Top Story

“ලෝකයට ණය වී සමුගනිමි” ආසියාවේ සුපිරි ධාවකයාගේ සංවේදී සටහන

“ලෝකයට ණය වී සමුගනිමි” ආසියාවේ සුපිරි ධාවකයාගේ සංවේදී සටහන

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වූ කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත්කර ඇත.

“රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි” යනුවෙන් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් යුපුන් අබේකෝන් මේ බව දැනුම් දී ඇත.

“දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා කියන්නෙ මගේ ජයග්‍රහණයක් නෙවෙයි, අපේ ජයග්‍රහණයක් කියලා මං තේරුම්ගත්තෙ Sub 10 එක දුවපු දවසෙන් පස්සෙ. ඒ වෙනකල් මං හිතාගෙන හිටියේ ඒක මගේ කරගන්න ඕනෙ දිනුමක් කියලා.

කොල්ලෙක් තමන්ගේ ගෙදරට/පවුලට අයිති වෙලා ඉඳලා මුළු රටකටම අයිති වෙනවා කියන්නෙ මහා පුදුමාකාර විරල අත්දැකීමක්. තිබූ තැනකින් සොර සතුන්ට ගන්නට බැරි දිනුමක්. මුලින්ම ඒ අත්දැකීම මට දුන්නට, මං මේ ජීවිතයට සහ මගේ රට දැයට මං මගේ කෘතඥතාවය දක්වනවා.

ඔබ හැම දෙනාම කවදාවත් සාමාන්‍ය රසිකයෝ හෝ සහයෝගය දක්වන්නන් විතරක් වුනේ නෑ. ඔබ සියලු දෙනා මගේ පවුල වුණා. මේ ගමන පුරාවටම මම ඇත්තටම ලබාගත්තෙත් ඒ ආදරයි ශක්තියයි විතරයි. මගේ තරග නරඹන්න නිදිමරාගෙන උන්න, පහන් පත්තු කරපු, යාච්ඤා කරපු හැමදෙනාටම ගොඩක් ආදරෙයි.

ඒ හැමදේම මට විශාල ශක්තියක් වුන බව මං මතක් කරන්න කැමතියි. මං මට පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරන්නත්, ඔයාලාගේ විශ්වාසය මිල මුදල් ඉදිරියේ පාවා නොදී රකින්නත්, ඔයාලගේ ගෞරවයට කැළැලක් නොකර විනයවත්ව හැසිරෙන්නත් වග බලාගැනීම මං ඔයාලට ඉටුකළ යුතුකමයි.

ඉතින් මගේ ක්‍රීඩා ජීවිතය අවසන් කරන අද දවසේ මට ස්තූති කරන්න පිරිසක් ඉන්නවා. මුලින්ම මාව මේ ලෝකෙට ගෙනැවිත් මට ජීවිතය දුන්න දෙමව්පියන්ට ස්තූතිවන්ත වෙනවා, මං ගැන මෙච්චර ආඩම්බර වෙනකොට මට හරිම සතුටක් දැනෙනවා.

මගේ පවුලේ අයට සහ මගේ යාළුවන්ට ස්තූතිවන්ත වෙනවා මට ලොකු හයියක් උනාට, ඒ වගේම මගේ පාසල් දෙකටම මට ක්‍රීඩාව හඳුන්වලා දුන්නාට. මාව ක්‍රීඩාවට හඳුන්වලා දුන්නාට මගේ සියලුම පුහුණුකරුවන් සහ ඉතාලියේ මගේ කණ්ඩායමට ස්තූතියි. ඒ අය නොහිටින්න මගේ ගමන මේ තරම් දුරක් නොපැමිණෙන්න තිබුණා.

ඒ වගේම මේ ගමනේ පටන්ගැන්මේදී යුද හමුදාව ලබාදුන්න ඒ සහයෝගය මට ලොකු පිටුවහලක් උනා. විශේෂයෙන්ම විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ එවක සිටි සහ අදත් සේවයේ සිටින සියලුම නිලධාරීන් සහ සෙසු නිල සියලු දෙනාටම ඒ ලබාදුන්න සහයෝග වලට මං මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.

