Top Story

පාස්කු නඩුවේ බරපතල අනාවරණයක්.. මහින්ද, නාමල්, බැසිල්

පාස්කු නඩුවේ බරපතල අනාවරණයක්.. මහින්ද, නාමල්, බැසිල්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයේ සිටි හිටපු රාජ්‍ය ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් හමු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (20) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී සතියක් තුළ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට ඇප ලබා ගැනීමට කටයුතු කරන බවට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ එහිදී දැනුම් දී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී අනාවරණය කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“මේ ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගිහින් පිල්ලෙයාන් හමුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් එළියට ගන්නා බවට ඔවුන් පිල්ලෙයාන්ට දැනුම් දෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා. ඉන්පසුව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ත රාජ්‍ය බුද්ධි සේවයේ ම ප්‍රධානියා වශයෙන් පත් කරනවා.”

පිල්ලයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානාගෙන් ලබාගත් ප්‍රකාශ මත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම කරුණු අනාවරණය කළේය.

ප්‍රංශයේ වෙසන අසාද් මවුලානාගෙන් ප්‍රංශ තානාපති කාර්යාලයේදී විමර්ශන නිලධාරීන් මෙම ප්‍රකාශ සටහන් කරගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

මේ රට යළි ජාතිවාදී, අන්තවාදී කණ්ඩායමක ගොදුරක් බවට පත්වීමට ඉඩ දෙන්නේ නෑ

මේ රට යළි ජාතිවාදී, අන්තවාදී කණ්ඩායමක ගොදුරක් බවට පත්වීමට ඉඩ දෙන්නේ නෑ

නිදහස් රටක අභිමානය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ සියලු විරුවන්ගේ ප්‍රාර්ථනාව වූ සංවර්ධිත සහ සාමකාමී රටක් පිළිබඳ අපේක්ෂාව දෙවුර මත පවරා ගත් වත්මන් රජය ආදර්ශවත් රටක් ගොඩනැගීමේ අධිෂ්ඨානශීලි ගමනක නිරත වෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

විනාශකාරිත්වයේ පැරණි ගෝත්‍රිකවාදී එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වපුරන මාවත වෙනුවට රට සමගිය, සංවර්ධනය සහ සමෘද්ධිය කරා ගෙන යමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන මාවත වත්මන් රජය තෝරාගෙන තිබෙන බවත් එම මාවතේ නොබියව සහ අධිෂ්ඨානශිලීව ගමන් කරමින් රට ජයග්‍රහණය කරා ගෙන යාමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අබියස අභිමානවත්ව පැවැත්වුණු 17වන ජාතික රණවිරු දින සැමරුම අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපි සියලු දෙනා එක් වී සිටින්නේ මෑත ඉතිහාසයේ මව්බිම නිදහස් කර ගැනීම සඳහා උර දුන් අපේ විරුවන්ට උත්තමාචාරය සහ ගෞරවය පුද කිරීමටයි.

රට වෙනුවෙන් තම ජීවිත පූජා කළ විරුවන් මේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී සිහිපත් කිරීම සහ ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද අරමුණු ඉටු කිරීම වෙනුවෙන් යුද්ධය අවසන් වී වසර 17ක් වන අද දින අප මේ සමුළුව පවත්වනවා.

නිදහස් රටක අභිමානය වෙනුවෙන් ජීවිත සහ ලේ කදුළුවලින් මිල ගෙවූ සියලුම විරුවන් මේ මොහොතේ උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරනවා. තමන් වෙනුවෙන් නොව අන් අය සහ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරමින් ඔවුන් ඉටු කළ මෙහෙවරට දේශයේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවා.

විශේෂයෙන්ම, මෙවැනි වීරෝදාර විරුවන් මේ මව්බිමට දායාද කළ දෙමාපියන්ට, අපේ ගෞරවයත්, උත්තමාචාරයත් පුද කළ යුතුයි. මේ සැමරුමට ඔබ විවිධාකාරයෙන් සහභාගී වන්නට ඇති. මෙම රණවිරු ස්මාරකය මත ඇති දහස් ගණනක් නම් අතර ඔබ සොයන්නට ඇත්තේ ඔබට අහිමි වූ ඔබේ පියා විය හැකියි. එසේ නොමැති නම් ඔබේ සැමියා, පෙම්වතා, ඥාතියා, සහෝදරයා විය හැකියි. එසේත් නැතිනම් ඔබේ හොඳම මිතුරා හෝ ළඟම හිතවතා විය හැකියි. ඔවුන් සිය ජීවිතය කැප කළේ ඔබේ, මගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වගේම තවත් විශාල අරමුණු පෙරදැරි කරගෙනයි.

