතර වු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට තිබුණට වඩා කොපමණ වියදමක් යනවද කියා සොයා බැලීමට.

ප්‍රධාන ව්‍යාපෘති 43ක් අතරින් 20ක් පිළිබඳ සොයා බැලීම සිදු කළා. එම ව්‍යාපෘති 20ම 2022, 2023 වසරවල හැදුවා නම් වැය වන්නේ රුපියල් කෝටි 30,000යි. හැබැයි දැන් කෝටි 61,000ක් වැය කිරීමට සිදුව තිබෙනවා. එසේ නම් අලුත් ඇස්තමේන්තුව දෙගුණයක් වී තිබෙනවා. ආර්ථික බිඳ වැටීමේ ප්‍රතිවිපාක අපි අදත් අත් විඳිමින් සිටිනවා.

අපි ආණ්ඩුව භාර ගැනීමෙන් පසු අපේ ප්‍රමුඛ කාර්ය බවට පත් වුණේ රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර ගැනීමයි. එයින් තොරව නීතියේ විධානයේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය, අධ්‍යාපනය, සෞඛ්‍ය, මංවාවත් මේ කිසිවක් ගැන සිතීමට හැකියාවක් නැහැ.

අපි බලයට පත්වීමෙන් පසු මේ රටේ ආර්ථිකය වැදගත් සාධක ගණනාවකින් ජයග්‍රහණය ලැබුවා. අපි රටක් ලෙස ලබන මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ ආර්ථික වශයෙන් පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම අපේ අරමුණයි. නමුත් ඉතිහාසයේ සිදු වුණේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ ඒ පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසීමයි.

අපිට මහ ජනතාවගේ මුදල් සතයක්වත් පොදි බැඳ ගැනීමේ වුවමනාවක් නැහැ. අපිට අවශ්‍ය මේ රට ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා ජයග්‍රහණ ආර්ථික වශයෙන් පතුළේම සිටින ජනතාවට බෙදා දීමයි. ඒ නිසා මේ දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් සියලු ජනතාවට සහන ලබා දීම අපේ අරමුණයි.

එම ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකර දීමට, මංමාවත් ඇතුළු යටිතල පහසුකම් සකස් කර දීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපිට ඉන්දියාව, චීනය ඇතුළු මිත්‍ර රටවල සහාය ලැබෙනවා. ඒ වගේම විවිධ ආකාරයේ පෞද්ගලික ව්‍යවසායකයින් අපිට උදව් කරනවා. මේ සියලු දෙනාගේ සහාය ඇතිව මේ ජනතාවට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදා කරදීම අපේ අරමුණයි.

පාලකයන් ලෙසත් රාජ්‍ය සේවයකයන් ලෙසත් ඔබ අප සියලු දෙනාගේ වගකීම වන්නේ එයයි. අපි අධ්‍යාපනය ලැබුවේ මහ ජනතාවගේ මුදල්වලින්. අපි පෙරළා ඔවුන් වෙනුවෙන් වැඩ කළ යුතුයි. මෙම දිට්වා සුළි කුණාටුව හමුවේ රටක් ලෙස වේගයෙන් නැඟී සිටීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් විශාල වෙහෙසක් දරා කටයුතු කරනවා. ඒ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා.

අපිට වැදගත්ම දේ ආර්ථික සංවර්ධනය උදා කර ගැනීමයි. ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. අපි අනිවාර්යයෙන් එය සිදු කරනවා. ඒ පිළිබද කිසිවෙක් සැකයක් තබා ගත යුතු නැහැ. අධිකරණය පද්ධතිය, නීතිය පසිඳන ස්ථාන, නීති පරික්ෂණ කරන ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව ආදී ආයතනවල විශාල බිඳ වැටීම් තිබෙනවා.

එහෙත් එම තත්ත්වය වෙනස් කර එම ආතනය පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරින් ඉහළ වැටුප් තලයක පිහිටුවීමට අදාළ කටයුතු අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට සෘජුව නිලධාරින් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඊට අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කර තිබෙනවා.

ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයතන පද්ධතිය සකස් කර තිබෙනවා. ඒ වගේම නීති සම්පාදනය කර තිබෙනවා. අයථා ලෙස උපයාගත් දේපොළ යළි පවරා ගැනීමට අවශ්‍ය නීතිය අපි සම්මත කළා. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතා ඉක්මණින් සංශෝධනය කර අවශ්‍ය නීති ගෙන එනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිය අපි සකස් කරමින් තිබෙනවා. ඒ වගේම මුදල් විශුද්ධිකරණය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අවශ්‍ය නීති සකස් කිරීමට සාකච්ඡා කර තිබෙනවා. එසේම, රට ශිෂ්ඨභාවයට ගෙන ඒමට අවශ්‍ය නීතිමය සංශෝධන සහ ආයතන ශක්තිමත් කිරීම සිදු කළ යුතුයි.