ඒ එක්කම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන්ට මම ස්තූතිය පුද කරනවා. මගේ ජයග්‍රහණ (ලංකාවේ ජයග්‍රහණ) වෙනුවෙන් ශ්‍රමය, බලාපොරොත්තු, කාලය, මුදල් වියදම් කරපු සෑම ඉතාලි ජාතික වෘත්තීමය හැමදෙනාටම මම මේ අවස්ථාවේ ආචාර කරනවා.

රටේ ජයග්‍රහණය වෙනුවෙන් (අවංකව) කටයුතු කළ රජයේ අමාත්‍යාංශ වල සහ කමිටු වල සේවය කල සහ දැනට සේවය කරන පිරිසට ස්තූතියි. මා සමග එකට වැඩ කටයුතු කළ සහයෝගය ලබා දුන්න පෞද්ගලික අංශයේ සියලුම දෙනාටත් මම ස්තූතිය පුද කරන්න කැමතියි.

ලෝකයේ පුහුණුවීම් කරන්නට මට අනුග්‍රහය දැක්වූ ‘TV දෙරණ’ මාධ්‍ය නාලිකාවේ ප්‍රධානී දිලිත් ජයවීරට, ලක්සිරි වික්‍රමගේ ඇතුළු සියලුම දෙනාටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරීන් සියලු දෙනාටමත් විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.

අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන, නැගී එන සහොදර සහෝදරියන් හැමෝටම අපේ රටේ නම ලෝකයේ දිනවන්නටත්, අපේ රටේ මිනිසුන්ට ජයග්‍රහණයේ අභිමානයෙන් ඔසවා තබන්නටත් ජයග්‍රහණ ලැබෙන්නට කියා මං හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස, රට දැයට ගෙන දුන් ජයග්‍රහණයන් සහ අභිමානයෙන්, මාව ඇති දැඩි කළ මගේ රටට ණය ගෙවන්නට ලැබීම මා තෘප්තිමත් කරයි. එය මගේ අවසන් හුස්ම දාක්වා මා සමග එනු ඇත. එහෙත් මාව පුහුණු කළ මට තාක්ෂණය දුන්, අපේ රටට ආදරය කළ රටවල් සහ මිනිසුන්ට ණයකාරයෙක් වෙන්නට සිදුවීම ගැන මා කණගාටු වෙමි.

තවත් ක්‍රීඩා කරන්න කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය කිසිම විදිහකින් ගැනීමට පහසු තීරණයක් උනේ නෑ. ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක්ද සිද්ධ උනේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු.

ඔයාලා හැමෝටම ස්තූතියි , ආදරෙයි!
ශ්‍රී ලංකා මාතාවට ජය වේවා.
“

ඉන්ධන මිල ගැන සංස්ථාව ගත් තීරණය

ඉන්ධන මිල ගැන සංස්ථාව ගත් තීරණය

ලෝක වෙළදපොලේ තෙල් මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

ප්‍රමාණවත් ඉන්ධන තොග සංචිත රට තුළ පවතින බවත් මෙම මස අවසානයේ සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී විශාල වෙනසක් සිදු නොවනු ඇති බවද කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මැදපෙරදිග යුද ගැටුම් පැවතියද මෙරටට ඉන්ධන රැගෙන ඒමට කිසිදු බාධාවක් නොමැති බවත් මේ අවස්තාවේ මිලෙහි උච්චාවචනය පමණක් දක්නට ලැබෙන බවද කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මෙරටට ඉන්ධන රැගෙන ඒමේදී විශාල ලෙස බලපෑමක් සිදු නොවන බවත් එහෙත්, ලෝක මිල දර්ශකය වෙනස් වුවහොත් එහි බලපෑම තිබෙන බවද කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මෙරටට ඉන්ධන රැගෙන ඒමට කිසිදු බාධාවක් නොමැති නිසා මේ වනවිට රට තුළ පවතින ඉන්ධන සංචිතවල කිසිදු ගැටලුවක් නොමැති බවද කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

ඉදිරි සති දෙකක කාලයේදී ලෝක වෙළදපොලේ පවතින ඉන්ධන මිල ගණන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිල ගණන් අඩු කරනවාද.? වැඩි කරනවාද.? සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

හිටපු පොලිස්පති සියදිවි නසාගනී

හිටපු පොලිස්පති සියදිවි නසාගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිය අතුරුගිරියේ පිහිටි නිවසේදී වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇත.