ජීවිතය පරිත්‍යාග කළා හා සමාන ලෙසම තමන්ගේ ශරීර කොටස් පරිත්‍යාග කළ සොහොයුරන් සැමදා අපගේ හදවතේ වීරත්වයෙන් වැජඹෙන බව මම කියන්න කැමතියි. ඔබ කරන ලද උත්තුංග පරිත්‍යාගයේ සහ කැපකිරීම්වල ප්‍රතිඵල අද අපි රටක් ලෙස අත්විඳිමින් සිටිනවා.

ඔබගේ පරිත්‍යාගය, කැපකිරීම නොතිබෙන්නට අපි තවමත් සැලකිය යුතු ප්‍රමාණයකින් බියජනක රාජ්‍යයක ජීවත් වෙනවා. ඔබ මේ මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී විශාලතම කාර්යභාරය ඉටු කරන ලද පිරිස ලෙස ඉතිහාසයට එක් වන බව අපිට විශ්වාසයයි. හැබැයි, ඒ පරිත්‍යාගය තුළ තවත් අරමුණු බොහෝ ප්‍රමාණයක් ගැබ් වී තිබුණා. ඒ අරමුණු නම් සාමකාමී රටක්. යුද්ධය සහ ගැටුම් සහිත රටක් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රධානම කණ්ඩායම වන්නේ ඔබයි. ඔබ දන්නවා යුද්ධය මොන තරම් විනාශකාරීද, බිහිසුණුද කියලා. ඒ නිසා මේ මාතෘභූමිය තුළ යුද්ධය ප්‍රතික්ෂේප කර සාමකාමීත්වය නිර්මාණය කිරීම වෙනුවෙන් විශාලතම අඬහැරය සහ විශාලතම ප්‍රාර්ථනාව තිබෙන්නේ ඔබ තුළ කියා මම විශ්වාස කරනවා.

ඒ වගේම සංවර්ධිත රටක් අවශ්‍යයි.මේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ සටනේදී මාතෘභූමිය නිදහස් කර ගැනීම හා සමාන ලෙසම අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ අරමුණ ඔබට තිබුණා. ඒ වගේම, සර්ව සාධාරණත්වය පිරි, නීතිය අගයන රටක්. ලෝකය දිනන රටක් ඔවුන්ගේ මරණාසන්න ප්‍රාර්ථනාවක්. ඔවුන් ජිවිතය පූජා කළේ එම ප්‍රාර්ථනාවන් සහිතව.ඔවුන් ප්‍රාර්ථනා කළ අනාගතය නිර්මාණය කිරීමේ වගකීම අපි භාරගන්නා බව මම මේ රණවිරු ස්මාරකය ඉදිරිපිට ශපථ කර ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ප්‍රාර්ථනා කිසිසේත්ම පාවා නොදෙන බවට මම ශපථ කරනවා.

සෑම විජයග්‍රහණයක්ම සමරන මොහොතක අප සිහිපත් කළ යුතු දෙයක් තිබෙනවා. ගේ දොරකඩට වී තම පියා එනතුරු බලා සිටින දූ දරුවන් තවමත් සිටිනවා. ඔවුන්ට කිසිදාක තම පියාගේ සෙනෙහස ලබා ගැනීමට වරමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම, තම සැමියා අහිමි වූ බිරින්දෑවරුන්ගේ වේදනාව ඇගේ මුළු ජීවිත කාලය පුරාම රැව් පිළිරැව් දෙනවා. නැවත ඇයට ඇගේ ස්වාමියා ලැබෙන්නේ නැහැ. එය අපි දන්නවා.

ඒ වගේම අහිමි වූ දරුවාගේ මතකය සමග අනෙක් දරුවන් දෙස බලා සිටින මව්වරුන්, පියවරුන් සිටිනවා. එම මව්වරුන්ට, පියවරුන්ට තම දරුවා නැවත ලැබෙන්නේ නැති බව අපි දන්නවා. මේ සියලු දෙනා එක්ව රණවිරු ස්මාරකය මත ඔහු සොයනවා. තම හදවතේ ගැඹුරු තැන තමන්ගේ ස්වාමියා, දරුවා, සොහොයුරා, තැන්පත් වී ඇති බව සැබෑවක්. එහෙත්, මේ රණවිරු ස්මාරකය ඉදිරිපිට තිබෙන නම සොයාගෙන පපුවට අත තබාගෙන සුසුම් හෙළනවා. මෙම සංවේදීතාවට පිළිතුරක් ලබා දීමට අපිට පුළුවන්ද?