නීතියේ රේඛාවට යටින් මේ රටේ සියලු දෙනා සිටින බව අපි තහවුරු කළ යුතුයි. කිසි කෙනෙක්ට නීතියේ රේඛාවෙන් උඩට එන්න බැහැ. එවන් රටක් අපිට අවශ්‍යයි. අපි ඒ පරිවර්තනය සිදු කරමින් තිබෙනවා. මෙම පරිවර්තනය හමුවේ නිවැරදි අයට රිදෙන්නේ නැහැ, හැබැයි වැරදි කරන අයට රිදෙනවා. හැමදෙනාටම රට පිළිබඳ යහපත් සංකල්ප තිබෙනවා. නමුත් යහපත් සංකල්ප තිබුණාට ක්‍රියාකාරිත්වයේදී එම යහපත් සංකල්ප ස්වභාවිකව නිර්මාණය වන්නේ නැහැ. අපි හැමදෙනාම පොර බැදුවොත් තමයි එම යහපත් සංකල්පවලට පණක් ලැබෙන්නේ.

කවුරු, කවදා, කුමන තනතුරේ කොපමණ විරාජමානව වැජඹුනද ඒ හැම කෙනාම අපි නීතිය හමුවට ගෙන එනවා. ඒ අනුව මම හිතනවා ලංකාවේ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම අවධානය සහ විශ්වාසය දිනාගන්නා වසර බවට මේ වසර පත් වෙනවා. ඒ සඳහා ඕනෑම දෙයකට මුහුණ දීමට අපි සුදානම්.

නීතිය තමන්ට අත නොතබයි කියා සමහර අය සිතුවා. ඔවුන් වටා තිබෙන රැස් වළල්ල නීතිය විකර්ෂණය කරනවා කියලා හිතනවා. ඔවුන් වටා තිබෙන රශ්මි කදම්භය නිසා නීතිය පිළිස්සෙනවා කියලා හිතනවා. ඒ නිසා තමයි කිව්වේ “ලොකු අය ඉදිරියේ නීතිය මකුළු දැළක්” වගේ කියලා. ඒ මකුළු දැළට ලොකු අය විතරයි හසු වෙන්නේ, පොඩි අය හසු වෙන්නේ නැහැ. මේ නිසා ගොඩක් අය හිතුවා නීතිය තමන් ළඟට එන්නේ නැති වෙයි කියලා. ඔවුන් අසළට නීතිය ළගා වන විට සිතාගත නොහැකි තත්ත්වයට පත් වෙලා.

හැබැයි ලොකු, පොඩි, උස් මිටි කිසිදු බේදයකින් තොරව නීතිය ඒ හැම දෙනා ළඟටම එනවා. ඒ නිසා බිය යුතු වන්නේ අපරාධකරුවන් මිස හොඳ මිනිසුන් නොවෙයි. අපි මේ රටට කුමන අවස්ථාවක හෝ ඉගැන්විය යුතුයි ඔබ වැරද්දක් සිදු කර තිබෙනවා නම් එම වරද කිසිදා කාලයේ වැලි තලාවෙන් යටපත් කළ නොහැකියි, කුමන හෝ මොහොතක වැරැද්දට දඬුවම් ලැබෙනවා කියලා. එම මතය මේ රට තුළ ඇති කළයුතුයි. එසේ වුවහොත් පමණයි අනාගතයේ ශිෂ්ටසම්පන්න රටක් පිළිබඳ මේ රටේ දරුවන් තුළ බලාපොරොත්තු ඇති වන්නේ. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු කියා මම ඉල්ලා සිටිනවා.”

ජනපති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවෙයි.!

ජනපති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) කොළඹ NCC ක්‍රීඩාංගණයේදී 2026 අයි.සී.සී. පිරිමි T-20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හමුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය පුහුණු සැසිය නිම කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි පැමිණි අතර, තරගාවලියට පෙර ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම සහ දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අඛණ්ඩ පරාජයන් සහ ඒ හමුවේ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ මෙවර T-20 ලෝක කුසලානයට ක්‍රීඩකයින් මුහුණදෙන පසුබිමක, ක්‍රීඩකයින් පුද්ගලිකව හමුවී ඔවුන්ට අවශ්‍ය සහයෝගය සහ දිරිගැන්වීම ලබා දීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළඹෙන පෙබරවාරි 08 වනදා පැවැත්වීමට නියමිතයි.