වෙඩි වැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වසර 30කට අධික කාලයක් මෙරට පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න, 35වැනි පොලිස්පතිවරයා වේ.

උතුරේ දූපත් තුනක් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කරයි

උතුරේ දූපත් තුනක් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කරයි

බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (15) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය, මේ වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් යන දූපත්වල ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති (Hybrid Renewable Energy System – HRES) ව්‍යාපෘතියේ ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා එම දූපත් හරිත බලශක්ති දූපත් ලෙස සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම, ජයිකා ආධාර යටතේ ආරම්භ කර, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමග නවතා දමන ලද, බලශක්ති ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඒ වෙනුවෙන් වූ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

දැනට ක්‍රියාත්මක වන කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දෙවන භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය (220 kV), සාම්පුර් – කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය, නව හබරණ – කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය – CEATP, පාදුක්ක 220kV ජාල උපපොළ (GSS) STATCOM ස්ථාපනය කිරීම, වහල මත සවි කරන සූර්ය බලශක්ති එකතු කිරීමේ සහ අතථ්‍ය ශුද්ධ මිනුම් ව්‍යාපෘතිය (Virtual Net Metering Project) ඇතුළු දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති වන කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ අලුතින් ටැංකි 06ක් ඉදිකිරීම, මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ නව ටැංකි 02ක් ඉදිකිරීම සහ ඉන්ධන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ ටැංකි ප්‍රතිෂ්ඨාපනය කිරීම, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ 07වන කලාපයේ පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති 14ක ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිපාදන අවශ්‍යතා විමසා බැලූ ජනාධිපතිවරයා මෙම සියලු ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කර ජනතාවට ප්‍රතිලාභ සලසා දීමේ වැදගත්කම වැඩිදුරටත් අවධාරණය කළේය.

අද සිට රට පුරාම දැවැන්ත මෙහෙයුමක්

අද සිට රට පුරාම දැවැන්ත මෙහෙයුමක්

අද (16) දිනයේ සිට දින 26ක විශේෂ සක්‍රීය මෙහෙයුමක් දිවයිනේ අධි අවදානම් කලාප 63ක් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් නන්දික කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මූලික සාකච්ඡා වලින් අනතුරුව ඇරඹෙන මෙම මෙහෙයුම හරහා අධි අවදානම් කලාපවල පිහිටි සියලුම නිවාස, පොදු සහ පුද්ගලික ස්ථාන, හිස් ඉඩම්, කර්මාන්ත ශාලා සහ හෝටල් පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යංශය, පළාත් පාලන අමාත්‍යංශය, පරිසර පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ස්වෙච්ඡා කණ්ඩායම් ද මෙහෙයුමට එක්ව සිටින අතර ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ද සම්පත් දායකත්වය ඇතිව මෙම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.

පසුගිය (11) වැනිදා වන විට බස්නාහිර පළාතෙන් හඳුනාගත් ඩෙංගු අධි අවදානම් කලාප 23ට අමතරව තවත් කලාප 5ක් අලුතින් එක් කිරීමට ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහ නගර සභාවේ D1, D3, D4 කලාප ද, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැළණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මීගමුව, අත්තනගල්ල, දොම්පේ, ගම්පහ, කටාන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ද, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කළුතර යන කොට්ඨාස මේ යටතේ දැඩි පරීක්ෂාවට ලක් කෙරේ.

මීට අමතරව, මෙම උවදුර පාලනය සඳහා දීර්ඝකාලීන විසඳුම් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පිරිමි මදුරුවන් ව්‍යන්දාකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක වන අතර වොල්බැචියා බැක්ටීරියාව මෙරටට ගෙන්වා ඩෙංගු මර්දනයට යොදා ගැනීමේ විද්‍යාත්මක ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු වී ඇත.