අහිමි වූ වීර සෙබළ සෙබළියන් සැමරීමට අපිට කළ හැකි වන්නේ ඔවුන් විසින් කරන ලද වටිනා කැපකිරීමට ආචාරය පුද කිරීම පමණක්ද? මේ කැපකිරීම් ස්මරණය කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය හැකිද? මේ කැපකිරීම්වලට උත්තමාචාරය පුද කිරීම පමණක් ප්‍රමාණවත්ද, ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද රාජ්‍යය ගොඩනැගීමේ වගකීම ජිවත් වී සිටින අපිට පැවරී තිබෙනවා.

සෑම උවදුරකදීම සහ සෑම තර්ජනයකදීම ඔවුන් දේශයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට ආවා. සතුරු උවදුරකදී වේවා, ස්වභාවික ව්‍යසනයකදී වේවා, ඔවුන් ඔවුන්ගේ ජිවිත පරිත්‍යාගයේ අද්විතීය මෙහෙවර ඉටු කර තිබෙනවා. යුද්ධයේදී රට ගලවා ගැනීමේදී වගේම ව්‍යසනයකදී ජීවිත ගලවා ගැනීමටත් ඔවුන් කැපකිරීම් කළ බව අපි දන්නවා. ඒ නිසා ඔවුන් සැමදා අපේ හදවත් තුළ අනුස්මරණීයයි කියන සහතිකය අපි ලබා දෙනවා.

පසුගිය වසරේ මා සඳහන් කළ පරිදි අපි සන්ධිස්ථානයක සිටගෙන සිටිනවා. නොදැනුවත්කමට වඩා දැනුම සොයාගත යුතුයි. අසමගියට වඩා එකමුතුකම ගොඩනැගිය යුතුයි. එකතැන පල්වීමට වඩා ප්‍රගතිය වෙත ගමන් කළ යුතුයි. මා එදා කියූ පරිදිම අපිට මේ සන්ධිස්ථානයේ මාවත් දෙකක් තිබෙනවා. එක මාවතක් වන්නේ විනාශකාරිත්වයේ පැරණි ගෝත්‍රිකවාදී එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වපුරන මාවත. අනෙක් මාවත වන්නේ මේ රට සමගිය, සංවර්ධනය, සමෘද්ධිය කරා ගෙන යමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන මාවත. මා හිතනවා අසීරුතම මොහොතේ හෝ අප තෝරාගන්නේ දෙවනුව මා සඳහන් කළ මාවතයි. ඒ මාවතේ නොබියව අධිෂ්ඨානශිලීව ගමන් කිරීමට මා ඔබ ඉදිරියේ ශපථ වෙනවා.

මේ පරිවර්තනය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට ජනතාවට වග කියන, ජනතාවගේ ජනරජයක් බිහි වී තිබෙනවා. ඒ ජනරජය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාවගේ. ස්ථීර වශයෙන් මතු පරම්පරාව වෙනුවෙන්. අද අපි ගමන් කරමින් සිටින්නේ මානවවාදී ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම කරා යන ගමනයි. ඒ ගමන අධිෂ්ඨානයෙන් පිරුණු ඔරොත්තු දීමේ ගිනි දැල් මත ගොඩනැගුණු ගමනක් බව සිහිපත් කළ යුතුයි. ඒ ගමන අසාමාන්‍ය දුෂ්කරතා සහ කම්කටොළු මත වැටී ඇති බව සිහිපත් කළ යුතුයි. එහෙත් මේ දුෂ්කර ගමනේ අවසාන අරමුණ මේ රට දීප්තිමත් ආදර්ශමත් රටක් බවට පත් කිරිම බව සිහිපත් කළ යුතුයි. මේ රණවිරුවන්ගේ ප්‍රාර්ථනාවද එයයි. එම ප්‍රාර්ථනාව ඉටු කිරීමේ වගකීම අපිට තිබෙනවා.

අද අපි ඉදිරියට ගෙන යන්නේ අප අතර ඇති මනුෂ්‍යත්වය නොබෙදිය හැකි ආත්මයයි. අපි ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැඩිදියුණු කරමින් සිටිනවා. අපේ රට නීතීය, අධිකරණයේ ස්වාධීනත්වය අගයන රටක් බවට පරිවර්තනය කර තිබෙනවා. මේ රට බේරා ගැනීම වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළ සියලු දෙනාගේ ප්‍රාර්ථනාව අපේ දෙවුර මත තබාගෙන ආදර්ශවත් රටක් ගොඩනැගීමේ අධිෂ්ඨානශීලි ගමනක අප නිරත වෙමින් සිටිනවා.