මත්තල රාජපක්ෂ අලුත් වාර්තවක් තබයි.!

මත්තල රාජපක්ෂ අලුත් වාර්තවක් තබයි.!

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2013 වසරේ ආරම්භයෙන් අනතුරුව වාර්තා වූ ඉහළම ගුවන් මගී සංචලන සංඛ්‍යාව 2025 වසර තුළ වාර්තා කිරීමට සමත් වී ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි.

ඒ අනුව 2025 වසර තුළ ගුවන් මගීන් 140,614 දෙනෙකු මෙහෙයවීමට හැකි වී ඇති බවත් 2025 වසර තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්යානා 703ක් සාර්ථකව මෙහෙයවීමටද හැකි වී ඇති බවත් එම සමාගම සඳහන් කරයි.

එමෙන්ම පසුගිය වසර තුන පුරා මත්තල ගුවන්තොටුපොළ ගුවන් මගී හැසිරවීමේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වෙයි.

නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව මත්තල ගුවන්තොටුපොළ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධාන හේතුවක් බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පෙන්වා දෙයි.

අතීතයේදී මත්තල ගුවන් තොටුපොළ ආශ්‍රිත වනජීවී ගැටලු හේතුවෙන් ආරක්ෂක කරුණු මත ගුවන් සමාගම් මෙහි ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වා තිබුණි. 

එම ගැටලු විසඳීමට නව රජය ගත් සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 2025 වසරේදී ගුවන්යානා පැමිණීමේ ද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිළිබඳ විශ්වාසය පළ කරමින් 2025 වසර තුළ යුරෝපය, මැදපෙරදිග සහ දකුණු ආසියාව සම්බන්ධ කරමින් ගුවන්සමාගම් කිහිපයක් මෙහි ගුවන් වාර ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව රුසියාවේ Red Wings, බහරේන් හා පාකිස්තානයේ සිට SkyUp, ඩුබායි සිට Fly One, උස්බෙකිස්තානයේ සිට Centrum Air සහ Uzbekistan Airways, බල්ගේරියාවේ සිට Bulgaria Air යන ගුවන් සමාගම් මත්තල දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම බෙලරූස්හි මින්ස්ක් නගරයෙන් Belavia ගුවන් සේවය 2025 වසරේදී ප්‍රථමවරට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමද විශේෂත්වයකි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දේශීය සංචාරක ගමනාන්ත රැසකට පහසුවෙන් ළඟා විය හැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහාද එය වැදගත් භූමිකාවක් ඉටු කරයි.

එසේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින අධික තදබදයට විකල්පයක් ලෙස මත්තල ගුවන් තොටුපොළ උපායමාර්ගික වශයෙන්ද විශේෂ වැදගත්කමක් දරයි.

මහජන මුදල් බිලියන ගණනක් වැය කර ඉදිකර අභාවයට යාමට ඉඩ හැර තිබූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2025 වසරේදී වාර්තාගත ගුවන් මගී පැමිණීමක් වාර්තා කිරීම, ගුවන්තොටුපොළ පිළිබඳ නව බලාපොරොත්තු නංවන වැදගත් සන්ධිස්ථානයක් බවද වාර්තා වේ.

සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව අද සිට.!

සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව අද සිට.!

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවා හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ.

ඒ අනුව අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ ඒම සර්වඥධාතුන් වහන්සේ ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනය කරනු ලබන පළමු අවස්ථාව මෙය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් සිදුකළ විශේෂ ඉල්ලීමක් මත ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදුව තිබේ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ”සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) දිනයේ සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීම සිදු කළේය.

මේ අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරන සැදැහැවතුන් සදහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට අද සිට විශේෂ දුම්රිය ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඒ අනුව ලබන 10 වන දින දක්වා මෙම දුම්රිය ධාවනය කෙරෙන අතර අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතය. 

ජනපති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට එක්වෙයි.!

ජනපති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට එක්වෙයි.!

‍කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) එක්විය.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් අද (04) දින මෙරටට වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, ඉන්දියාවට අයත් විශේෂිත ගුවන් යානයකින් මෙරටට වැඩම කරවීම සිදු කෙරුණි.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමත් සමඟ මෙරට ජනතාවට මෙම ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව උදා වේ.

සර්වඥ ධාතු වන්දනාව හෙට (05) සිට පෙබරවාරි (11) වනදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.