එබැවින් අද දිනයේ සිට ඇරඹෙන මෙම ජාතික මෙහෙයුමට උපරිම සහාය ලබා දෙමින් තම නිවෙස් සහ වටපිටාව පිරිසිදුව තබා ගැනීමට දායක වන ලෙස වගකිවයුතු බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම දැවැන්ත ජාතික වැඩපිළිවෙළ පිළිබඳව සහ ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක්.. ලංකාවේ කාලගුණයටත් බලපෑම්

අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක්.. ලංකාවේ කාලගුණයටත් බලපෑම්

එළඹෙන ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජාත්‍යන්තර පුරෝකථන ආයතන විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව එය පැහැදිලි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.

මේ වනවිට එල්නිනෝ තත්ත්වයේ බලපෑම මෙරට කාලගුණයට බලපෑම් කිරීම ආරම්භ කර ඇති බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.

ඒ අනුව නිරිත දිග මෝසම් වැස්ස අඩු වී ශරීරයට දැනෙන උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවද අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ තීරණය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ තීරණය

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් මේ ගැන කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට භාරදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (14) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“ඊයේ අපි කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. එහිදී අපි කරුණු කීපයක් සැලකිල්ලට ගත්තා. එකක් තමයි රටේ අධිකරණ පද්ධතියේ, ශ්‍රේෂ්ඨාධිකරණ පද්ධතියේ සිට මහේස්ත්‍රාත් පද්ධතිය දක්වා පසුගිය අවුරුදු එකහමාර දෙක නෙමෙයි ඊට කලින් ඉඳන් නඩු ගොඩ ගැහිලා තිබෙනවා.

අනිත් පැත්තෙන් අධිකරණ විනිශ්චයකාරවරුන්ටත් මේ නඩු කටයුතු ඉක්මන් වීම සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණත් ඔවුන්ටත් මේ පීඩනය පවතිනවා. ඒ නිසා අධිකරණය පිළිබඳ විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්.

අනිත් පැත්තෙන් සමහර අධිකරණ පද්ධති කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාත් තවත් පීඩනයක් එල්ල වෙනවා. 2020දි විසිවන සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාධිකරණ විනිසුරුවන් 12 සිට 20 දක්වා වැඩි කළා.

නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමාව පිළිබඳව සැලකිලිමත් වුණේ නෑ. අනිත් පැත්තෙන් වෘත්තියවේදීන් රට හැරයාම සහ මේ ක්ෂේත්‍රයට පිවිසීමට තිබෙන යම් අඩුපාඩුවක් දකින්නට ලැබෙනවා. මේ සියලු කරුණු සැලකිල්ලට ගත්තාට පස්සේ අපි අධිකරණ සඳහා විනිශ්චයකාරවරුන් බඳවා ගැනීමට උත්සාහ කරනවා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට උත්සාහ කළා නමුත් 33 දෙනයි ආවේ. මේ ගැන රජය තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශයට භාර දුන්නා. අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට අරගෙන තමයි ඊළඟ පියවරට කැබිනට් මණ්ඩලය ප්‍රවිෂ්ට වෙන්නේ.” 

බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ට 

බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ට 

‍මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු වන අතර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු මියගොස් ඇත.

ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක්

ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක්

සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතුව ඇති බවත් ඒ තුළින් ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති වැය බර අවම කරමින් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රට තුළ සහතික කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අද (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක් වෙමිනි.

නව සැලැස්මක් ඔස්සේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රවාහන සහ මහාමාර්ග ක්ෂේත්‍රය තුළ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන් වෙන්ව විමසා බැලීය.

පැරණි බස් රථ සංචිත ක්‍රම ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් කරමින් නව බස් රථ ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර නගරාශ්‍රිත කෙටි දුර ධාවනය සඳහා මෙට්‍රෝ බස් රථ වැනි පහසුකම් සහිත බස් රථ සංචිත ප්‍රතිස්ථාපනය කිරීමෙන් ජනතාවට සුවපහසු ගමනාගමනයක් සහතික කළ හැකි බව සඳහන් කළේය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් වන මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘති, නාගරික ප්‍රදේශ ආශ්‍රිත කසළ කළමනාකරණ ව්‍යාපෘති මෙන්ම CITY BRANDING ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල 2026 වසරේ ප්‍රගතිය, මෙම වසර් ජනතා අයිතියට පත් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසර වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

ලබන වසරේදී නිම කළ හැකි ව්‍යාපෘති තෝරා ගෙන ඒවාට ප්‍රමුඛතාව ලබා දෙමින් අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදේශ ණය ආධාර යටතේ සිදු වන ව්‍යාපෘතිවලදී, අවසාන ප්‍රතිඵලය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව එම ව්‍යාපෘති අනුමත නොකළ යුතු බවටද උපදෙස් දුන්නේය.

වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට හොද ජීවිතයක් ලබා දෙනවා

වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට හොද ජීවිතයක් ලබා දෙනවා

වත්මන් ආණ්ඩුව ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් බවත්, ඔවුන්ට වඩා හොඳ ජීවිතයක්, සමාජ වටිනාකමක් සහ ගෞරවයක් හිමි කර දීම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවීම, දිට්වා සුළි කුණාටුව හමුවේ විනාශ වූ වගා බිම් සඳහා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීම, වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කිරීම මෙන්ම මහා පරිමාණ වාරි ජල ව්‍යාපෘතිවල කටයුතු යළි ආරම්භ කරමින් වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට පියවර ගැනීම ඇතුළු ගොවි ජනතාව වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් රජය ඉටු කරමින් තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (10) දින එක් වෙමිනි.

1990 දශකයේ සිට මෙම ප්‍රදේශවල ව්‍යාප්ත වන හඳුනාගත නොහැකි වකුගඩු (CKD) රෝගය සඳහා පිරිසිදු පානීය ජලය නොමැතිකම ප්‍රධාන හේතුවක් බව අනාවරණය වී තිබෙන බවත්, එබැවින් මෙම ව්‍යාපෘතිය හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් නොව, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා දුන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වෙතත්, ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙතත් ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියෙහි කටයුතු නිසි කාලය තුළ අවසන් කර, එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට සියලුදෙනා කැපවනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

එමෙන්ම ඉතිහාසය පුරා රට තුළ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද මේ වන තෙක් පිරිසිදු පානීය ජල පහසුකම හිමිව ඇත්තේ 60%ක (පවුල් ලක්ෂ 42-43) පමණ ජනතාවකට පමණක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව රුපියල් කෝටි 2000ක් වැය කරමින් පානීය ජල සම්පාදන ව්‍යාපෘති 22ක වැඩ ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, පැරණි ව්‍යාපෘති දිගු කිරීම සහ නව ව්‍යාපෘති මගින් අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට නව ජල සැපයුම් ලබා දීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙන බවත් සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“මේ ගොවි ජනපදවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගෙනයි අපේ ආණ්ඩුව වැඩ කරන්නේ. ඔවුන්ට දැන් ජීවත්වන තත්ත්වයට වඩා හොද ජීවිතයක් උරුම කර දීම අපේ වගකීමක්. එපමණක් නොවෙයි ගොවි ජනතාවට දැනට හිමිව තිබෙන සමාජ වටිනාකමට වඩා ඉහළ සමාජ වටිනාකමක් සහ ගරුත්වයක් උරුම කර දීම අපේ වගකීමක් වෙනවා.

මේ ප්‍රදේශවල ජනතාව චක්‍රීය දුප්පත්කම නිසා ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. මේ චක්‍රීය දුප්පත්කමින් ඔවුන් ගොඩගැනීමට නම් ප්‍රධානම දේ වන්නේ අධ්‍යාපනයයි. ඒ නිසා අපි අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සඳහා අවශ්‍ය පියවර තබා තිබෙනවා. එහිදී විශේෂයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ 06 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

අපේ දරුවන්ට ලෝකයේ නවීන දැනුම උකහාගත හැකි පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රය පරිවර්තනය කළ යුතුයි. ඒ වගේම අපේ රටේ බිඳ වැටී තිබෙන පාසල් පද්ධතිය ඉතා හොඳ පහසුකම් සහිත නවීකරණය වූ පාසල් පද්ධතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි ලබා දී තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල පවතින සියලු නේවාසිකාගාර ගැටලු විසඳීමට අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම 2032 වසර වන විට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ලංකාවේ විවෘත කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ නිසා අපේ රටේ දරුවන්ට අනාගතයේ දොරටු විවෘත කළ හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි සිදු කරනවා. ඒ වගේම පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. අපි මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම භාරගත් ආණ්ඩුවක්.