යුද්ධයට ලෝකය කැබිලිවලට පුපුරුවා හැරිය හැකියි. එහෙත් සාමයට කළ හැක්කේ ලෝකය එකතු කිරීමයි. මළ සිරුරු ගොඩවල් මත මිනිස් සමාජයක් නිර්මාණය කරන්න බැහැ. ලේ ගංගා මැද සාමයේ දේවාල නිර්මාණය කරන්න බැහැ. පිපිරෙන බෝම්බ සහ වෙඩි උණ්ඩ මත මතු පරපුරට සැනසිලිදායක රටක්, ලෝකයක් ඉතිරි වන්නේ නැහැ. යුද්ධය ඛේදවාචකයක්. ඒ නිසා අපි යුද්ධයේ කතාව ඉතිහාසයට පවරා සාමයේ තිරසාර වන්දනාව වර්තමානයට එකතු කරගෙන තිබෙනවා.

අපේ රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ තමන්ගේ යුතුකම ඉටු කළා. ඔවුන් යුද්ධ කළේ බෙදුම්වාදයට එරෙහිව. මේ මාතෘභූමිය සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනාට ඕනෑම තැනක ජීවත් විය හැකි අයිතිය තහවුරු වී තිබෙන මාතෘභූමියක්. එම මාතෘභූමිය බෙදා වෙන් කිරීමට එරෙහිව ඔබ සටන් කළා. ඔවුන් යුද්ධ කළේ ජාතියකට විරුද්ධව නොවෙයි. යුද්ධයේ බිහිසුණු ප්‍රතිවිපාක සියලු ජාතීන්ට අත්විඳීමට සිදු වුණා. එකම රටක තරුණයන් මේ යුද්ධය නිසා අහිමි වුණා.

අවස්ථාවාදී බලලෝභී දේශපාලකයන්ගේ අන්තවාදී කැත පන්නයේ න්‍යාය පත්‍රය නිසා එකම රටක මිනිස්සු දෙකට බෙදුණා.

දේශපාලන අශිෂ්ටත්වය මනුෂ්‍යත්වයේ පාපන්දුවක් බවට පත් වුණා. අදත් සමහරු යුද්ධය හොඳද නරකද කියා තර්ක කරනවා. මා යුද්ධය හොඳද, නරකද කියා විනිශ්චයක් දෙන්න සුදානම් නැහැ. හැබැයි මම නැවත කිසිදිනෙක යුද්ධයක් ඇති නොවන බවට වගබලා ගන්නවා. මා ඉදිරිපිට සිටින විරුවන්ගේ ප්‍රාර්ථනාවද එයයි.

මා සහ මගේ රජය පෙනී සිටින්නේ යුද්ධය හොඳද, නරකද කියා වගවිභාග කිරීමට නොවෙයි. මා සහ මාගේ රජය පෙනී සිටින්නේ නැවත යුද්ධයක් ඇති නොවන ලෙස වගබලා ගැනීමටයි. රණවිරුවන්ගේ සහ මේ රටේ සියලු දේශප්‍රේමි ජනතාවගේ ප්‍රාර්ථනය එය කියා මම විශ්වාස කරනවා.

ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සෑම පුරවැසියෙකුටම සමාන වරප්‍රසාද සහිතව ජීවත් වීමේ නිදහස සහතික විය යුතුයි. මිනිස් අයිතිවාසිකම්, මිනිස් වගකීම්, වරප්‍රසාද සියල්ලන්ටම එකයි යන හැඟීම සමස්ත ජීවිතවලට ඇතුළත් විය යුතුයි. අපේ සාමජය පුරුදු වී තිබුණා එක්කෝ මහා බල අධිකාරින් ඉදිරිපිට දණගහගෙන ජීවත් වීමට. එසේ නැතිනම් බියට පත් වී ජීවත් වීමට. ඇතැම් කණ්ඩායමකට නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජීවත් වීමට පුරුදු නැහැ. ඔවුන් කැමති ගැටුම්, අපහාස, අවලාදවලට. එහෙත් අපි කැප වී සිටිනවා ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස් රාජ්‍යයක් වෙනුවෙන්.

හැකියාව, දක්ෂතාව සහ කුසලතාව ඇති සියලු දෙනාට ඉදිරියට ආ හැකි රටක් නිර්මාණය කළ යුතුයි. විශේෂ වරප්‍රසාදවලින් වැජඹුණු සමහරුන්ට එය වේදනාවට කාරණයක් විය හැකියි. තමන් විශේෂයි කියා සිතමින් අනෙකා පීඩාවට පත් කළ අය තවදුරටත් විශේෂ නොවීම නිසා කලබල විය හැකියි. ඉතිහාසයේ කිසිදා නොවූ ලෙස තරාතිරම නොබලා නීතිය හඹා ඒම ගැන ඔවුන් වියරු වැටිය හැකියි. එහෙත් අපි සර්ව සාධාරණත්වය උදෙසා කොන්දේසි විරහිතව කැප වී සිටිනවා. ජනතා අභිලාෂයන් තිරසාරව ඉටු කරනවා.මේ මියගිය විරුවන්ගේ ප්‍රාර්ථනාවද එයයි.

අපි මේ සැමරුම සිදු කරන මාසය ආගමික වශයෙන් සුවිශේෂී මාසයක්. ලෝකයට කරුණාව, මෛත්‍රියේ සහ සාමයේ පණිවිඩය ලබා දුන් බුදුන්වහන්සේගේ තෙමඟුල අපි මේ මාසයේ සමරනවා. බුදු දහම පදනම් වන්නේ අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය මතයි. අපේ රට චිරාත් කාලයක් මුළුල්ලේ මේ උදාර ධර්මය මත පිහිටා කටයුතු කරනවා. එහෙත් තමන්ගේ බලය සහ වුවමනා වෙනුවෙන් වෛරය, ක්‍රෝධය වපුරන ඉතා සුළුතර පිරිසක් සිටින බව අපි දන්නවා.

ශ්‍රී ලංකාව සතු බහුවිධ සංස්කෘතික චිත්‍රයක් තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව විවිධ ජනවාර්ගික, සංස්කෘතික, ආගමික සහ භාෂා කණ්ඩායම් සඳහා අපූරු නවාතැනක් වී තිබෙනවා. පශ්චාත් යුද සමයක ශ්‍රී ලංකාව එහි වේදනාකාරී අත්දැකීම්වලින් එතෙර වීමට උත්සාහ ගනිමින් සිටිනවා. යුද්ධය ඉතාමත් වේදනාකාරී අත්දැකීමක්. එම වේදනාව අපේ මතු පරපුරට උරුම නොකිරීම සඳහා අපි කටයුතු කරමින් සිටිනවා. තිරසාර සාමය සහ සහජීවනය සඳහා පාලම් ගොඩනගමින් සිටිනවා. විවිධත්වය පිළිගැනීම සහ වෙනස්කර නොසැලකීම මගින් තිරසාර සාමය සහ සහජීවනය සඳහා ඒ පාලම් දායකත්වයක් සපයනවා.

ලෝකප්‍රකට ශ්‍රී පාදස්ථානයේ සියලු ආගමික බැතිමතුන් වන්දනා කරනවා. පොළොන්නරුව යුනෙස්කෝ ලෝක උරුම නගරයේ බෞද්ධ ආරාම තුළ හින්දු සිද්ධස්ථාන තිබෙනවා. කතරගම දේවාලය බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් වෙනවා. උතුරේ යාපනයෙන් ආරම්භ වී දකුණේ කතරගමින් ආරම්භ වන පුජනීය පාද යාත්‍රාවකට සියලු බැතිමතුන් එකතු වෙනවා. කිරි වෙහෙර වඳින්න යන බැතිමතුන් දේවාලයටත් යනවා. ස්වභාවික ව්‍යසනයක් හමුවේ ජාතිකත්වය වෙනුවට මනුෂ්‍යත්වය උතුරා යනවා. නැති බැරි මොහොතක කිසිදු භේදයකින් තොරව මිනිස්සු උපකාර කරනවා.

මෙතරම් සුන්දර මිනිස් සමාජයකට මොනතරම් විශිෂ්ට රටක් ගොඩනැගිය හැකිද? අප විසින් අත්විඳින ලද විනාශයන් ඉතිහාසයට සීමා කළ යුතු යුගය උදා වී තිබෙනවා. අපි දශක ගණනාවක් පුරා ආර්ථික යුද්ධයක ගිලී සිටිනවා. අපි ඒ යුද්ධය ජය ගත යුතුයි. අපි දශක ගණනාවක සිට විරැකියාවේ යුද්ධයක ගිලී සිටිනවා. අපි ඒ යුද්ධය ජයගත යුතුයි. තරුණ පරපුර නිදහස් නිවහල් රටක් ප්‍රාර්ථනා කරනවා. අපි එය ජයගත යුතුයි.