ඒ වගේම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවමින් ඔවුන්ට නිරෝගී ජිවිතයක් උරුම කර දීමේ වගකීම අපි මේ වන විට ඉටු කරමින් සිටිනවා. දිවයින පුරා රෝහල් ඉදි කිරීම පමණක් නොවෙයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ තිබෙන තැනින් ඉහළට ගෙන යා යුතුයි. රෝහල් සඳහා කොපමණ ගිලන් රථ ප්‍රමාණයක් අවශ්‍යද ඒ සියල්ලට 2027 වසරේදී මුදල් ලබා දීමට අපි තීරණය කර තිබෙනවා.

අද විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව නිසා රෝග කලින් හඳුනා ගැනීම, ඉතා ඉක්මණින් සුවපත් වීම ඉහළ මට්ටමක පවතිනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ මොනවද කියලා අපිට දැනුම් දෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි උපදෙස් දුන්නා. ලබන වසරේදී අපි රුධිර කාන්දුකරණ (Dialysis) මධ්‍යස්ථාන 10ක් ඇති කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඉහළට ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට අපි සූදානම්.

එපමණක් නොවෙයි, පානීය ජලය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. අපේ රටේ පළමු වකුගඩු රෝගියා හමු වුණේ 1990 දශකයේ මුල්භාගයේදී මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී. දශක ගණනාවක් යන විට එය ව්‍යාප්ත වීමට පටන් ගත්තා. අද වකුගඩු රෝගයෙන් පුද්ගලයෙක් මිය ගිය විට එය හඳුන්වන්නේ හඳුනා නොගත් වකුඩු රෝගය නිසා වකුගඩු අක්‍රිය වීමෙන් මිය යනවා කියලා.

ඒ සඳහා පර්යේෂණ අපි ක්‍රියාත්මක කළ යුතුයි. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙක් සිටින පවුලක් මහා ඛේදවාචකයකට මුහුණ දෙනවා. ඒ නිසා වකුගඩු රෝගයට හේතුවක් ලෙස හදුනාගෙන ඇති පිරිසිදු පානීය ජලය අපි ගම්වල ජනතාවට ලබා දිය යුතුයි. දශක ගණනාවක් අපේ රටේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. ජල සම්පාදන මණ්ඩලය, ප්‍රජා ජල සේවා මගින් දශක ගණනාවක් පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. හැබැයි ඒ මුළු කාලය තුළම අපේ රටේ 60%ක වගේ ප්‍රමාණයකට තමයි ජල සම්පාදන මණ්ඩලය සහ ප්‍රජා ජල සේවාවන් මගින් ජලය ලබා දෙන්නේ.

60% ජලය සපයන්න දශක කීයක් ගතවී තිබෙනවද.? ආසන්න වශයෙන් ගත් විට පවුල් ලක්ෂ 42, 43කට ආසන්න ප්‍රමාණයකට තමයි පිරිසිදු පානීය ජලය ලබා දෙන්නේ. එය ඛේදවාචකයක්. ඒ නිසා පසුගියදා මම සියලුම දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරු වෙන වෙනම කැඳවා දැනුම් දුන්නා තමන්ගේ ප්‍රදේශවල කවර හෝ ශක්‍යතා අධ්‍යයනයක් කර පානීය ජල ව්‍යාපෘති හඳුනාගෙන තිබෙනවා නම් එය දැනුම් දෙන්න, ඒ සියලු පානීය ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා 2027 මුදල් වෙන් කිරීමට සූදානම් කියලා.

ශක්‍යතා අධ්‍යයන සිදු කර අවසන් කර තිබෙන සෑම ජල ව්‍යාපෘතියක්ම ලබන වසරේ ආරම්භ කරනවා. ඒ අනුව අලුතින් ජල ව්‍යාපෘති 22ක්, ආසන්න වශයෙන් ගත් විට රුපියල් කෝටි 2,000ක් වැය කරමින් ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පැරණි ව්‍යාපෘති දිගු කිරීම සහ නව ව්‍යාපෘති මගින් අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට නව ජල සැපයුම් ලබා දීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙනවා.