අපේ රටේ දරු පරපුරට විශිෂ්ට රටක් හිමි කර දීමේ යුද්ධයක අපි ගිලී සිටිනවා. කිසිවක් නොදන්නා දරුවන්ට, දෙමාපියන්ගේ සෙනෙහස, රැකවරණය නොලැබුණු කළ රටක් සිය අනාගතය දිනන්නේ කසේද? අපි ඒ යුද්ධය ජයගත යුතුයි. සෑම පුරවැසියෙකුටම සමාන ලෙස සාධාරණත්වයෙන් සලකන හැම දෙනාගේම මාතෘ භූමිය ලෙස සලකන රටක් බිහි කිරීමේ යුද්ධය අපි ජයගත යුතුයි.

දශක ගණනාවක යුද්ධය නිමා කරමින් මේ රටේ දෙකෝටියක් ජනතාවගේ කදුළු පිස දැමූ සියලු දෙනාට අපගේ උත්තමාචාරය පිරිනමනවා. එහිදී රණවිරුවන් ඉටු කළ මෙහෙය විශිෂ්ටයි. ඔබගේ එම උත්තුංග කාර්යය වෙනුවෙන් ඔබට නැවත නැවතත් අපේ ගෞරවය පුද කරනවා.

තවදුරටත් යුද්ධයක වචනයක් නෑසෙන සාමයේ පිරුණු, නිවහල් රටක පෙරට යාමට මම ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ජාතිවාදයේ ගෝරනාඩුව, ආගමික අන්තවාදයේ ගෝරනාඩුව සහ කුඩා කැළඹිලි සහගත කණ්ඩායම්වල ගෝරනාඩුව අපි අවසන් කළ යුතුයි. මේ රට කිසිසේතම යළි කවර හෝ ජාතිවාදී, අන්තවාදී කණ්ඩායමක ගොදුරක් බවට පත්වීමට ඉඩ නොදිය යුතුයි. ඒ වෙනුවෙන් එක් වන ලෙස මම සියලු දෙනාට ආරාධනා කරනවා.”

අගමැති හරිනි එංගලන්තයට

අගමැති හරිනි එංගලන්තයට

ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) දින එංගලන්තය බලා පිටත්ව ගියේය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග තවත් දෙදෙනෙකු දූත පිරිස ලෙස එක්වී සිටි අතර ඔවුන් අද පස්වරු 01.20ට කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය.

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේදී හෙට (19) දින පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය සදහන් කරයි.

මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් එක්වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන සඳහන් කරයි.

ඒ අනුව යුද, නාවික, ගුවන්, පොලිස් හා විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණසේවා අධිකාරිය සහ රණවිරු දෙමව්පියන් මෙන්ම ඥාතීන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළුව 2,769 දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිතය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කරයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කරයි

ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහා විධිවිදාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත.

අදාළ පනත් කෙටුම්පත මැයි මස (15) වන දින රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

2026 ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත යනුවෙන් හඳුන්වාදී ඇති මෙම පනත් කෙටුම්පත මගින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අවසන් වනු ඇත.

මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය දැරීම අවසන් කරනු ලැබිය යුතු අතර එම ධූරය දරන පුද්ගලයා අදාළ සන්නද්ධ හමුදාවල ඔවුන් අයත් සේවයට අනයුක්ත කිරීම එහිදි සිදු වේ.

තවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශය වෙත පැවරීම සිදුකළ යුතුයි.

ජනතාවට විශේෂ දැනුම්දීමක්.. ප්‍රධාන ජලාශ 21ක් වාන් දමයි

ජනතාවට විශේෂ දැනුම්දීමක්.. ප්‍රධාන ජලාශ 21ක් වාන් දමයි

ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (15) දින පෙරවරු 6.00 වනවිට මෙම තත්ත්වය වාර්තා වූ බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් සඳහන් කරයි.

වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන, නාච්චිදූව සහ යාන්ඔය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මැදිායය, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ හදපානගල සහ අලිකොටආර ජලාශ, පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිණිමිටිය සහ තබ්බෝව ජලාශ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතී.

අද උදෑසන 6.00 වනවිට රාජාංගන ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 3 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 1,600කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතියි.

ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් අඟල් 4බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 1,740කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරෙන අතර වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් අඟල් 3බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 700කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදාහැරෙමින් පවතියි.

අලිකොටආර ජලාශයේ වාන් දොරටු 3ක් අඩි 3බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 680කට අධික ජල ප්‍රමාණයක් කිරිඳ ඔය වෙත මුදාහැරෙමින් පවතින අතර යාන් ඔය ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත් කර ඇති අතර එක් වාන් දොරටුවක් අඟල් 6 බැගින් විවෘත කර ඇති අතර අනෙක් වාන්දොරටු දෙක අඟල් 4 බැගින් විවෘත කර ඇත. 

අද පෙරවරු 6.15ට වන විට තබ්බෝව ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර ඉන් දොරටු 8ක් අඩි 3 බැගින්ද, දොරටු 2ක් අඩි 2 බැගින්ද, තවත් දොරටු 2ක් අඩිය බැගින්ද විවෘත කර ඇති අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2 ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 1400 බැගින් දැදුරුඔයට නිකුත් කෙරේ.

මෙම තත්ත්වය හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජනතාව සහ ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් දක්වා ඉහළ ගොස් ඇතත් රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක මුදලක් වැය කරමින් රුපියල් 392ක මුදලකට ජනතාවට ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“පෙබරවාරි මාසයේදී අපට තෙල් අනායනයට වැය වී තිබුණේ, ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ දී අපිට වැයවෙලා තියෙනවා ඩොලර් මිලියන 216ක්. අප්‍රේල් මාසයේ දී අපට වැයවෙලා තියෙනවා ඩොලර් මිලියන 368ක්.

මැයි මාසයේදී අපි ගණනය කරා අපිට වැයවෙනවා ඩොලර් මිලියන 522ක්. පෙබරවාරිය හා සංසන්දනය කරලා බලද්දි 6 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් තෙල් ආනයනය සිදුවෙලා තියෙනවා. අපිට යම් අභියෝගයක් සමඟ තමා ආර්ථිකය කළමනාකරණය කරන්න වෙන්නේ. 

තෙල් වියදම බැලුවොත් පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණා ආසන්න වශයෙන් ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් වෙනවා කියලා. හැබැයි ඩීසල් ලීටරයක් ලබාදෙන්නේ 392කට. අපි ආණ්ඩුවෙන් රුපියල් 100ක වැයබරක් දරනවා. එතකොට තෙල් සංස්ථාවට ලැබෙන්නේ රුපියල් 492යි.

එතනත් ඔවුන්ට විශාල පාඩුවක් තියෙනවා. ඒ පාඩුව පියවා ගන්න අවශ්‍යයි. තෙල් සංස්ථාවේ විශාල පාඩුවක් ආණ්ඩුව අරන් තියෙන්නේ. ඒ පසුගිය කාලයේ ආණ්ඩු නිසි කළමනාකරණයක් නොකළ නිසා. බිලියන 84ක පාඩුවක්. සංස්ථාව භාණ්ඩාගාරයට පවරා ගෙන තියෙන්නේ. 

විදුලි බිලත් එහෙම තමා. තෙල් වැඩිවීම නිසා අද බලපෑමක් එල්ල වෙලා තියෙනවා. අපි ඒකටත් යම් සහනයක් දෙන්නම්. විදුලි බිල 18%කින් වැඩි වෙද්දි 95%කට වැඩිවීම බලපාන්නේ නැති ආකාරයකට. 5%කට වගේ තමා විදුලිබිල වැඩි වුණේ. 

නමුත් දිගටම අපිට තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙමින් පවත්වාගෙන යන්න බෑ. ඒවා කාර්යක්ෂම කරගන්න ඕනේ. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදියට අනිත් දේවල් කළමනාකරණය කරන්න ඔ්නේ. 

ඉන්ධන පරිභෝජනය අඩුකිරීමේ ඉලක්කයක් තියෙනවා. මොකද වැඩි මිලකට ඉන්ධන මිල ඉහළ ගියාම පරණ පරිභෝජනය තිබුණොත් ඩොලර් ගලාගෙන යන ප්‍රමාණය වැඩිවෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට අපි පරිභෝජනය අඩුකිරීමේ අවශ්‍යතාවයෙන් තමා අපි යම් තීන්දු තීරණ අරන් තියෙනවා. අපි උත්සාහ කරනවා ඉන්ධන සම්බන්ධයෙන් විසඳුම් ඉක්මනින් ලබා දෙන්නම්.”

මාතලේ විශේෂ කමිටු රැස්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන් අරඹයි

මාතලේ විශේෂ කමිටු රැස්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන් අරඹයි

මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (12) පෙරවරුවේ ආරම්භ විය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ මිනිස් සහ ජීවිත හා දේපළ සඳහා වන්දි ගෙවීම, නිවාස හා ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර, මාතලේ නගර සංවර්ධන සැලැස්ම ඇතුළු 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී විමසා බැලීමට නියමිතය.