මුළු ඉතිහාසයේම මෙම ප්‍රතිලාභය හිමිව තිබෙන්නේ පවුල් ලක්ෂ 43කටයි. පවුල් ලක්ෂ 10කට අලුතින් පානීය ජල සැපයුම් ලබා දීමේ ව්‍යාපෘති මේ වසරේ අපි ආරම්භ කරනවා. එම ව්‍යාපෘති අතර තිබෙන මෙම අනුරාධපුර උතුර ජල ව්‍යාපෘතියෙන් ආසන්න වශයෙන් ගත් විට පවුල් 67,000කට ජලය ලබා දීමට හැකියාව ලැබෙනවා. මෙවැනි ව්‍යාපෘති ගණනාවක් අපි රට පුරා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. රටේ ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දීම ආණ්ඩුවක වගකීමක්.

එම වගකීම අපි ඉටු කරනවා. අපේ ගොවි ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තයයි. මේ රටේ ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් තමයි අද ඔබ මැදිහත්වී ගොඩනගා තිබෙන්නේ. කිසිදු ආණ්ඩුවක් මේ ප්‍රමාණයෙන් ගොවි ජනතාව බලාගත්තේ නැහැ. අපි ආණ්ඩුව භාරගන්නා විට පොහොර සහනාධාරය තිබුණේ රුපියල් 15,000යි. අද අපි එය දෙගුණයකින් වැඩි කර රුපියල් 30,000ක පොහොර සහනාධාරයක් ලබා දෙනවා. ඒ වගේම දිට්වා සුළි කුණාටුව හමුවේ වගා බිම් විශාල ප්‍රමාණයක් විනාශ වුණා.

ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දෙමින් අපි ගොවි ජනතාව බලා ගත්තා. පළමු වතාවට එළවළු,පළතුරු වගාවන් ඇස්තමේන්තු කර ඒ සඳහාද වන්දි ලබා දුන්නා. හානි වූ සියලු බෝග සඳහා ඉහළ වන්දියක් ලබා දුන්නා. ඒ වගේම සත්ව ගොවිපොළ සඳහා වන්දි ලබා දුන්නා. මේ අයුරින් ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් මෙතෙක් ගොඩනැගී නැහැ. ඔබ ව්‍යසනයකට මුහුණ දුන් සෑම අවස්ථාවකම අපි ඒ සඳහා මැදිහත් වුණා. දිට්වා වලින් විනාශ වූ වැව් 65ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම මේ උතුරු මැද පළාතේ විනාශ වූ ඇලවේලි ප්‍රතිසංස්කරණය සඳහා මේ වසරේ රුපියල් කෝටි 200ක් වෙන් කර තිබෙනවා. එමෙන්ම, විශාල වාරිමාර්ග ව්‍යාපෘති ගණනාවක් අපි ආරම්භ කර තිබෙනවා. පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය දශක ගණනාවක් සාකච්ඡාවට ලක් වුණා. විලච්චිය, තන්තිරිමලේ ප්‍රදේශයේ ජනතාව විශාල ජල හිඟයකින් පෙළෙනවා. සියවස් ගණනාවක් මුළුල්ලේ මල්වතු ඔයේ විශාල ජල ධාරිතාවක් මහ මුහුදට ගලාගෙන යනවා.

අපි තීරණය කර තිබෙනවා පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට. ආසන්න වශයෙන් ගත් විට ඒ සඳහා රුපියල් කෝටි 4,000ක් වැය වෙනවා. අපි මේ වසරේ එම ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ලබන වසරේ පමණක් කෝටි 700ක වැඩ අවසන් කිරීමට අපි උපදෙස් දී තිබෙනවා. ඒ වගේම දීර්ඝ කාලයකට පෙර වැඩ ආරම්භ කළ උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ අතරමග නැවතී තිබෙනවා. එම ව්‍යාපෘතියද කඩිනමින් අවසන් කර මහකනදරා වැව දක්වා වතුර ගෙන ඒමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

මේ ඓතිහාසික ගොවි බිම්වල සිටින ජනතාව බලා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම අපේ වගකීමක්. ඒ වගේම මහකන්නයේ, කන්නය පහු වී අස්වැන්න නෙළපු ජනතාවගේ වී මිලදී ගැනීමේ ගැටලුවක් මතු වුණා. ආණ්ඩුව වී මිලදී ගැනීමෙන් පසුව ඇතැම් ප්‍රදේශවල අස්වැන්න නෙළුවා. එම ජනතාව යම් ගැටලුවකට මුහුණ දි සිටිනවා. අපි එය විසඳනවා. ඒ වගේම යල කන්නයේ අස්වනු නෙළීම දැන් ආරම්භ වී තිබෙනවා. වී අස්වනු සාධාරණ මිලකට විකුණා ගන්න බැරිනම් එය ගොවි ජනතාවට සිදුවන අසාධාරණයක්. ඒ නිසා ගොවි ජනතාවට සාධාරණ මිලකට වී මිලදී ගැනීමට අපි උපරිමයෙන් මැදිහත් වී තිබෙනවා.

අපි පහුගිය මහ කන්නයේ දස ලක්ෂ දහ දාහක වී මිලදී ගත්තා. අපි අයවැයෙන් එම මුදල් වෙන් කළේ යල සහ මහ දෙකන්නයේම වී මිලදී ගැනීමට. හැබැයි වී අළෙවි මණ්ඩලය එම මුදලින් මහ කන්නයේදීම වී මිලදී ගත්තා. ඒ අනුව යල කන්නයේ වී මිලදී ගැනීමට දස ලක්ෂ හය දාහක් වෙන් කළා. ඒ අනුව පසුගිය යල කන්නයේ සහ මේ මහ කන්නනයේ වී මිලදී ගැනීමට දස ලක්ෂ දහසය දහසක් වෙන් කර තිබෙනවා. ඒ වගේම මෙවර යල කන්නයේ නැවත වී මිලදී ගැනීම සදහා දස ලක්ෂ හයදාහක් වෙන් කළා.

ඒ කියන්නේ පසුගිය යල කන්නය, මහ කන්නය සහ මෙවර යල කන්නයේදි ආණ්ඩුව දස ලක්ෂ විසි දෙදහසක් වී මිලදී ගැනීමට වෙන් කර තිබෙනවා. ඒ වගේම අපි වී ගබඩා ප්‍රතිසංස්කණය කරමින් තිබෙනවා. පෞද්ගලික අංශයත් දායක කර ගනිමින් ගබඩා ධාරිතාව ඉහළ නංවා තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට වී මිලදී ගැනීමට අවශ්‍ය ණය මුදල් අඩු පොලී යටතේ ලබා දී තිබෙනවා. අපි පියවරින් පියවර ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සිටිනවා. අද රටේ ජනතාව මේ ආණ්ඩුව සමග සිටිනවා. කිහිප දෙනෙකුගේ ගෝරනාඩු තිබෙනවා, ඒ කෙසේ වෙතත් ජනතාව ඉන්නේ මේ ආණ්ඩුව සමග කියන විශ්වාසය අපිට තිබෙනවා.

ජනතාව අපේක්ෂා කරන එම පරිවර්තනය අපි ඇති කරනවා. මෙම කටයුතුවලදී ජපාන රජය සහ ජයිකා ආයතනය අපිට විශාල සහායක් ලබා දෙනවා. 2022 වසරේ අපි ණය පැහැර හැරීම නිසා ජයිකා ආයතනය ක්‍රියාත්මක කළ සියලු ව්‍යාපෘති නතර වුණා. කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය නතර වුණා. රූපවාහිනි ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කළේ 2013 වසරේදී. වසර 13ක් ගත වී තිබුණත් ව්‍යාපෘතිය ආරම්භ කර නැහැ. අපි ඉතා ඉක්මණින් එම ව්‍යාපෘතිය ආරම්භ කර ඉක්මණින් එහි කටයුතු අවසන් කරනවා.

ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය අතරමග නතර වුණා. අපි එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. මේ වසරේ ඔක්තෝම්බර්, නොවැම්බර් පමණ වන විට එම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබේවි. ඒ සදහා ජපාන රජය දක්වන සහායට අපි ස්තූතිවන්ත වෙනවා.”

Follow WhatsApp Channel