තවද රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ඉදිරි සැලැසුම් පිළිබඳවද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය.

මහජන සේවා සැපයීම කාර්යක්ෂම කිරීමට “PIC -Net” බලකායක්

මහජන සේවා සැපයීම කාර්යක්ෂම කිරීමට “PIC -Net” බලකායක්

රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස, රාජ්‍ය අංශය තුළ ආයතනික මට්ටමින් ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා “මහජන සේවා ප්‍රශස්තකරණය සඳහා බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network PIC-Net) ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙහි අරමුණ වන අතර, මේ පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරුන්, කොමසාරිස් ජනරාල්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් දැනුවත් කරනු ලැබ තිබේ.

PIC-Net වැඩසටහන යටතේ, තෝරාගත් සෑම රාජ්‍ය ආයතනයක්ම ඩිජිටල් යුගයේ සේවා විශිෂ්ටත්වය ප්‍රවර්ධනය සඳහා සාමුහිකව වගකියන නියමුවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමස්ත සේවක පිරිස අතරින් තෝරා පත්කර ගත යුතුය.

තාක්ෂණික භාවිතය, සේවා අත්දැකීම්, ක්‍රියාවලි කාර්යක්ෂමතාව සහ ආයතනික වෙනස්කම් යන අංශ ඒකාබද්ධව හා මනා සම්බන්ධීකරණයකින් වැඩිදියුණු කිරීමට මෙම කණ්ඩායම සාමුහිකව කටයුතු කරනු ඇත.

මෙම නියමුවන් ඔවුන්ගේ ආයතන තුළ ක්‍රියාවට නැංවෙන ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියෙහි කේන්ද්‍රීය බලවේගය ලෙස කටයුතු කරනු ඇති අතර, මෙම වැඩසටහන මගින් රාජ්‍ය අංශය පුරා විසිරුණු 400 දෙනෙකුගෙන් පමණ සමන්විත ඩිජිටල් පරිවර්තන නියමුවන්ගේ ජාතික කණ්ඩායමක් නිර්මාණය වේ.

තෝරාගනු ලබන නියමුවන්ට ඩිජිටල් පරිවර්තනය, සේවා ප්‍රතිසැලසුම්කරණය, ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, වෙනස්කම් කළමනාකරණය ආදී කරුණු පිළිබඳ ප්‍රායෝගික කුසලතා ගොඩනැංවීම සඳහා විධිමත් පුහුණුවක් ලබා දීම, ප්‍රායෝගික වැඩමුළු පැවැත්වීම සහ විශේෂඥ මගපෙන්වීම් ලබා දීම ආදිය සිදු කෙරෙනු ඇත.

මෙම නියමුවන් ඩිජිටල් පරිවර්තනය සඳහා වන ආයතනික කේන්ද්‍රීය නිලධාරීන් ලෙස වැඩසටහනේ ක්‍රියාත්මක කාල සීමාවෙන් ඔබ්බට ක්‍රියා කරමින්, ආයතන තුළ සහ ආයතන අතර දැනුම් හා අත්දැකීම් බෙදා ගැනීම හා අඛණ්ඩව වර්ධනය සඳහාද සක්‍රියව සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සමස්ත ක්‍රියාවලිය තුළ අවශ්‍ය මඟපෙන්වීම සහ සම්බන්ධීකරණ සහාය ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka ආයතනය එක්ව ලබා දෙනු ඇත. ආසියානු සංවර්ධන බංකුවේ (ADB) සහාය ඇතිව වැඩසටහනේ කළමනාකරණ උපදේශකයින් පත් කරනු ලැබ ඇති අතර ආයතන ප්‍රධානීන් විසින් යෝජනා කරනු ලබන නියමුවන් තේරීමේ ක්‍රියාවලිය සඳහාද ඔවුන් සහාය වනු ඇත.

අටමස්ථානාධිපති හිමි අත්අඩංගුවට

අටමස්ථානාධිපති හිමි අත්අඩංගුවට

අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇත.

අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගත් බවට අද (09) අධිකරණයට කරුණු වාර්තා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

බාලවයස්කාර දැරියක් අපයෝජනය කලැයි කියන සිද්ධිය සම්බන්ධව අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ලවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරීය ඊයේ (08) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නැයි, අධිකරණය නියෝග කළේය.